කුළු බඩු වගාවේ සුපිරි දිලීර නාශකයක් වන ‘1% බෝඩෝ මිශ්‍රණය‘ ගෙදරදීම හදා ගනිමු ද ?

ගම්මිරිස්, කුරුඳු, ඉගුරු, කහ, සාදික්කා, වැනිලා, පුවක්, කෝපි, කොකෝවා, බුලත් වැනි සියලුම අපනයන බෝගවලට වැළදෙන දිලීර රෝගයන් සදහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය වන්නේ ‘බෝඩෝ මිශ්‍රණයයි.

පහසුවෙන්ම, හිතකරවම බෝග වගාවන්හි දිලීර රෝග සඳහා බෝඩෝ මිශ්‍රණ භාවිතා කරන්න ඔබට හැකියාව තිබෙනවා.

වෙළඳපොළෙන් මිලදී ගන්නා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඈත්වීමට කාලය පැමිණ ඇති නිසාවෙන් බෝඩෝ මිශ්‍රණය ඉතා වැදගත් වන අතර. මෙම මිශ්‍රණය භාවිතයෙන් ලැබෙන ප්‍රතිඵලද ඉතාමත් සාර්ථක බව අත්දැකීමෙන්ම ගොවි මහතුන් දන්නවා. ඒ වගේම, මෙම දිලීර නාශකය බෝග වගාවකට යෙදීම, වෙළඳපලෙන් මිලදීගන්නා කෘතිම දිලීර නාශකයකට වඩා ආරක්ෂිත වීමත් ප්‍රධාන හේතුවක් වෙනවා.

මෙය ගෙදරදීම අපට පහසුවෙන් හදා ගන්න හැකියාව තිබෙනවා .

අවශ්‍ය ද්‍රව්‍ය (ලීටර 10 සදහා)

  • පිළිස්සූ හුණු (CaO)                    – 100 g
  • පල්මානික්කම් (CuSO4)            – 100g
  • පිරිසිදු ජලය                              – 10 ලීටර
  • ප්ලාස්ටික් හෝ මැටි භාජන

සාදාගන්නා ආකාරය

  1. මෙම මිශ්‍රණ සෑදීම සදහා ප්ලාස්ටික් හෝ මැටි භාජන භාවිතා කිරීම ඉතාමත්ම වැදගත්. ඒ, මෙම භාජන සාදන බෝඩෝ මිශ්‍රණය සමග ප්‍රතික්‍රියා කර වෙනත් සංයෝග සෑදීම වළක්වාලීම සඳහායි.
  2. පළමුවෙන්ම සියුම්ව කුඩු කරගත් අළු හුණු  100g එක් භාජනයක් තුළ ජලය ලීටර 09 ක හොදින් දිය කරගත යුතුයි.
  3. අනතුරුව කුඩු කරගත් පල්මානික්කම් 100g වෙනත් භාජනයක් තුල ජලය ලීටර 1 ක හොදින් දිය කරගත යුතුයි.
  4. පසුව සාදාගත් පල්මානික්කම් ද්‍රාවණය, අළු හුණු ද්‍රාවණයට ටිකෙන් ටික එකතු කරගන්න.
  5. මෙලෙස එක් කරන ගමන් කෝටුවක ආධාරයෙන් සෑදෙන මිශ්‍රණය හොදින් කලවම් කරගත යුතුයි.
  6. මෙලෙස සෑදෙන මිශ්‍රණයට පිරිසිදු වානේ පිහි තුඩක් (අලුත් බ්ලේඩ් එකක් හෝ) වරින් වර ඇතුළු කරමින් නිරීක්ෂණය කිරීම ඉතාමත් වැදගත් වනුයේ මෙම බෝඩෝ මිශ්‍රණයේ නිවැරදි පදම පියවි ඇසෙන් හඳුනාගත නොහැකි නිසාවෙනුයි.
  7. පිහි තුඩෙහි මතුපිට වර්ණය වෙනස් වනවාත් සමගම අළු හුණු ද්‍රාවණයට, පල්මානික්කම් ද්‍රාවණය එකතු කිරීම නවතාලිය යුතුයි. මෙලෙස වර්ණය වෙනස් වෙනවා යනු තඹ බැදීමයි. තඹ බැදීමට ප්‍රථම පල්මානික්කම් එක් කිරීම නවතාලීම අත්‍යාවශ්‍ය වන්නේ තඹ වගාවන්ට අහිතකර වන නිසාවෙනුයි. තඹ බැදුනහොත් නැවතත් අළු හුණු ද්‍රාවණය මිශ්‍රණයට එක්කිරීම වැදගත් වෙනවා.
  8. දැන් සෑදී ඇති මිශ්‍රණය 1% බෝඩෝ මිශ්‍රණයයි.

සාදාගත් බෝඩෝ මිශ්‍රණය සාදාගත් දිනයේදීම වගාවන්ට යෙදීමට (වගාවෙහි පත්‍ර වල උඩ හා යටි පැත්ත හා අතු කදන් හොදින් තෙමී යන පරිදි ස්ප්‍රේ කරන්න.) අමතක නොකළයුතු වන්නේ මෙහි ගුණාත්මක බව රදා පවතිනුයේ, සෑදූ විගස යෙදීමෙන් නිසාවෙනුයි. කල් තබාගන මෙම මිශ්‍රණ භාවිතා කිරීම ඵලදායී නොවේ.

එච්. ඒ. එල්. සමිත්‍රී,

ව්‍යාප්ති නිලධාරිනී, අපනයනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (1920 කෘෂි උපදේශන සේවාව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *