‘ඉතිහාසය මේ වගේ මිලක් අපිට රට කජුවලට ලැබිලා නෑ‘ – ලග්ගල මා ඔය ගොවීන් කියයි

තවත් අඩුවට දෙන්න නම් එල කරවන්න තාක්ෂණය ඉල්ලයි

ලග්ගල හරිත නගරයේ  කාබනික පෝර යටතේ වගා කෙරුණු රටකජු  අස්වැන්නට ඉහළ මිලක් ලැබෙන බව ලග්ගල මා  ඔය ප්‍රදේශයේ ගොවීහු පවසති.

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කාබනික වගා කලාපයක්  ලෙස ප්‍රකාශයට පත් කිරීම්ත් සමඟ කළු ගඟ නව ජලාශයේ දියවර ලබාදෙමින් මෙහි නැවත පදිංචි කර වූ ජනතාවට බෙදා දුන් ඉඩම් වල බහුතරයක් මෙවර රටකජු බීජ සඳහා වගා කොට තිබේ.

ශ්‍රී  ලංකා මහවැලි අධිකාරිය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මෙම  රටකජු වගාවන් සිදු කළ බවත් මේ වන විට රටකජු බීජ කිලෝවක් සඳහා රුපියල් 380ක  සහතික මිලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තමන්ට ලැබෙන බව රටකජු ගොවීහු පෙන්වා දෙති.

ඒ අනුව නව ලග්ගල මා  ඔය ප්‍රදේශයේ නැවත පදිංචි වූ ජනතාව වගා කළ රටකජු අස්වැන්න නෙළීම මේ දිනවල ආරම්භ කොට තිබේ.

ගොවීන් කියා සිටින්නේ රට කජු වගාව සාර්ථක වුවද මෙහි අස්වනු නෙළීම සඳහා විශාල මුදලක් වියදම් වන බව ය. එනම් රටකජු  අස්වැන්න වෙන්කර ගැනීම (එළ කිරීම)  සඳහා විශාල මුදලක් යන බවය. මෙම ජනතාව සාරි උපයෝගී කරගෙන ලී දඬු වැට සකසා කාන්තාවන් පිරිමින් දවසේ කුලියට ගෙන එම තාවකාලික වැට උපයෝගී කරගෙන රටකජු එල කර ගැනීම සිදුකරන බව පවසති.

රටකජු  වෙන් කරකර ගැනීම සඳහා ඕනෑ තරම් තාක්ෂණික මෙවලම් තිබුණද තම ගොවි බිම් ප්‍රදේශයට සහ ගොවීන් ද එවැනි යන්ත්‍රයක් හඳුන්වා නොදීම නිසා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ලක්ගල  ගොවීහු පවසති.

මෙම ගොවීන් කියා සිටින්නේ   බීජ සදහා පවතින මිල ප්‍රමාණවත් වුවද සාමාන්‍ය වෙළඳපොළේ රටකජු කිලෝවක් රුපියල්  250 ත් 300 ත් අතර මිලකට  ලබා ගන්නා බවය. එහෙත් විශාල පිරිවැයක් යනු ලබන්නේ රටකජු වගා කිරීම්ට නොව  අස්වැන්න වෙන්කර  ගැනීමටට බව ඔවුහු පෙන්වා දෙති.

ලග්ගල  හරිත  නගරයේ මා ඔය ප්‍රදේශයේ රටකජු වගා කළ ගොවියෙකු වූ එම් .ජි. කරුණාරත්න මහතා

” අපි මහවැලිය   එක්ක එකතුවෙලා  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ක තමයි රටකජු බීජ වගා කරන්නේ. ඒ අය අපට විශේෂ සහන  සලසනවා. ඒ  නිසා අපි බීජ වගා කරන්නේ ඉතාම පරිස්සමෙන්. ලොකු කැපකිරීමක් කරනවා රටකජු බීජ වගා කරන්න. කිසිම රසායනික පොහොර දාලා නැහැ. අපි රසායනික පොහොර වලින්  තොරව කාබනික වගාව තමයි කරන්නේ. හැබැයි මේ රට කජු වලට අපි කාබනික පෝර දාලා වත් නෑ. මොකද අලුත් ප්‍රදේශ අලුත් පස නිසා පොහොර අවශ්‍ය වුණේ නැහැ. අස්වැන්න නම් ටිකක් අඩුයි වගේ දැනෙනවා. මේ  ප්‍රදේශයට නැවත පදිංචියට ආපු අය. අපි හිටපු පැත්තේ අපි රටකජු වගා කළ ඒවාට පොහොරක් යෙදුවා හොඳ අස්වැන්නකුත් තිබුණ. හැබැයි මේ පැත්තේ ඇවිල්ල කරපු වගාව අස්වැන්න ටිකක් අඩුයි. අස්වැන්න අඩු වුණාට හොඳ මිලක් අපිට තියෙනවා කිලෝ එකකට රුපියල් 380 ක් වගේ. හැබැයි ඒක හොඳට තෝරලා බේරලා බීජ වලට ගිහින් දෙන්න ඕනේ. ඒ වගේම තමයි රටකජු වගාවේ  අස්වැන්න නෙළාගෙන  රටකජු වෙන් කරගන්න තමයි අපට විශාල වියදමක් යන්නේ. මහවැලිය,  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හැමදාම කියනවා මේ සඳහා විවිධ යන්ත්‍ර සූත්‍ර තියෙනවා කියලා. හැබැයි අපිට ගෙනත් දෙන්නෙ නෑ. ඒ නිසා රටකජු කිලෝ 25ක් වගා කළොත් ඒකට කාන්තාවෝ තිහක් විතර යනවා එළ කරගන්න.”

එම් ප්‍රදේශයෙන්ම රටකජු ගොවියෙකු වූ ජේ .එම්. රත්නායක මහතා.

“ඉතිහාසය මේ වගේ මිලක් අපිට රට කජු වලට ලැබිය නෑ. මේ පස හොඳ හින්දා මෙහෙම අස්වැන්නක්  තියෙනවා. මීටත් වඩා අඩුවෙන් රටකජු දෙන්න පුළුවන්. අද තාක්ෂණය ඕනෑ තරම් දියුණු වෙලා තියෙනවා. එක පැත්තකින් කාන්තාවන්ට පිරිමින්ට වැඩ කරන්න ඕන තමා. කුලී වැඩ තියෙන්න ඕන. ඒ වුණාට ගොවියන් හැටියට අපට එක දරාගන්න බෑ. රටකජු කිලෝ විසිපහක් තිහක් වගා කරලා අස්වැන්න ගල්වලා මේක නෙළාගන්න පුදුම දුකක් කරදරයක් විදිනවා. වියදමක් යනවා. බලධාරලධාරීන් මේ පිළිබඳව අවධානය යොමු කළොත් තාක්ෂණික ක්‍රමවේදයක් හොයලා දුන්නොත් මේ තරම් වියදම යන්නේ නෑ.”

දඹුල්ල කාංචන කුමාර ආරියදාස සහ නාවුල ඉන්දික අරුණ කුමාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *