වසවිස නැති ගොවිතැනට කදිම ‘දර අඟුරු පොහොර‘ ගෙදරදීම නිෂ්පාදනය කරමු

කාබනික එළවළු හා පලතුරු, එහෙමත් නැත්නම් ‘කාබනික ආහාර‘ යන වචනය වර්තමානයේ දී මෙතරම් භාවිතා කරනුයේ මේ වන විට කාබනික ක්‍රමයට වගා කළ ආහාර සඳහා අධික ඉල්ලුමක් පවතින නිසාත්, බෝ නොවන රෝග රැසකට වගකිව යුත්තා රසායනික ද්‍රව්‍ය භාවිතාකර නිෂ්පාදනය කරන ලද ආහාර වර්ගයන් යන සත්‍යය සමාජය පිළිගෙන හමාර නිසාත් ය.

අතීත ගොවියාට වඩා, වර්තමාන ගොවියා වඩාත් කාර්යබහුල වීම හා ගුණාත්මක අස්වැන්නක් වෙනුවට වඩා වැඩි අස්වැන්නක් බලාපොරොත්තු වීම නිසාම, ඔවුන් විවිධ සමාගම් වල උපක්‍රම වලට හසු වී ඇත.

රසායනික පොහොර හා කෘමිනාශක වර්ග සඳහා අධික මිලක් වැය කරමින් එම නිෂ්පාදනයන්ගේ වහළුන් බවට පත්ව ඇති වර්තමාන ගොවියා වඩා වැඩි අස්වැන්නක් බලාපොරොත්තුවෙන් තිරසාර ගොවිතැන පසෙක දමා මෙම රසායනික ගොවිතැන කෙරෙහිම විශ්වාසය තබා ඇත්තේ රසායනික යෙදවුම් මතම ඉපදී , කාලයක් තිස්සේම එම රසායනික යෙදවුම් මතම යැපී කාබනික ගොවිතැන අමතක කර ඇති නිසාය.

නමුත් මේ වන විට තත්ත්වය වෙනස් වෙමින් පවතින අතර, රසායනික පොහොර යොදා නිෂ්පාදනය කරනු ලබන එළවළු, පළතුරු වලට සාපේක්ෂව කාබනික යෙදවුම් මගින් නිෂ්පාදනය කරනු ලබන කාබනික එළවළු සහ පළතුරු සඳහා සමාජය නැඹුරු වෙමින් ඇති අතර, රසායනික යෙදවුම් ජාත්‍යන්තරයෙන් පවා ප්‍රතික්ෂේප වෙමින් පවතී.

ප්‍රශ්ණය නම්, කාබනික එළවළු හා පලතුරු වල පවතින ගුණාත්මකභාවයත්, එම නිෂ්පාදනයන් අඩු ගොවීන් ප්‍රමාණයක් පමණක් නිශ්පාදනය කිරීමත් හේතුවෙන් එම නිෂ්පාදනයන් සාමාන්‍ය රසායනික යෙදවුම් යොදා නිෂ්පාදනය කරනු ලබන ආහාරයන්ට වඩා  මිල අධික වීමය. එම නිසා එම නිෂ්පාදන මිලදී ගත හැකි වන්නේ සමාජයේ යමක් කමක් ඇති අයට වන අතර, අනෙකුත් පිරිස තවමත් සුපුරුදුපරිදි වස විස ආහාරයට ගනිමින් සිටිති.

තත්ත්වය මෙසේ වෙද්දී පිළිතුර වන්නේ ‘‘අපේ ආහාර අපිම නිෂ්පාදනය කර ගනිමු‘‘ යන සංකල්පය සමාජගත කිරීම සහ කාබනික නිෂ්පාදනයන් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමත් ය.

විශේෂයෙන් මේ සඳහා වර්තමානය වන විට විවිධ ක්‍රමවේද අත්හදා බලමින් තිබේ. ජල හිගය, කාර්යබහුල භාවය, අඩු ඉඩ ප්‍රමාණය යන කරුණු හේතුවෙන් ගෙවතු වගාවන් කෙරෙහි සමාජයේ එතරම් කැමැත්තක් නොමැති වුවත්, තමන්ට ලැබෙන කාලය විනෝදාංශයක් ලෙස කාබනික ගෙවතු වගාවක් කෙරෙහි යොමු කරන්නට හැකි නම් එය සමාජයටත්, තමන්ගේ නිරෝගී භාවයටත්, තමන්ගේ පසුම්බියටත් වඩාත් ගුණදායක වන බවට කිසිදු සැකයක් නැත.

පසේ නිරෝගී භාවය වැඩි කර ගනිමින් කාබනික ගොවිතැන සඳහා යොදන කාබනික පොහොර වල ගුණාත්මක භාවය වැඩි දියුණු කර ගැනීම සඳහාත්, ක්ෂේත්‍රය සඳහා අවම ලෙස ජලය යෙදීම සඳහාත් යොදා ගත හැකි කාලෝචිත උපක්‍රමයක් ගැන සොයා බලන්නට ‘ගොවිමිණ‘ වෙනුවෙන් මට අවස්ථාවක්  උදාවිය. 

මුලින්ම කාබනික පොහොර වල ගුණාත්මකභාවය වැඩි කර ගැනීම ලෙස අදහස් කරනුයේ කුමක්ද යන්න ශ්‍රීලාල් මහතාගෙන් විමසා බලමු.

ශ්‍රීලාල් මහතාට අනුව රසායනික පොහොර මෙන් කාබනික පොහොර මගින් ගසට අවශ්‍ය පෝෂක කොටස් කෙලින්ම ගසට උරා ගැනීමක් සිදු වන්නේ නැත. එය සිදුවන්නේ පස තුළ සිදුවන ඇසට නොපෙනෙන විශාල කාර්යභාරයක් සිදු කරන පිරිසක් හරහාය. කවුද මේ පිරිස? ඒ තමයි හිතකර මහා ජීවීන් සහ ක්ෂුද්‍ර ජීවීන්. ඔවුනගේ ජීවි ක්‍රියාකාරම් නිසා පිටවන වායුන්, ඔවුන් විසින් වියෝජනය කරනු ලබන පොහොර කොටස් ගසට උරා ගැනීමට හැකිය. 

හිතකර ජීවීන් වන ගැඩවිළුන්, පනුවන් පසේ යම් තරමක් දුරට සුරක්ෂිතව ඇතත්, ක්ෂුද්‍රජීවීන් මේ වන විටත් රසායනික යෙදවුම් හේතුවෙන් විනාශයට පත්ව ඇත. නමුත්, මේ සත්වයින් හට හිතකර නිවාසයක් තනා දුන්නොත් කොහොමට හිටීවිද?. ඔවුන් කාබනික පොහොර වල ගුණාත්මක බව වැඩි කරනවා පමණක් නොව තිරසාර ගොවිතැන සඳහා පස නැවත ගොඩනැගීමටත් සහාය වන බව සහතිකයි. කොහොමද මේක කරන්නේ.. ඔව් ඒ තමයි දර අඟුරු යොදා ගැනීම, එහෙමත් නැත්නම් දහයියා අඟුරු යොදා ගැනීම. සුළු වශයෙන් කරන ගෙවතු වගාවට මෙන්ම මහා පරිමාණයේ වානිජ ගොවිතැන සඳහා ද යොදා ගන්නා කාබනික පොහොර සඳහා මෙම අඟුරු යොදා ගැනීමෙන් වඩාත් වැඩි ප්‍රයෝජන රාශියක් ලබා ගැනීමට හැකි වනවා. 

ගුණාත්මක ලෙස හා නිවැරදි ලෙස දර අඟුරු ලබා ගන්නා ආකාරය පිළිබඳව දැන් අපි දැන ගනිමු.

අවශ්‍ය ද්‍රව්‍ය

  • දෙපැත්තම වැස්ම ඉවත් කළ යකඩ බැරලයක්
  • අගල් 10 ත් 12 ත් අතර ප්‍රමාණයට කපා ගත් ඕනෑම දර වර්ගයක් හෝ වර්ග කිහිපයක් 

සිදු කරන ආකාරය

  • බැරලයෙන් 2/3 පමණ පොළවේ යටට සිටින සේ පහත රූපයේ පරිදි සකසා ගන්න
  • ඉන්පසුව පහත රූපයේ පරිදි විවිධ වර්ගයේ සහ ප්‍රමාණයේ දර සපයා ගන්න‍
  • මුලින්ම කුඩා දර කැබලි බැරලයේ අඩියට දමා, එම කුඩා දර කැබලි වෙත ගිණි දල්වන්න.

එම කුඩා දර කැබලි තරමක් දුරට ගිණි ගන්නා විට කුඩා, පහසුවෙන් ඇවිලෙන දර කැබලි පළමුවත්, අනෙකුත් දර දෙවනුවත් වන ආකාරයට බැරලය පිරෙන තෙක් දමා ගන්න.

දැන් එම දර සෙමින් දුම් දමමින් ඇවිලෙන්නට පටන් ගනීවි. දර ඇවිලෙන විට පිටවන දුමෙන් ද විශාල ප්‍රයෝජන රාශියක් ඇති කාබනික රසායනිකයක් නිස්සාරණය කර ගත හැක.

එම රසායනිකය නිස්සාරණය කර ගැනීම සඳහා පහත රූපයේ දැක්වෙන ආකාරයට සකස් කර ගැනීම අවශ්‍ය වේ.

මුලින්ම, අංක 01 රූපයේ පරිදි මැදින් විශ්කම්භය අගල් 06-08 වන සිදුරක් සාදා ගත් යකඩ පියනකින් දර සහිත බැරලය වසන්න. වැසිමට පෙර බැරලය තුලට වාතය ඇතුළු වන ආකාරයට කුඩා ඉඩක් සිටින සේ බැරලය සහ පියන අතරට යකඩ බට දෙකක් තබන්න.

ඉන්පසු  අංක 02 රූපයේ පරිදි උඩ කෙරවලට කුඩා පීල්ලක් සවි කල සිලින්ඩරාකාරව තනා ගත් තහඩුවක්, පියනේ මැද සිදුර වැසෙන සේ රදවන්න . ඉන් පසු රූපයේ පරිදි තනා ගත් ඇටවුමක ආධාරයෙන් ඇළුමේනියම් කළයක් ඉහළින් රදවන්න. මෙම ඇළුමේනියම් කළය ජලයෙන් පුරවා තැබීම අත්‍යාවශ්‍ය වේ.

පසුව 03 වන රූපයේ පරිදි සිලින්ඩරාකාර තහඩුවේ සවි කර ඇති පීල්ල අගට කපා ගත් ප්ලාස්ටික් හෝ වෙනත් බෝතලයක් හෝ භාජනයක් රදවන්න.

දර පිළිස්සීමේදී නිකුත් වන දර වලටම ආවේනික නොයෙකුත් රසායනිකයන් සහ ජල වාෂ්ප මෙම දුම් බටය දිගේ පැමිණ ජලය සහිත ඇළුමේනියම් කළයේ ගැටීමෙන් සිසිල් වේ. එසේ සිසිල් වන රසායනිකයන් සහ ජල වාෂ්ප ද්‍රව බවට පත්වීමෙන් පීල්ල මතට වැටී, පීල්ල අග ඇති භාජනයට එකතු වේ. 

(සැ.යු. කළයේ එකතු වන ද්‍රවයන් පීල්ල මතට වැටෙන ආකාරයට කළය සීරු මාරු කිරීමෙන් එම ද්‍රව්‍යන් අපතේ යාම වළක්වා ගත හැකි අතරම, මෙම ඇටවුම් වඩාත් නවීකරණය කර ගැනීමෙන් දර පිළිස්සීමෙන් නිකුත් වන සියළුම ද්‍රව්‍යයන් අපතේ නොයවා එකතු කර ගත හැක.)

(අවසානයේදී දර පිළිස්සී අවසන් වූ පසු අඟුරු මතට ජලය යෙදීමෙන් දර අඟුරු නිවා දැමිය යුතු අතර, එසේ නොකළහොත් සියල්ල අළු බවට පත්වේ.)

දැන් ඔබට දර අඟුරු සහ ඉහත දෙවන රූපයේ පරිදි එකතු කර ගත් ද්‍රව්‍යයන් ද ලැබී ඇත.

දර අඟුරු කුඩාවට තලා ගන්න. පසුව වගාව සඳහා යොදන කාබනික පොහොර සමග 1:1 අනුපාතයට යොදන්න. දර අඟුරු ඔබට අලුත් දෙයක් නොවේ. නමුත් එම අඟුරු වඩාත් පරික්ෂාවෙන් බැලීමේදී එහි සිදුරු මිලියන ගණනින් ඇති බව ඔබට පෙනේවී. මෙම සිදුරු ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවින් හට ජීවත් වීමටත් බෝ වීමටත් ඉස්තරම්ම වර්ගයේ නිවහනක් බව ඔබ දන්නවාද? ඒ වාගේම මෙම සිදුරු තුළ විශාල වශයෙන් ජලය ගබඩා වන අතර, පසෙහි ජලය හිග අවස්ථාවලදී නැවත ජලය ලබා දෙන තුරු ශාඛයට අවශ්‍ය ජලය මෙම අඟුරු තුළ තැන්පත් වී ඇති ජලය මගින් සැපයීම ද සිදු වේ. තවද ශාඛයට අවශ්‍ය විවිධ වර්ගයේ පෝෂක කොටස් ද මෙම අඟුරු මගින් ලැබේවි.

ඔබට ලැබී ඇති රසායනිකය ඉතා විශිෂ්ඨ ගණයේ බීජ ප්‍රතිකාරකයකි. පසෙහි බීජ සිටුවීමට පෙර මෙම රසායනිකය ජලය සමග මිශ්‍ර කර පසට යෙදීමෙන් පසෙහි ඇති දිළිර වර්ගයන් සහමුළින්ම විනාශ වන අතර, මෙම රසායනිකය වල් නාශයකයක් ලෙසද ක්‍රියා කරයි. ඊට අමතරව මෙම රසායනිකය දැව ආරක්ෂණයක් ලෙස ද භාවිතයට ගත හැකි අතර, මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර වඩාත් හොඳින් පිරිපහදු කර ගන්නේ නම් මෙමගින් ඉන්ධන සහ තාර ද ලබා ගත හැක. තවද මෙම රසායනිකය 1:50 අනුපාතයට ජලය සමග මිශ්‍ර කර වම්බොටු ආදී ශාකවල ගෙඩි වලට යෙදීමෙන් ඒවායේ සිටින ගෙඩි විදින පණුවන් වද කිරීමට ද යොදා ගත හැක.

දර අඟුරු කාබනික පොහොර සමග මිශ්‍ර කර පසට යොදා වගා කළ කංකුං වගාවක්.

කාබනික ගොවිතැනට නැඹුරු වන ගොවියා එමගින් විශිෂ්ඨ ගණයේ ගුණාත්මක ඵලදාවක් මෙන්ම ආත්ම තෘප්තියක් ද ලබයි. එක් වරක් කාබනික ගොවිතැනට හිත යොමු කළහොත් ජීවිතයේ කවරදාකවත් නැවත රසායනික යෙදවුම් පසට යොදන්නට හෝ ශාකයට යොදන්නට ඔබගේ හෘද ශාක්ෂිය ඔබට ඉඩ නොදෙනු ඇත. විනෝදාංශයක් ලෙසද කුඩා ගෙවතු වගාවක් ආකාරයට ආරම්භ කළ හැකි මෙම වගා ක්‍රමයන් මානසික සුවය මෙන්ම ආත්ම තෘප්තිය සොයන්නන්ට ද එම සුවය ලබා ගත හැකි එක් ක්‍රමයක් ලෙසයි මා දකින්නේ යැයි ශ්‍රීලාල් ගොවි මහතා අවසන් වශයෙන් පැවසී ය.

සටහන හා ඡායාරූප :- ධර්මවංශ පීරිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *