මහ කන්නයට අවශ්‍ය සියලුම පොහොර නියමිත දිනට ගොවිබිමට – කෘෂිකර්ම ඇමැති

මහ කන්නය ආරම්භ  කරන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නියමිත දිනට සියලු පොහොර ගොවි බිමටම ලබාදීමට පියවර ගන්නා බවත්, අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙසත් අම්පාර දිස්ත්‍රික් ගොවි සංගම් නියෝජිතයින්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 29 වැනිදා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලේදී පැවති අම්පාර දිස්ත්‍රික් ‘සෞභාග්‍යා’ තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය රැස්වීමේදීය.

අම්පාර දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 38,903ක්  නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව එම සාකච්ඡාවේදී හෙළිවිය. ඒ ඒ ආයතන මෙන්ම ගොවි ජනතාව ද දැඩි උනන්දුවකින් වස විස නැති රටක් ගොඩ නැඟීම සඳහා රජයේ වැඩපිළිවෙලට අවතීර්ණව ඇති බව ද එහිදී හෙළිදරව් විය.

යල මහ කන්න දෙකේ අක්කර 3,30,000ක් අම්පාර දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අතර, රටේ ජාතික වී නිෂ්පාදනට 22%ක දායකත්වයක් අම්පාර ගොවි ජනතාව විසින් ලබා දේ. ජාතික නිෂ්පාදනයට 40%ක දායකත්වයක් සපයමින් වැඩිම කව්පි වවන්නේ ද අම්පාර ගොවි ජනතාවයි. ඊට අමතරව බඩඉරිඟු, මිරිස් ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන රැසකට අම්පාර ගොවි ජනතාව විශාල දායකත්වයක් ලබා දෙනු ලැබේ.

කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන පිළිබඳවත්, මහ කන්නය සඳහා වන සූදානම පිළිබඳවත් මෙම සමාලෝචනයේදී ගොවි සංගම් නියෝජිතයින් අමාත්‍යවරයා ඇතුළු පිරිස දැනුවත් කළහ.

මේ වසර සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන්කර ඇති අතර එම මුදල් කෘෂිකාර්මික වැඩසටහන් සඳහා යොදවා ඇති ආකාරය, ඒවා ක්‍රියාත්මක කිරීමේදී පවතින අවහිරතා, ගොවි ජනතාවගේ ගැටළු, ගොවි ජනතාවගේ අදහස් හා යෝජනා සියල්ල මෙහිදී සාකච්ඡාවට ලක්විය.

මහ කන්නයේ කාබනික වගාව වෙනුවෙන් ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් නියමිත පරිදි ලබා දෙන බව ද මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මහ කන්නය ආරම්භ  කරන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නියමිත දිනට සියලු පොහොර ගොවි බිමටම ලබාදීමට පියවර ගන්නා බවත්, අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙසත් මීට එක්වූ ගොවි සංගම් නියෝජිතයින්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව බිම් මට්ටමින් ගොවි ජනතාව දැනුවත් කරන ලෙස ද මීට එක්වූ ගොවි සංගම් නියෝජිතයින්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටත් ක්‍රියාත්මක විදේශ ආධාර ව්‍යාපෘති මනා කලමනාකරණයකින් ජනතාවට වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

එම වැඩසටහන් පිළිබඳව රජයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කොට ගොවි සංගම්වල ද යෝජනා සහ අදහස් ගනිමින් ක්‍රියාත්මක වන ලෙස විදේශ ආධාර ව්‍යාපෘති භාර නිලධාරීන්ට අමාත්‍යවරයා අවධාරණය කළේය.

ගොවි ජනතාව මුහුණපාන ගැටළු ගොවි සංගම් නියෝජිතයන් මෙහිදී ඉදිරිපත් කළ අතර, ඒවාට ද ප්‍රායෝගිකව ලබාදිය හැකි විසඳුම් ලබාදීමට ද කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී පියවර ගත්තේය.

agri image 07
agri image 05

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ , වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයින් සහ අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා, නැගෙනහිර පළාත් ලේකම්වරයා ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙම සාකච්ජාවට එක්වූහ.

agri image 01

ප්‍රගති සමාලෝචනයට එක්වූ ගොවි සංගම් වෙත කෘෂිකාර්මික උපකරණ බෙදා දීමක් ද මෙහිදී සිදුවිය. පසුගිය කන්නයේ කෘෂි රක්ෂණ වන්දිවලට අදාළ චෙක්පත් ද මෙහිදී ලබා දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *