අඹ (Mangifera indika) ඇනකාඩියේසියේ කුලයට අයත් රසයෙන් මෙන්ම ගුණයෙන්ද අනූන අගනා පළතුරකි. ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ව යටතේ ඉතා හොදින් වැඩෙන අඹ අද අප රටේ ප්‍රධාන අපනයන භෝගයකි. අඹ වල ප්‍රනීත රසයත් අධික පොෂණ ගුණයත් නිසා ලොව පුරා අඹ සදහා ඇති ඉල්ලුම දිනෙන් දින ඉහල යයි.
අඹ විශේෂ කිහිපයක්ම ලංකාවේ වැවේ. ( උදා.කර්තකොළොම්බන්, වෙල්ලෛ කොළොම්බන්, විලාඩ්, ගිරා අඹ) ඒ අතරින් වැඩි වශයෙන් අපනයනය කරන්නේ කර්තකොළොම්බන්ය. අනෙකුත් පළතුරු බෝග වල මෙන්ම පසු අස්වනු රෝග අඔ අස්වැන්නෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවතලන්නට හේතුකාරක වෙයි.
මේ අතරින් ‘නටුව මුල කුණුවීම’ හෙවත් stem-end rot ප‍්‍රමුඛ ස්ථානයක ඇත. මෙය දිලීර කීපයක් එක්ව සාදන රෝගයකි. ( උදා. Phomopsis, Collectrichum, sp. Botryodiplodiatheobromae, Dothiorella sp.) අප සිදුකල අධ්‍යනයක් මගින් හෙලි වූ අන්දමින් ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ප්‍රධාන රෝගකාරකයා වන්නේ Botryodiplodiatheobromae ය.

රෝගයේ ස්වභාවය
පෙර අස්වනු සමයේ හෝ අස්වනු නෙලන අවස්ථාවේදි අඹ ඵලයට ඇතුළු වන රෝග කාරකයා වඩාත් ක්‍රියාකාරී වන්නේ අඹ ඉදෙන අවධියේය. මේ නිසා අස්වනු නෙලීමේ අවස්ථාවේදී නිරෝගි ඵල ලෙස බාහිරින් පෙනුනද පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව වන විට රෝග ලක්ෂණ පහල වී රෝගය පැතිරී තිබෙන්නට පුළුවන. ඒ වන විට රෝගය වැලැක්වීමට යොදන ප්‍රතිකර්ම වලින් ප්‍රයෝජනයක් නොවේ. කලහැකි එකම දෙය මිලට ගත් අඹ ඉවත හෙලීම පමණි.
රෝගය සෑදීමේ ඉඩකඩ හා රෝගයට ඔරොත්තු දීමේ හැකියාව අඹ වර්ගය අනුව වෙනස් වේ. උදා. කර්තකොළොම්බන් වර්ගය වැඩියෙන් රෝගයට ගොදුරු වේ. විලාඩ් වැනි අඹ වලට රෝගය සෑදෙන්නේ නැති තරම්ය.

රෝග මර්දනය
මෑතක් වන තුරුම අඹ අස්වනු නෙලීමෙන් අනතුරුව බෙනෙමිල් නමි දිලිර නාශකය මිශ්‍රිත උණු ජලයේ ( 52 C) ගිල්වීම රෝග මර්ධනයට යොදාගත් විසඳුම විය.
කාලයත් සමග රසායන ද්‍රව්‍ය වලට රෝග කාරකයන්ගේ ප්‍රතිරෝදය වැඩි වීම, ලොව පුරා ජනතාව පරිසර හිතකාමි රසායන ද්‍රව්‍ය යෙදූ ආහාර කෙරෙහි දක්වන උනන්දුව වැඩි වීම හා බොහෝ යුරෝපීය රටවල් බෙනොමිල් වැනි ප්‍රභල රසායනික ද්‍රව්‍ය පසු අස්වනු රෝග මර්ධනයට යෙදීම තහනම් කිරීමත් සමග අද උණු ජල ප්‍රතිකර්මය ඵල රහිත බවට පත්වී ඇත.
මේ කරුණු සියල්ල එකට ගොනුකොට, අඹ අස්වනු නෙළූ වහාම යම් ප්‍රතිකර්මයකට භාජනය කර රෝග මර්දන හැකියාව වැඩි කළ හැකිනම් එය ඉතා ඵලදායි පියවරක් බව සිතිය හැක. එසේම එය කාලිනව ප්‍රයෝජනවත් වන්නට නම් පරිසර හිතකාමී විය යුතුමය.
රෝග මර්ධනය සඳහා සෝඩියම් බයි කාබනේට් හෝ කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් භාවිතා කිරීම මේ සියළු කරුණු සපුරා ලන හොඳ විසඳුමකි.
අඹ අස්වනු නෙලූ වහාම කාමර උෂ්ණත්වයේ ඇති 5% සෝඩියම් කාබනේට් ද්‍රාවණයක (සෝඩියම් බයි කාබනේට් 50g ජලය ලිටරයක දිය කර) මිනිත්තු 5ක් ගිල්වා තැබීමෙන් රෝග මර්ධනය 90% දක්වා වැඩි කළ හැකි අතර, මේ ප්‍රතිකර්මය සමග උණු ජල ප්‍රතිකර්මය භාවිතා කල හැකිනම්, එනම් අඹ 52 C ක උෂ්ණත්වයක පවත්වා ගන්නා 5% සෝඩියම් බයි කාබනේට් ද්‍රාවණයක මිනිත්තු 5ක් ගිල්වා තබන්නේ නම් රෝග මර්ධනය 100% දක්වාම වැඩි කරගත හැකිය.
මේ සදහා යොදාගත හැකි අනෙක් ප්‍රතිකර්මය වන්නේ අඹ 5% කැල්සියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක මිනිත්තු 10ක් ගිල්වා තැබීමයි. මේ මගින් 100%ක් රෝග මර්ධනයක් ලබා ගත හැකි අතර මෙහි ඇති විශේෂ වාසියක් වනුයේ උණු ජල ප්‍රතිකර්මය අනවශ්‍ය වීමත් අඹ ඉදීමට ගතවන කාලය දින කීපයකිත් වැඩිවීමත්ය. මේ නිසා පළුදු වීම් වලින් තොරව දුර බැහැර වෙළදපොල වෙත අඹ ප්‍රවාහනය පහසු වේ. විහේෂයෙන්ම අඹ අපනයන කරුවන්ට මින් ලබා ගත හැකි වාසි අති මහත්ය.
එපමණක් නොව ප්‍රතිකර්මයන්ට බදුන් කල හා නොකල අඹ අතර රසයෙහි කිසිම වෙනසක් නැත. ඉතින් තව දුරටත් අඹ අපනයනයේදී හෝ සාමානය පරිහරණයේදී නටුව මුල කුණුවීම හෙවත් stem-end rot මගින් සිදුවන හානිය ගැන අප කනස්සලු විය යුතු නැත.
රුවන්කා රත්නායක
පර්යේෂණ නිළධාරී
පසු අස්වනු තාක්ෂණ ආයතනය