මෙතෙක් කල් ගොවියාගේ හතුරෙක් වූ ‘සැල්වීනියා’ වසවිස නැති ගොවිතැනට අතදෙයි ද ?

මේ ශාකයේ නයිට්‍රජන් ඉහළ මට්ටමක පවතින බැවින් නයිට්‍රජන් බහුල ශාකය සමඟ පාංශු රහිත වගාවක් කළ හැකි බව අපට හැඟී ගියා. සැල්වීනියා ශාකය වෙනස්කම්වලට හසු කර පාංශු රහිත වගාව සඳහා භාවිත කළ හැකි මාධ්‍යයක් බවට පත් කරලීමට අපට හැකි වුණා.

ජලජ ශාකයක් වන සැල්වීනියා මේ වන විට රට පුරා බහුතරයක් ගංගා, වැව්, ඇළ දොළ ආක්‍රමණය කර ඇති ආක්‍රමණික ශාකයකි. ගිනිකොන දිග බ්‍රසීලය සහ උතුරු ආර්ජන්ටිනාව නිජබිම කොටගත් සැල්වීනියා මොලෙස්ටා යනු විදේශීය ශාකයකි. එය පර්යේෂණාත්මක අරමුණු සඳහා 1939දී රට තුළට ගෙන එන ලදි. එහෙත් කෙසේ හෝ එතැනින් මිදී ස්වාභාවික පරිසරයට යෑමෙන් වාරිමාර්ග පද්ධතීන්ට සහ ජල විදුලි නිපදවීමට තර්ජනයක් වී ඇත. එපමණක් නොව මිරිදිය ධීවර කර්මාන්තයට, ගොවිතැනට, ජල මාර්ග හරහා ගමනාගමනයට දැඩි තර්ජනයක් එල්ල කරන ජලජ ශාකයක් බවට මේ වන විට පත්ව තිබේ.

මේ පැළෑටි සමූහයන් මඟින් ජලාශවල ඇති කරන අඳුරු පරිසරය මත්ස්‍යයන් සහ ජලය යට වැඩෙන ජලජ ශාකවල බහුලත්වයට සහ ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපෑම් ඇති කරයි. කුඹුරුවල වාරි ජලය සැපයීමට සහ ජල ප්‍රවාහනයට සැල්වීනිවලින් ඇති කරන බාධක නිසා ගොවීන්ට ආර්ථීක පාඩු සිදු වේ. සැල්වීනියා නිසා ජලාශවල මසුන් ඇල්ලීමට බාධා ඇති වන අතර මදුරුවන් බෝවීමට අතිරේක අවස්ථාවක් සලසන නිසා සෞඛ්‍ය තර්ජනයක්ද ඇති කරයි.

දිනෙන් දින රට පුරා පැතිර යන මේ ශාකය පිළිබඳ අවධානය යොමු කළ මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ආහාර තාක්‍ෂණය පිළිබඳ අධ්‍යාපනය හදාරමින් සිටින ශිෂ්‍ය කණ්ඩායමක් සැල්වීනියා ශාක පිළිබඳ පර්යේෂණයක නිරත වූහ. එහිදී ඔවුන්ට නිරීක්ෂණය වූයේ මේ ජලජ ශාකයන්හි නයිට්‍රජන් ප්‍රමාණය ඉහළ අගයක තිබෙන බවයි. එම නිරීක්ෂණයෙන් පසු මේ කණ්ඩායමේ අවධානය යොමු වූයේ මේ ජලජ ශාක, ප්‍රයෝජනය ගත හැකි මාධ්‍යයක් බවට පත් කර ගැනීමට ඇති හැකියාව සොයා බැලීමයි. ඒ ඔස්සේ සිදු කළ පර්යේෂණයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙරටට පිළිලයක් බවට පත්ව තිබෙන සැල්වීනියා ශාක පාංශු රහිත වගාව සඳහා භාවිත කළ හැකි මාධ්‍යයක් බවට පත් කරලිමට හැකි ක්‍රවේදයක් ඔවුන් විසින් සොයා ගනු ලැබිණි.

එච්.වී.එස්. අප්සරා, ඩබ්ලිව්.බී. සඳුසි සත්සරණි, එම්.එන්.එෆ්. නෆ්හා, එච්.ඒ. සයිනබ් සහ ඒ.එම්.එම්. සව්ෆාත් යන ශිෂ්‍ය කණ්ඩායම මේ නව සොයා ගැනීම සිදු කළහ. අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ මේ සුවිශේෂ සොයාගැනීම සම්බන්ධයෙන් මේ කණ්ඩායමේ සඳුසි සත්සරණී මෙසේ අදහස් දක්වා සිටින්නීය.

‘‘සැල්වීනියා යනු ජලධරයන්ගේ මතුපිට (පොකුණ) දැනට දක්නට ලැබෙන ජලජ ශාකයක් වගේම එය මේ වන විට ජලධරවලටද පිළිලයක් බවට පත්ව තිබෙනවා. මේ ශාකය නිසා ජලජ ජීවීන්ට හිරු එළිය නැතිකම සහ ඒ ජලය පානීය ජලය ලෙස භාවිත කිරීමට නොහැකි වීම වැනි විවිධ ගැටලු පැනනැඟී තියෙනවා. එම නිසා මේ ගැටලුවට විසඳුම සොයා යෑම අදිටන් කරගත් අපට මේ ශාකය භාවිත කර වෙනත් භාවිතයක් සඳහා යොදා ගැනීමට ඇති හැකියාව ගැන පර්යේෂණයන්හි නිරත වුණා.

‘‘මේ ශාකයේ නයිට්‍රජන් ඉහළ මට්ටමක පවතින බැවින් නයිට්‍රජන් බහුල ශාකය සමඟ පාංශු රහිත වගාවක් කළ හැකි බව අපට හැඟී ගියා. සැල්වීනියා ශාකය වෙනස්කම්වලට හසු කර පාංශු රහිත වගාව සඳහා භාවිත කළ හැකි මාධ්‍යයක් බවට පත් කරලීමට අපට හැකි වුණා.

‘‘මේ සැල්වීනියා ශාකය නිපදවන්නේ විජලනය කිරීමේ ක්‍රමයෙන්. මෙය ශාක වැඩෙන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකිය. තවද ශාක සඳහා පොහොරක් ලෙසද භාවිත කළ හැකිය. ඕනෑම කෙනකුට මෙය පහසුවෙන් නිවෙසේදී වුවද සකසා ගත හැකි ක්‍රමවේදයක් තමයි අපි සොයාගෙන තියෙන්නේ. ඒ නිසා සැල්වීනියා පහසුවෙන් ගත හැකි ඕනෑම කෙනකුට මේ පොහොර සකසා ගත හැකියි. කිසිදු වියදමක් කිරීමට සිදු වන්නෙත් නැහැ.

‘‘අප සොයා ගත් මේ නව ක්‍රමවේදයට මැලේසියානු, නිර්මාණාත්මක නව නිපැයුම් හා නවොත්පාදන සංවිධානයෙන් (MIICA), විශේෂ රන් සම්මානයකුත්, කැපී පෙනෙන තරගකාරිත්වය හා දායකත්වය වෙනුවෙන් ඉන්දුනීසියානු අන්තර්ජාතික තරුණ විද්‍යාඥයන්ගේ සංවිධානයෙන් (IYSA), ලෝකඩ සම්මානයකුත් හිමි කර ගැනීමට සමත් වුණා. මාතර විශ්වවිද්‍යාල විද්‍යායතනය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල විද්‍යායතන ඉතිහාසයට තවත් සුවිශේෂ ජයක් හිමි කර දෙන්න අප සමත් වුණා.

‘‘අපගේ අනාගත ඉලක්කය වන්නේ අපේ රටට හා ලෝකයට ප්‍රයෝජනවත් පරිසර හිතකාමි නව නිපැයුම් හා නවෝත්පාදන බිහි කිරීම සහ අපගේ රටට අන්තර්ජාතික මට්ටමින් ජයග්‍රහණ ලබා දීමයි.

‘‘අපේ සාර්ථකත්වය පසුපස අපගේ මව්පියන් මතක් කරන්න අවශ්‍යමයි. තරගයේදී අපිට මුහුණ දීමට සිදු වූ ගැටලු සඳහා සාර්ථකව මුහුණ දීමට ඔවුන් උදවු කළා, මාතර විශ්වවිද්‍යාල විද්‍යාතනයේ ආහාර තාක්ෂණය අංශයේ කථිකාචාර්යවරුන් මේ සඳහා පහසුකම් සලසා දෙමින් හා මඟ පෙන්වමින් සහයෝගය දැක්වුවා. ඊට අමතරව අපගේ විශ්වවිද්‍යාල විද්‍යායතනයේ නව නිපැයුම් අංශයේ සහයෝගයත් ලැබුණා.

‘‘මේ වන විට මේ නිර්පාංශු වගාව වැඩි දියුණු වෙමින් දියුණු වෙමින් පවතිනවා. එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය ලෙස භාවිත කරන පොහොරක් ලෙස භාවිත කිරීමට බලාපොරොත්තු වනවා. මේ වන විට ඒ සඳහා අප සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ සාමාන්‍ය ජනතාවට සිය වගා මාධ්‍ය සඳහා යොදාගත හැකි වන පරිදි අප මෙය වැඩි දියුණු කරමින් නව නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළට උචිත වන පරිදි නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම මේ සඳහා වැඩි කැමැත්තක් දක්වන්නා වූ නව නිර්මාණකරුවන් සහ කෘෂිකර්මාන්තය සඳහා වැඩි නැඹුරුවක් දක්වන ව්‍යවසායකයන් සමඟ අප මෙය තව දුරටත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.

‘‘අප වැනි අනෙක් සිසුන් අනාගතයේදී නව සොයාගැනීම් කළ යුතුයි. තමන්ට එවැනි අවස්ථාවක් ඇති බව නොදන්නා බොහෝ දක්ෂ සිසුන් ඉන්නවා. ලෝකයේ ඉදිරි ගමනට නව සොයාගැනීම් අත්‍යවශ්‍ය කාලයක් මේක. අපි මෙන්ම අනෙකුත් සිසුන්ගේ නව අදහස් නව සොයා ගැනීම් ලෝකයේ ඉදිරි ගමනට මහත් පිටුවහල් වෙනවා. බොහෝ නව අදහස් තිබෙනවා, එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකිව සිටින දක්ෂ සිසුන් සිටිනවා. එවැනි සිසුන්ට උදවු කිරීමට අප සූදානම්. මෙමඟින් අපට රටට ලෝකයට ඵලදායි නව නිපැයුම් රාශියක් සිදු කර අපගේ රටට ගෞරවයක් ගෙන දිය හැකියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *