සහල් මල්ලේ බතල වවමු

Ipomea batata යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බතල අයත් වන්නේ කොන්වොලියුලේසියානු ශාක කුලයට වේ. මෙහි සම්භවය මධ්‍යම ඇමරිකාව ලෙස සැලකේ. බතල වගාව අප රටට හඳුන්වා දුන් බෝගයක් වුවත් අතීතයේ පටන්ම අපගේ දේශීය කෘෂිකර්මාන්තයේ ප්‍රධාන බෝගයකි.

විවිධ පරිසර තත්ත්වයන් යටතේ විවිධ වගා රටාවන්ට අනුවර්තිත බතල ශාකය පහසු නඩත්තුව, අවම කෘමි හා රෝග පලිබෝධ හානිය සහ කෙටි කලකින් අස්වනු ලබා ගත හැකි වීම යන සාධක පදනම්ව බතල වගාව පවත්වා ගෙන යාම වඩාත් පහසු වේ.

ශ්‍රී ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල ගෙවතු වගා මෙන්ම වාණිජ වගා ලෙසද බතල වගාව සුලබව දැක ගත හැකිය.බතල වගාව සඳහා අවශ්‍ය වන්නේ අඩු ශ්‍රමයක් වන අතර කෙටි කලකින් ඉහළ අස්වැන්නක් ලබා දෙයි. ගෙවත්තෙහි තනි වගාවක්, මිශ්‍ර වගාවක් මෙන්ම තෙත් වගාවක් ලෙසද වගා කළ හැකි බෝගයක් වශයෙන් බතල වගාව සුවිශේෂි වේ.

බතල අපගේ ප්‍රධාන ආහාර වේලට අමතරව ආදේශකයක් ලෙස භාවිතා කළහැකි පෝෂණ ගුණයෙන් අනූන ආහාරයකි. එසේම අයහපත් කාලගුණික තත්ත්වයන් මත අනෙකුත් ප්‍රධාන බෝගයන්හි නිෂ්පාදන ධාරිතාව අවම වන අවස්ථාවන්හි වුවද විකල්ප බෝගයක් ලෙසද බතල වඩාත් හොඳ ආදේශක බෝගයක් වේ. වගා කිරීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක් අවශ්‍ය වීම, ගුල්ලන්, මීයන් සහ වන සතුන්ගේ හානිය මෙන්ම මනා බිම් සැකසුමක අවශ්‍යතාව යන කාරණා පසුබිම්ව අද වනවිට බතල වගාව සඳහා ගොවියා ලබා දෙන්නේ ඉතා අඩු ප්‍රමුඛතාවයකි. මෙම ගැටලුකාරී තත්ත්වයන් මගහරවා ගනිමින් සාර්ථක බතල අස්වැන්නක් ලබා ගැනීම සඳහා නව වගා ක්‍රමවේදයක් වශයෙන් වගා මළුවල බතල වගා කිරීමේ  ක්‍රමය වෙත යොමු විය හැකිය.

දේශගුණය

වර්ධනයේ මුල්කාලයේ වර්ෂා සහිත වීමත් අල හට ගන්නා කාලයේ වියලි දේශගුණයක් පැවතීම සුදුසු වේ. කෙසේ වුවත් බතල වගාව උණුසුම් පරිසර තත්ත්වයන්ට වඩාත් තැමති වේ. බතල වගාව පවත්වා ගෙන යාමේදී වගාවේ මුල් කාලයේ වර්ෂිව පැවතීමත් අල හටගන්නා කාලයේදී වියළි කාලගුණය පැවතීම හිතකරය.

කන්නයට වගා කරන බෝගයක් නොවුණද යල සහ මහ වර්ෂාව ආරම්භයත් සමග බතල වගා කිරීම ආරම්භ වේ.

වගා ක්‍රමවේදය

බතල වගා කිරීමේදී වඩාත් හොඳ රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම අවශ්‍ය වේ. එනම් ගුණාත්මක නිරෝගී වැල් තෝරා ගැනීමෙන් වගාවේ සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. වැල්වල කරටියේ සිට පහලට අස්වැන්න ලබා දීමේ හැකියාව අඩු වන නිසා කරටි හෝ ඊට ආසන්න කොටස් හැකිතාක් දුරට භාවිතා කිරීම සුදුසු වේ.

අගල් 8-10 දිග ප්‍රමාණයේ බතල දඬු වගාව සඳහා යොදා ගැනීම යෝග්‍ය වේ. වගාව සඳහා අගල් 14 පළල වගා මළු හෝ සහල් කවර භාවිතා කළ හැකිය. මෙම වගා මළු සඳහා පස් 1, වැලි 1, කොම්පෝස්ට් 1 සහිත අනුපාත වන පරිදි පස් මිශ්‍රණය පුරවා ගත යුතුය. පස නිසරු නම් පමණක් යූරියා 1, T.S.P. 2 සහ M.O.P. 2 වශයෙන් පොහොර මිශ්‍රණය සාදා එක් වගා මල්ලකට 10g පමණ එක් කරන්න.

වගා මල්ලක් තැබීම සඳහා වර්ග අඩි 1.5 ක පමණ ඉඩ ප්‍රමාණවත් වන අතර බතල දණ්ඩ මුල් ඇදුණු පසු ගසක අත්තක් (ඉපලක්) මෙම මල්ලෙහි සිටවිය යුතුය.

බතල වගාව තුළදී මූලික පොහොර ලෙස සිටුවා දින 15කදී N.P.K පොහොර මිශ්‍රණයක්ද, මතුපිට පොහොර ලෙස දින 45 කට පෙර භගණග අඩංගු පොහොර මිශ්‍රණයක් ද යෙදීම අවශ්‍ය වේ.

පසුව වැඩෙන බතල වැල ඉපල දිගේ ඉහලට ගමන් කිරීමට ඉඩ සැලැස්විය යුතුය. මෙම වගා මල්ලකින් මාස 3-4 අතර කාලය තුළදී බතල 3kg පමණ අස්වැන්නක් ලබා ගත හැකිය.

අස්වැන්න නෙලීම

බතල ප්‍රභේදය, පරිසර තත්ත්වය සහ නඩත්තු කටයුතු මත අස්වැන්න නෙලීම සඳහා සුදුසු කාලය තීරණය කළ හැකිය. එසේම වැඩි කාලයක් ක්ෂේත්‍රයෙහි තිබීම අලවල රසය අඩු වීම, අලගුල්ලාගේ හානිය වැඩිවීම මෙන්ම අල නරක් වීමටඅස්වැන්න නෙලීමට සුදුසු ලෙස අල වර්ධනය වී ඇතිදැයි දැන ගැනීමට බනල අල කැපූ විට කිරි ඉක්මණින් දුඹුරු නොවීමේ අවස්ථාවෙන් හඳුනා ගත හැකිය.

අලවලට තුවාල නොවන ආකාරයට ගලවා ගැනීමෙන් පසු අස්වනු හානි අවම කර ගත හැකිය. පොළොව මත වියලි තණකොළ වැනි දෙයක් අතුරා ඒ මත ගලවාගත් අල දින කිහිපයක් තබා ගැනීමෙන් පොත්ත ඝන වීම සහ සිදු වන අතර එමගින් අල කැබලි වියලීම, නරක් වීම වැනි තත්ත්වයන් අවම කර ගත හැකිය.

විද්‍යාත්මක පසුබිම

මෙහිදී වැල ඉපලෙහි රඳවා පවතිත නිසාවෙන් වැල ඉහළ අතට වර්ධනය වීම සිදු වේ. ඒ නිසාවෙන් වැලට හොඳින් හිරු එළිය ලැබීම නිසා ප්‍රභාසංස්ලේෂණය ඔස්සේ ආහාර නිෂ්පාදනය වර්ධනය වේ. පාත්ති තුළ මෙන් වැල පසෙහි නොගැටෙන නිසාවෙන් සෑම තැනකින් ම කුඩා අල හට නොගනී. එබැවින් වැල් මුලින් මතුවන අල වඩාත් හොඳින් වැඩුණු ඒවා වේ.

එසේම මෙම බතල වගාව සීමිත ඉඩකඩක සිදු වන නිසාවෙන්  අල බැසීමේ දිශානතිය ඉහළට යොමු වන අතර පහළට බෑගයේ පතුල දක්වා කිසිදු බාධාවකින් තොරව අල වර්ධනය වේ. කොම්පෝස්ට් අඩංගු පස අල බැසීම පහසු කරවන අතරම ශාකයට අවශ්‍ය පෝෂණය සපයයි.

හානිදායක තත්ත්වයන්

බතල වගාවේදී හානිකර කෘමියෙකු වශයෙන් බතල ගුල්ලා හඳුනා ගත හැකිය. අස්වැන්නෙහි ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බව කෙරෙහි විශාල වශයෙන් බලපායි. පරිනත ගුල්ලෙකු බතල ශාකයේ සෑම කොටසක්ම ආහාරයට ගන්නා අතර බිත්තර දමනුයේ වැලෙහි පාදයේ මේරූ කොටස් වල හා පස මතුපිටට පැමිණි අල මතය. මොවුන් විනාශකාරී හානිය ඇති කරන්නේ කීට අවස්ථාව තුළය. වගාව තුළදී ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය යොදා ගැනීම, පූර්ව වශයෙන් අවශ්‍ය පොහොර යෙදීම, වියලි කාලවලදී අවශ්‍ය ජල සම්පාදනය, නිසි කලට අස්වනු නෙලීම, වසුන් යෙදීම (අල පස්වලින් යෙදීම), පරණ වැල් ඉවත් කිරීම (ශාක කොටස් වල දැමීම, පිලිස්සීම) ආදී ක්‍රම මගින් අස්වනු හානිය අවම කර ගත හැකිය.

එසේම වගාව තුළ වට පණුවන් ඇති වීම නිසා මුල් සහ අල මතුපිට ගැටිති හට ගැනීමෙන් දිලීර සහ බැක්ටීරියා ආසාදන ඇති වේ. මෙය අලවල ගුණාත්මකභාවයට බලපෑම් ඇති කරයි.

මෙම ක්‍රමවේදයෙහි වාසි

කුඩා ඉඩකඩක වුවද වගාව සිදු කිරීමට හැකි අතර වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතී. වගා කටයුතු සඳහා නුසුදුසු බිමක වුවද මෙම ක්‍රමවේදය ඔස්සේ වගා කළ හැකි වන අතර ගුල්ලන් සහ මීයන් වැනි සතුන්ගෙන් වගාවට සිදු වන හානිය අවම කර ගත හැකිය. මහා පරිමාණ වගාවකදී මෙන් බතල අල යාන්ත්‍රික හානි වලින් ද තොර වේ. මෙහිදී පුහුණු ශ්‍රමය අවශ්‍ය නොවන අතර වගාව සඳහා පවුලේ සාමාජිකයන්ගේ ශ්‍රම දායකත්වය ලබා ගත හැකිය.

සැලකිලිමත් විය යුතු කරුණු

භාවිතා කරන පසෙහි මැටි ප්‍රමාණය අඩු වියයුතු අතර සැහැල්ලු විය යුතුය. පස හොඳින් ජලය බැස යන වැලි ලොම් සහිත පස වගාවට සුදුසු වේ. මැටි සහිත පසෙහි කොළදාව වැඩි වුවද අල හටගැනීම අඩු නිසා අස්වැන්නද අවම වේ. වැල් පෙරලීම මගින් වැල් දිගට ඇදී යෑම අවම කර ගතහැකි අතර මුල් කොටසෙහි අල සෑදීමත් ඒවා විශාල ලෙස වර්ධනය වීමත් සිදු වේ.

මූලාශ්‍රය – ඌව කෘෂි පුවත්, ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ඒස්. සදමාලි නාරංගොඩ, කෘෂිකර්ම උපදේශිකා, ඌවපරණගම

සටහන – තනූජා හසින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *