දකුණු ආසියාතික රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික දර්ශක ඉහළ මට්ටමක පැවතියද මාතෘ හා ළදරු මන්දපෝෂණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය එතරම් සතුටුදායක නොවේ.
වසර ගණනාවක් මුලුල්ලේ මන්දපෝෂණයට එරෙහිව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කලද තවමත් මන්දපෝෂණය ශ්‍රී ලංකාවේ ප්‍රධාන මහජන සෞඛ්‍යය ගැටලුවකි. ශ්‍රී ලංකාවේ පවත්වන ලද සෞඛ්‍යය සමීක්ෂණයකට අනුව විවාහක කාන්තාවන්ගෙන් 22% ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත්, මවගේ පෝෂණ තත්ත්වයේ බලපෑම් මත අඩු බර උපත් සිදුවන බවත් වාර්තා වී ඇත.
අඩු බර උපත් සහිත දරුවන් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවෙන් අඩු බවත් පෙන්ව දී ඇත. තවද, පාසල් සිසුන්ගෙන් බහුතරයක් පෝෂ්‍යදායී හා සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා නොගන්නා බව පෙන්වා දී ඇත. පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීමට හේතු වී ඇත්තේ අඩු ආදායම් ලාභීන් වීමයි. එම නිසා අඩු වියදම්, තිරසාර පෝෂණීය ප්‍රභවයක් මොවුන් හට සැපයීමේ අවශ්‍යතාවය ඇත.
”මුරුංගා” යනු ශ්‍රී ලංකාවේ බොහෝ ගෙවතු වල දක්නට ලැබෙන බහුකාර්ය ශාකයකි. මෙම ශාකය ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක පහසුවෙන් වගා කළ හැකි, නඩත්තු වියදම ඉතා අඩු වේගයෙන් වර්ධනය වන හා නියගයට ඔරොත්තු දෙන ශාකයක් වන අතර අනෙකුත් එළවළු සහ පලතුරු හා සැසඳීමේදී,
මුරුංගා වල බොහෝ අධික පෝෂණ හා ඖෂධීය ගුණයන් අන්තර්ගත වේ. මෙම ශාකයේ ඇති බහුකාර්ය ගුණය නිසාත්, ඉහළ පෝෂණීය හා ඖෂධිය ගුණය නිසාත්, අනෙකුත් වටිනාකම් නිසාත් ‘The Miracle Tree’ යන අන්වර්ථ නාමයෙන්ද මෙම ශාකය හදුන්වනු ලබයි.

මුරුංගා ආහාරය විටමින්, ඛනිජ, ප්‍රෝටීන, ප්‍රති ඔක්සිහාරක බහුල ස්වාභාවික පූර්ණ ආහාර ප්‍රභවයක් වන අතර නිරෝගී ජීවිතයක් සදහා අවශ්‍ය බොහෝ පෝෂක මෙමගින් ලබා ගත හැක. මුරුංගා පත්‍ර වල විටමින් A අධික ප්‍රමාණයක් ඇති අතර විටමින් C, Ca, Fe, Cu, K, Mg, Se, Zn හා අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු පරිපූර්ණ පෝෂකයකි. මුරුංගා පත්‍ර 100g ක් මගින් කාන්තාවන්ට අවශ්‍ය Ca ප්‍රමාණයෙන් 1/3ක් සපයන අතර, යකඩ, ප්‍රෝටීන, Cu, S ආදී විටමින් ද, සපයනු ලැබේ. සෞඛ්‍ය අධ්‍යනයන් පෙන්වා දී ඇති පරිදි මුරුංගා පත්‍ර වල කුඩු මගින් දරුවන් හා මවුවරුන්ගේ පෝෂණ තත්ත්වයන් ඉහළ යන බව පෙන්වා දී ඇත.
කැරට් වල අඩංගු විටමින් A ප්‍රමාණය මෙන් හතර ගුණයක් විටමින් A ද, කෙසෙල්වල අඩංගු ප්‍රමාණය මෙන් පොටෑසියම් තුන් ගුණයක් ද, කිරි වල අඩංගු කැල්සියම් ප්‍රමාණය මෙන් දහහත්ගුණයක් මුරුංගා පන්‍ර වල අඩංගුවන අතර එහි විටමින් C ද අඩංගු වේ. දොඩම් වැනි පළතුරු වල අඩංගු විටමින් C ප්‍රමාණය මෙන් හත් ගුණයක් විටමින් C ද, යෝගට් වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය මෙන් නවගුණයක් ප්‍රෝටීන් ද මුරුංගා පත්‍රවල අඩංගු වේ. නිවිතිවල අඩංගු යකඩ ප්‍රමානය මෙන් විසිපස්ගුණයක් යකඩ පවති
Moringa oleifera යන විද්‍යාත්මක නමින් හැදින් වෙන මෙම ශාකය Moringaceae පවුලට අයත් වන අතර ඉන්දියාව, අප්‍රිකාව, දකුණු ආසියාවට ආවේණික ශාකයකි. ඈත අතීතයේ සිටම මෙම ශාකයේ විවිධ කොටස් ආහාරයට ගත් බව සදහන්ව ඇත. මුරුංගා ශාකයේ විවිධ කොටස් මගින් පෝශණ හා ඖෂධීය ගුණාංගද, රසකාරක ගුණාංගද පවතී. මුරුංගා පත්‍ර එළවළුවක් ලෙස භාවිතා කරන අතර කුඩු කර වියළා ගැනීමෙන් වැඩි කලක් භාවිතා කල හැක. බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම ශාකයේ පවතින සුවිශේෂී ලක්ෂණ හේතුවෙන් ක්ෂුද්‍ර පෝෂක මන්දපෝෂණය සදහා සුදුසු හොඳ විසදුමක් ලෙස තෝරා ගෙන ඇත.

මුරුංගා ශාකය නිවර්තන හා උප නිවර්තන කලාපවල උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 20 සිට 35 පවතින තරමක ආම්ලික හා භාෂ්මික පිඑච් අගයන් සහිත වැලි පොළොව සහිත පසෙක හොඳින් වගා කළ හැක. මෙම ශාකය බීජ මගින් මෙන්ම අංකුර හා දඬු කැබලි මඟින් ද ප්‍රරෝහනයවේ.
මුරුංගා බීජවල ඉහළ ප්‍රරෝහන ප්‍රතිශතයක් ඇති නිසා බීජ මගින් පැල කිරීම සාර්ථතකය. බීජ සිටුවීමෙන් දින පහක් දොලහත් අතර ප්‍රරෝහනය වේ . බීජ පැල සිටුවීමෙන් දින 60 ටපසු පලමු කොල අස්වැන්නක්ලබා ගත හැකි අතර වසරකට හෙක්ටයාරයකින් දළු කොල ටොන් 6 ක් ලබාගත හැක.
දඩු කැබිලි ප්‍රරෝහනයේදි මීටර් එකක් දිග විශ්කම්භය සෙන්ටිමීටර් 5ක් පමණ වන දඬු කැබලි ඉතා සුදුසුය. නමුත් මෙම පැල වල ගැඹුරු මූල පද්ධතියක් නොමැති බැවින් නියඟයට හෝ සුළඟට ඔරොත්තු දීමේ හැකියාව අඩුය.ඒ නිසා ආධාරකයක් සවිකරිම සිදුකල යුතුය.
දෙවන වසරේදි එක ගසකින් කරල් 300 ක් පමන ගත හැකි අතර තුන්වන වසරේදි කරල් 400-500 අස්වනු ලෙස ගතහැක. හොදින් වර්ධනය වු ගසකින් වසරකට කරල් 1000 කට වැඩි සංඛ්‍යාවක් ලබාගත හැක. නෙළා ගන්නා කොළ අස්වැන්න හිරු එළියට නිරාවරණය නොකළ යුතු අතර අස්වනු නෙළාගත් වහාම පිරිසිදු ජලයෙන් සෝදා මද සෙවනේ වියලා ගත යුතුය.

මුරුංගා මල් මගින් රසවත් තේ පිලයෙල කල හැකි අතර මේරු බිජ කරකිරිමෙන් කජුවලට ආදේශකයක් ලෙස භාවිතා කල හැක. මුරුංගා බීජ වල ප්‍රතිජීවක ක ගුණයක් ඇති අතර ඒ හේතුවෙන් ජලය පිරිසිදු කරගැනිමටද යොදා ගනී
මෙම ශාකය දේශගුණ විපර්යාස සදහා ඔරොත්තු දීමේ හැකියාව අධික වන අතර පාංශු දේශගුණික හා පාරිසරික වෙනස්වීමවලට ඔරෝත්තු දීමේ ඇති සුවිශේෂ හැකියාව නිසා නොමියෙන ශාකය ලෙස හදුන්වනු ලැබේ.
.ලෝකයේ මුරුංග ආශ්‍රිත නිෂ්පාදන සදහා වැඩිම දායකත්වයක් සපයන රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ නොමේරූ කරල් ටොන් මිලියන 1.3 ක් වාර්ෂිකව නිෂ්පාදනය කරයි. තායිවානය ද මන්දපෝෂණය පිටුදැකීම සඳහා විශාල වශයෙන් මුරුංගා උපයෝගිකරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ප්‍රධාන වශයෙන් මුරුංගා ශාකය දක්නට ඇති අතර මෙම දේශීය ප්‍රභේද මගින් වසරකට දෙවතාවක් අස්වනු ලබා දෙනු ලබයි. මුරුංගා සම්බන්ධයෙන් ප්‍රධාන පර්යේෂණ පවත්වන රට වන්නේ ඉන්දියාවයි. විශේෂයෙන් නව දෙමුහුම් ප්‍රබේද ඇතිකිරීම විවිධ අගය එකතුකල නිෂ්පාදන බිහිකිරීම මෙම පර්යේෂණායතනවල ප්‍රධාන කාර්යභාරයවේ.
මෙම මුරුංගා ශාකයේ ඇති පෝෂණිය හා ඖෂධිය ගුණය මෙන්ම හා අනෙකුත් සුවිශේෂ ගුනාංග හදුනාගත් වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා ආර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ගර්භනී මව්ව්රුන්, කිරි දෙන මව්වරුන් හා වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වැඩසටහනක් සකස්කරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදුන් අතර ඒ අනුව ජීවතුරු ජාතික වැඩසටහන සැලසුම් කරන ලදි.
මෙම වැඩ සටහන මගින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සිටින සියළුම ගර්භණි හා වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින පවුල් වෙත තම ගෙවතු වල වගාකර ගැනීම සදහා මුරුංගා පැලයක් ලබාදීමට අපේක්ෂා කරනලදි. ඒ අනුව 2021 සිංහල දෙමල අළුත් අවුරුදු හිසතෙල් ගෑමේ ජාතික මංගල්‍යටයට සමගාමීව පෝෂණ ගුණයෙන් අනූන මුරුංගා බීජ පැළයක් ගර්භණි හා වයස අවුරුදු 5 ට අඩු දරුවන් සිටින සැම නිවසකම ගෙවත්තේ සිටුවීම සදහා ලබා දෙන ලදි. ඒ අනුව මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර මේවනවිට මුරුංගා පැළ ලක්ෂ 7 ක් පමන ප්‍රතිලාභි ජනතාව වෙත ලබාදි ඇත,
තවද මෙම මුරුංගා ප්‍රවර්ධන වැඩසටහන 2025 දක්වා ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත අතර මෙම ශාකයේ පවතින පෝෂණිය හා ඖෂධීය ගුණය හේතුවෙන් සෑම නිවසකම තිබිය යුතු අත්‍යාවශ්‍ය ශාකයක් බවට හදුනාගෙන ඇති අතර ඉඩකඩ අඩු නාගරික ගෙවතු මහල් නිවාස සදහාද බදුන්ගත ක්‍රමයට වගා කරගැනීම සදහා ලබා දීමට මෙම ජීවතුරු වැඩසටහන මගින් අපේක්ෂාකෙරේ.

එම්.ජි. අජිත් පුෂ්පකුමාර – අධ්‍යක්ෂ (කෘෂි ව්‍යාපාර) වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු හා ආර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය