වියළීමක් නොකරම රස ගුණ සපිරි ‘කහ පල්පයක්’ නිවසේදීම සකසා ගනිමු ද ?

අතීතයේදී අද මෙන් කහ කුඩු භාවිතයක් නොතිබූ අතර තම්බා වේලා ගත් කහ අල ගලේ අඹරා සකසා ගත් කහ ගුලිය තුනපහ භාජනයක තබා ගනිමින් භාවිතයට ගැනිනි. ඇඹරුම් ගලට සමු දීමත් සමග මුළුතැන් ගෙට පැමිණි ඇඹරුම් යන්ත්‍රවලට වියලි කහ අල ඇඹරීමට නොහැකිවීම නිසා කහ කුඩු භාවිතයට වත්මන් ගෘහණිය හුරු විය. අද කහ කුඩු නැතිවම බැරි ජනප්‍රිය කුළුබඩුවක් බවට පත්වී ඇත.

කහ වියළීම සිදු කළ යුතුමදැයි කහ හිගවීමත් සමගම විවිධ සංවාද මේ දිනවල බහුලව දක්නට ලැබිණි.

ඇත්තටම ඇයි අප කහ වේලන්නේ ?  එයට හේතු කිහිපයකි. ඒවානම්,

  1. කහ අස්වනු ලැබෙනුයේ වසරේ නිශ්චිත කාලයක බැවින් ලැබෙන අස්වැන්න වසර පුරාම භාවිතයට ගත හැකි පරිදි කල් තබා ගත හැකි පහසුම ක්‍රමය තම්බා වියළීම වීම.
  2. තම්ම්බා වියළා ගැනීම සරල වීම හා සාම්ප්‍රදායික ක්‍රමයක් වීම.
  3. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදීම අවශ්‍ය නොවීම.

නමුත් කහ වියලන විට පවතින ප්‍රධාන අවාසිය නම්, වියලි කහ කිලෝ ග්‍රෑම් 1ක් සදා ගැනීමට අමු අල කිලෝ ග්‍රෑම් 6ක් පමණ අවශ්‍ය වීමයි.

නමුත්, කහ පල්පයක් සදා ගත හැකිනම් අස්වැන්න එලෙසම භාවිතයට යෙදවිය හැකි නිසා මේ කහ හිග කාලයට කදිම විසදුමක් වනු ඇත.

නමුත් කහ පල්ප සෑදීමේදී ඔබ අනුගමනය කරන ක්‍රියා පිළිවෙත ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිත විය යුතුය. එසේ නොමැති වුවහොත් ඔබගේ වටිනා කහ අස්වැන්න අපතේ යාමට ඉඩ තිබේ. එමෙන්ම ඔබ ව්‍යාපාරිකයකු ලෙස කහ පල්පය වෙළද පොළට ඉදිරිපත් කරන්නේ නම්, ඔබගේ පාරිභෝගිකයන් ඒ සදහා හුරු කරවා ගත යුතුය. එමෙන්ම, එම නිශ්පාදනය වෙළදපොළ තුළ ආකර්ශනය දිනා ගන්නා ආකාරයට ඉදිරිපත් කළයුතුය.

එසේනම් කහ පල්පයක් සකසන ආකාරය බලමු.

කහ පත්‍ර කහ පැහැ වී වියලීමට පටන්ගත් විට එනම් සිටුවා මාස 9ක් පමණ ගතවු පසුව කහ අල නැතිනම් රයිසෝම මෝරා ඇති අතර මේ අවස්ථාවේදී අස්වනු නෙළාගත හැකිය. අස්වනු නෙළීමේදී රයිසෝම වලට හානි නොවන ලෙස උදලු මුල්ලුවක් හෝ සුදුසු යන්ත්‍රයක ආධාරයෙන් ගලවා ගත යුතුය. ගෘහාශ්‍රිතව පොලිසැක් මලුවල වගා කරන ලද කහ අලද, පත්‍ර කහ වී වියලෙන විට රයිසෝමවලට හානි නොවන ලෙස ගලවා ගත යුතුය.

මෙම නිෂ්පාදනය කහ අල ගලවා පැය 24ක් 48ක් පමණ කාලයක් තුළ සිදු කිරීමෙන් වඩාත් සාර්ථක කහ පැහැයක් ලබා ගත හැකිවේ.

පල්පය සැකසීමේදී හොදින් මෝරන ලද කහ අල ගෙන පස් ඉවත්කොට මුල් කපා ගන්න. ඉන්පසු කහ අල ඇගිලි අල හා මව් අල වෙන් කර ගන්න. ඉන්පසු කහ අල මතුපිට ඇති වැලි හා මඩ සම්පූර්ණයෙන්ම ඉවත්වන තුරු හොදින් අතුල්ලා සෝදා පිරිසිදු කරගන්න. මෙහිදී කහ අල තැඹිලි පාටින් පිට පොත්ත දකින්න ලැබෙන තෙක් පිරිසිදු කළ යුතුය. විශාල මව් අල දිග අතට දෙකට පලා ගන්න. ඉන්පසු ඇගිලි අල හා මව් අල තම්බා ගන්න. කහ තැම්බීම සදහා පහත ක්‍රම වලින් එක් ක්‍රමයක් අනුගමනය කළ හැකිය.

  • නටන ජලයේ ගිල්වා විනාඩි 30ක් තැම්බීම හෝ
  • හුමාල ජනකයක හෙවත් ස්ටීමරයක දමා විනාඩි 30ක් තැම්බීම හෝ
  • පීඩන උදුනක (ප්‍රේෂර් කුකරයක) විනාඩි 10ක් 15ක් පමණ තැම්බීම.

එවිට කහ අල කඩා බැලූ විට නූල් ඇදෙන ත්ත්වයට පත්වී ඇත. ඉන්පසු කහ අල වල බර කිලෝ ග්‍රෑම් එකකට ලුණු කුඩු ග්‍රෑම් 100ක් හා සිට්‍රික් අම්ලය ග්‍රෑම් 5-8 ක් අතර ප්‍රමාණයක් එකතු කර එම කහ අල පල්පර් යන්ත්‍රයක් හෝ ගෘහස්ථ බ්ලෙන්ඩරයක් ආධාරයෙන් ඉතා සියුම්ව අඹරා ගන්න. පල්පරයෙන් අඹරනවිට ජලය එක්කිරීම අවශ්‍ය නොවුණ ද බ්ලෙන්ඩරය සදහා නම් කහ කිලෝග්‍රෑම් එකකට ජලය මිලිලීටර් 100ක් පමණ එකතුතළ යුතුය.

ඉන්පසු සැකසුන කහ පල්පර් හෙවත් පේස්ට් එක ලිප මත තබා මද ගින්නේ හොදින් හැදි ගාමින් විනාඩි 10ක් 15ක් පමණ පිසගන්න. ඉන්පසු ලිපෙන් බාගෙන අවශ්‍ය නම් අනුමත අහාර කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් එකතුකර ජිවානුහරණය කළ බෝතල්වල හෝ කප්වල අසුරාගන්න.

මෙය කහ පල්පය ලෙස නිවසේ භාවිතයට ගැනීමට හෝ ලේබල් කර වෙළද පොළට නව නිශ්පාදනයක් ලෙස නිකුත් කළ හැකිය. මෙම නිශ්පාදනය කල්තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස අසුරන ලද බෝතල් ජලභාජනයක  ගිල්වා ද්විත්වතාපනයට (Double boiling) ලක්කිරීම වඩාත් සුදුසුය.

වඩාත් සෞඛ්‍යආරක්ෂිත ලෙස මෙය නිපදවන්නේ නම් මාස 6ක් පමණ කල් ශීතකරණයක් නොමැතිව වුවද විවෘත කරනතෙක් කල් තබාගතහැකිය. කෙසේවෙතත් අසුරණය විවෘතකිරීමෙන් පසු ශීතකරණයේ තැබීමත් භාවිතයට ගැනීම සදහා වියලි හැන්දක් භාවිතා කිරීමත් වඩාත් සුදුසු වේ.

සැකසුම : තුෂාරී ලියනගේ,  නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ), පසුඅස්වනු තාක්ෂණ අංශය, මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය, අපනයන කෘෂිකර්ම දෙර්තමේන්තුව, මාතලේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *