රෝස වවමු … අතමිට සරුකර ගනිමු : නිවැරදි වගා තාක්ෂණය මෙන්න

ලොකු – කුඩා, ගැහැණු – පිරිමි අපි හැමෝම එකවගේ කැමැති මල් වර්ගය තමයි රෝස කියලා කියන්නේ. මේ නිසා ලෝකයේ ජනප‍්‍රියම මල් වර්ගයත් රෝස බවයි කියන්නේ.

ලංකාවෙත් ජනතාව අතරත් ජනප‍්‍රියම මල් වර්ගය රෝස බවට සැකයක් නැහැ. මොකද රෝස ගහක් නැති ගෙවත්තක් බොහොම විරල දෙයක්.

ලොව පුරා රෝස මල්වලට තිබෙන ජනප‍්‍රියතාවය අතීතයේ සිටම නොවෙනස්ව පවතිනවා. මෙවැනි තත්ත්වයක් දැකිය හැකි වන්නේ රෝස මල් සම්බන්ධයෙන්ම පමණයි. අනෙකුත් කැපූ මල් බොහොමයකට පවතින්නේ කලින් කලට ඉහළ පහළ යන ජනප‍්‍රිතාවයක්.

රෝස මල් වෙළෙඳපොළ

රෝස මල් වගාව ගෙමිදුලේ අලංකාරය සඳහා කරන පුද්ගලික වගාවකින් ඔබ්බට ගොස් ව්‍යාපාරික වගාවක තත්ත්වයට පත් වෙලා බොහෝ කාලයක් වෙනවා. අද ඕනෑම රටක දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් රෝස මල් සඳහා විශාල ඉල්ලූමක් පවතිනවා. මේ නිසා රෝස මල් වගාව සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙනවා.

ලංකාව තුළ රෝස මල් (කැපූ මල්) සඳහා මෙන්ම රෝස පැළ සඳහා ද හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. එහෙත් මේ ගැන වඩාත් හොඳින් විමසා බලන විට දැකිය හැකි වන්නේ මෙම ව්‍යාපාරික අවස්ථාව/ වෙළෙඳපොළ අවස්ථාව නිසියාකාරයෙන් භාවිත කිරීමට අපේ රෝස වගාකරුවන් උනන්දු නොවන බවයි. ඊට ප‍්‍රධාන හේතුව වී තිබෙන්නේ ලංකාවේ බොහොමයක් වගාකරුවන් රෝස වගා කරන්නේ එළිමහනේ වීමයි. එළිමහනේ කරන රෝස වගාවකින් ගුණත්වයෙන් උසස් මල් ලබා ගැනීමට ඉතාම දුෂ්කරයි. ඒ නිසා මේ පිළිබඳ විශේෂඥයින් යෝජනා කරන්නේ ඉහළ අස්වැන්නක් සහිත, ගුණත්වයෙන් ඉහළ රෝස මල් ලබාගැනීමට නම් ‘‘හරිතාගාර’’ තුළ වගාව සිදුවිය යුතු බවයි.

සාර්ථක රෝස වගාවක් සඳහා කළ යුතු දේ

ඔබ ඉහළ ගුණත්වයෙන් හා වැඩි අස්වැන්නක් සහිත රෝස වගාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය නම් පහත සඳහන් දෑ කෙරෙහි අවධානය යොදවන්න.
1 ඉහළ අස්වැන්නක් දෙන ප‍්‍රභේද වගා කිරීම.
2 මලේ වැඩි ජීව කාලයක් ඇති ප‍්‍රභේද වගා කිරීම. Vase Life ජීව කාලය 5-6 සිට 16 පමණ)
3 ජලය පහසුවෙන් ඇද ගන්නා ප‍්‍රභේද වගා කිරීම.
4 ආකර්ෂණීය වර්ණ සහිත ප‍්‍රභේද වගා කිරීම.
5 මද සුවඳක් ඇති ප‍්‍රභේද වගා කිරීම.
6 ලෙඩ රෝග හා යාන්ත‍්‍රික පළුදුවීම්වලට ඔරොත්තු දෙන ප‍්‍රභේද වගා කිරීම.
7 වෙළෙඳපොළේ ජනප‍්‍රිය වර්ණ වගා කිරීම.

කැපූ මල් සඳහා වගා කරන ප‍්‍රභේද


1 දිගටි නටු සහිත රෝස ( සෙන්ටිමීටර් 70-90)

2 මධ්‍යම නටු සහිත රෝස (සෙන්ටිමීටර් 50-70)

3 කෙටි නටු රෝස

4 ස්පේ‍්‍ර රෝස

රෝස වගාව සඳහා දේශගුණික අවශ්‍යතා

1 මල් නිෂ්පාදනයට අවුරුද්ද පුරාම හොඳ සූර්යාලෝකයක් අවශ්‍ය වේ. දිවා ආලෝකය පැය 12 අඩු හා වළාකුළු පවතින කාලගුණික තත්ත්ව අස්වැන්න සඳහා සීමාකාරී සාධකයක් වේ.
2 උෂ්ණත්වය දිවා කාලයේදී 24 C ක්‍ -28 Cක්‍ අතර ද රාත‍්‍රි උෂ්ණත්වය 18C ක්‍ – 20C ක්‍ අතර ද අවශ්‍ය වේ.
3 210 ක්‍ දී ඉහළ නිෂ්පාදනයක් සහිත හොඳ වර්ධනයක් පෙන්වයි.

මාධ්‍ය :

1 මතුපිට පස් -05
2 ගොම පොහොර – 04
3 වැලි -02

පරතරය

1 පැළ අතර පරතරය සෙන්ටි මීටර් 17 ක් ද පේලි අතර පරතරය සෙන්ටි මීටර් 40-50 අතර ද විය යුතුයි.
2 සාමාන්‍ය පාත්තියක පේළි දෙකක පැළ සිටුවයි.
3 වර්ග මීටරයක පැළ 6-7 අතර ප‍්‍රමාණයක් සිටුවාගත හැකියි.
4 30×40 cm 40×45 cm 45x60cm 60x60cm ලෙස පැළ හා පේළි අතර පරතරය වැඩි කිරීමෙන් විශාල ප‍්‍රමාණයේ මල් හා දිග නටු සහිත මල් ලබා ගත හැකියි.

පැළ තෝරා ගැනීමේදී

1 ග‍්‍රාහකය පැන්සලක ප‍්‍රමාණයේ විය යුතුයි.
2 පැළ සෞඛ්‍ය සම්පන්න විය යුතු අතර, රෝග පළිබෝධ හානි නොවූ පැළ විය යුතුයි.
3 පැළයක අවම වශයෙන් කඳ කොළ පැහැකි පත‍්‍ර යුගල දෙකක්වත් තිිබිය යුතුයි.
4 පැළයක වයස බද්ධ කර මාස 2-3 අතර විය යුතුයි.

පැළ සිටුවීමෙන් පසු පුහුණු කිරීම

1 පැළය සිටුවා සති හතරකට පසු මල් පොහොට්ටු දැකිය හැකියි. ඒවා කඩල ඇටයක ප‍්‍රමාණයකට වැඩි පාට පෙනෙන අවස්ථාවේ මල් පොහොට්ටුව ඉවත් කළ යුතුයි. (මෙහිදී පත‍්‍ර ඉවත් නොකොට පොහොට්ටුව පමණක් ඉවත් කළ යුතුයි)
2 මල් පොහොට්ටුවලට පහළින් පාර්ශ්වික අංකුර වර්ධනය වන්නේ නම් ඒවා ඉවත් කළ යුතුයි.
3 පාත්තිය සති දෙකකට වරක් මාධ්‍ය බුරුල් කිරීම.
4 වල් රෝස අතු වර්ධනය ඉඩ නොදිය යුතුයි.

පොහොර යෙදීම

පැළය සිටුවා දින 7-10 පමණ එනම්, රතුපාට දළු දමන අවස්ථාවේදී පහත සඳහන් පොහොර මිශ‍්‍රණය පැළයකට ග‍්‍රෑම් 10-15 පමණ යෙදිය යුතුයි.
ඇමෝනියම් සල්පේට් – 2
ටි‍්‍රපල් සුපර් පොස්පේට් -2
මියුරේට් ඔෆ් පොටෑෂ් -1

මල් පිපීම ආරම්භ කළ විට

ඇමෝනියයම් සල්පේට් -2
ටි‍්‍රපල් සුපර් ෆොස්පේට් -3
මියුරේට් ඔෆ් පොටෑස් 7
පළමු මල් නෙළීම

බිම් මට්ටමේ අතුවල මල් නෙළීමේදී ප‍්‍රධාන කඳේ සිට පත‍්‍ර පහකට (05) ඉහළින් කැපීම සිදු කළ යුතුයි. කැපුම ඉතා තියුණුව ඇලයට කැපිය යුතුයි. කැපුම අංකුරයට සෙන්ටිමීටර් 01ක් පමණ ඉහළින් විය යුතුයි.

ආර්. එම්. දයානන්ද
කෘෂිකර්ම උපදේශක – බෝගහකුඹුර ( කෘෂි පුවත් – ඌව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *