සෝජාන් වගා ක්‍රමය: පුරන් කුඹුරු ගැන අලුත් බලාපොරොත්තුවක්!

ඉදිරියේදිත් මේ වගේ පුරන් කුඹුරු සෝජාන් ක්‍රමයට වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපට කිරීමට නොහැකි කිසිවක් නැහැ. උනන්දුව හා ඒ පිළිබඳව කැපවීමක් අවශ්‍යයි

ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වැද්දීම ගැන මේ වන විට විශාල සංවාදයක් සහ වැඩපිළිවෙළක් දියත්ව තිබෙනවා. ඒ අතර කුඹුරේ ඵලදායීතාවය, අස්වැන්න වැඩිකර ගැනීම ගැන වගේම රසායනික පොහොර සහ පළිබෝධනාශක අවම භාවිය ගැනත් දැඩි උනන්දුවක් තිබෙනවා. මේ සියලු බලාපොරොත්තු සහ අරමුණුවට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙන තිරසර වැඩපිළිවෙළක් මේ වන විට ගාල්ල හෝලුවාගොඩ පුරන් වූ වෙල් යාය තුළ ක්‍රියාත්මක වෙනවා. මේ ඒ ගැනයි.

මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව ආදී රටවල ප්‍රධාන වගා ක්‍රමයක් වන සෝජාන් ක්‍රමයට වගා කරන ලංකාවේ පළමුවන වගාබිම හෝලුවාගොඩ වෙල්යාය බව විශ්වාස කෙරේ. ගාල්ල බද්දේගම ප්‍රධාන පාරට මායිම් පිහිටා ඇති බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙය වසර ගණනක් තිස්සේ පුරන්ව පැවති වෙල් යායකි.

කරදිය ගැලීමත් වතුර බැස නොයාමත් නිසා වී වගා කිරීමට නොහැකිව එය අතහැර දමා තිබිණ.

මේ අතර වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණගේ ඉල්ලීමක් අනුව “ලංකාවේ ගොවි රජා ලෙස” මෙයට වසර කිහිපයකට පෙර සම්මාන ලැබූ ගාල්ලේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන සෝජාන් ක්‍රමයට වගා කිරීම සඳහා හෝලුවාගොඩ පුරන් වූ වෙල් යාය භාරගත්තේය.

කරදිය ගැලීම සහ වතුර බැස නොයාම නිසා වගා කිරීමට නොහැකි කුඹුරුවලට සුදුසුම වගා ක්‍රමය සෝජාන් ක්‍රමය බව කෘෂි විද්‍යාඥයින්ගේ මතයද වේ.

Agriculture Sri Lanka

හෝලුවාගොඩ වෙල්යාය මේ වනවිට දිනකට රුපියල් ලක්ෂ ගණනින් ආදායම් ලබන සාර්ථක වගා බිමකි. මෙම ගොවිපල ඉදිරිපිට දිනපතා උදෑසන කාලයේ දිගු පෝලිමකි. ඒ වසවිස නැති නැවුම් එළවලු, පළතුරු සහ පලා වර්ග මිලදී ගැනීමටය.

සෝජාන් වගා ක්‍රමය හඳුන්වාදුන් චන්ද්‍රලාල් අබේගුණවර්ධන අදහස් දක්වමින්: “මම ඉතාම සතුටු වෙනව මේ පුරන්ව තිබූ කුඹුරු යාය අද ඉතා සාර්ථක වගා බිමක් බවට පත් කිරීමට හැකිවීම ගැන. අවුරුදු ගණනක් මේ අක්කර සිය ගණනක විශාල කුඹුරු යාය පුරන්ව තිබුනේ කරදිය ගැලීමත් වතුර බැස නොයාමත් නිසයි. එවැනි භූමි වලට සුදුසුම ක්‍රමය මේ ජලය මතුපිට වගා කළ හැකි සෝජාන් ක්‍රමයයි. මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව ආදි රටවල මේ සෝජාන් වගා ක්‍රමය ඉතා සාර්ථකව කරනවා.”

Agriculture Sri Lanka

“වාරිමාර්ග දෙපාර්තමේන්තුව මිටර් හතරක් පළලට මීටර් දෙසිය හතළිහක් දිගට නෙරි හදල දුන්නා. ඊට පස්සේ තවත් තරුණ පිරිසක් එකතු කරගෙන වගාව ආරම්භ කළා. මේකේ එළවලු පළතුරු පමණක් නොවෙයි කුකුළන් ඇති කිරීමත් මී මැසි ජනපද ඇති කිරීමත් කරනවා. එයට අමතරව මේ නෙරි (පාත්ති) අතර තිබෙන ජලයට මිරිදිය මාලු පැටව් ලක්ෂ ගණනක් මුදාහැර තිබෙනවා. කුකුළු කුඩුවල අපද්‍රව්‍ය ජලයට වැටුන පසු ඇල්ගී හැදෙනවා. එයින් මාලු වර්ධනය වෙනවා,” ඔහු පැවසීය.

“සාමාන්‍ය පොළවේ වගා කරනවට වඩා මේ ක්‍රමයේ අස්වැන්න වැඩියි. අස්වැන්න වැඩි වීමට නම් රශ්මිය අවශ්‍යයි. ජලයේ රශ්මිය මධ්‍යම රාත්‍රිය වනතුරු තියෙනවා. උදේට හිරු එළිය වැටෙනවා.”

Agriculture Sri Lanka

වැඩිදුරටත් විස්තර කළ චන්ද්‍රලාල් අබේගුණවර්ධන, “අස්වැන්න නෙළන්න යන්නේ බෝට්ටුවෙනුයි. මේවට කිසිම රසායනික පොහොර හෝ කාමි නාශක යොදන්නේ නැහැ. දැනට එළවලු වර්ග දහසයක් ද පැපොල් හා කෙසෙල්ද පලා වර්ගද වගා කර තියෙනවා. පළමු අදියර යටතේ අක්කර පහක මේ වගාව ආරම්භ කළේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් දහඅට වෙනිදයි. මූලිකව මම රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් යෙදෙව්වා. ඒ මුදල මේ වනවිට මට ලබා ගන්න පුලුවන් උනා. දැන් දවසකට රුපියල් ලක්ෂයක විතර ආදායමක් තිබෙනවා,” යනුවෙන් ද පැවසීය.

“මේ නිසා තරුණ පිරිසට රැකියාලබා දීමට හැකි උනා වගේම පාරිභෝගික ජනතාවට වස විස නැති පිරිසිදු එළවලු පළතුරු ලබා දිමටත් හැකි උනා. මේ වෙල් යායේ තවත් කොටසක් තියෙනවා. එම කොටසෙත් නෙරි සකස් කරලයි තියෙන්නේ. ඒ ටික වගා කරන්න තරුණයින් කිහිප දෙනෙකුට දෙනවා. මේ හරියේ මොණරු ගිරව් විශාල වශයෙන් ඉන්නවා. නමුත් මේ වගාවට කිසිම හානියක් නැහැ.”

Agriculture Sri Lanka

මේ කාර්යය සඳහා තමන්ට සහය දුන් සියලු දෙනාට ස්තුති කළ ඔහු, “ඉදිරියේදිත් මේ වගේ පුරන් කුඹුරු සෝජාන් ක්‍රමයට වගා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපට කිරීමට නොහැකි කිසිවක් නැහැ. උනන්දුව හා ඒ පිළිබඳව කැපවීමක් අවශ්‍යයි,” යනුවෙන් වැඩිදුරටත් කියා සිටියේය.

බී.බී.සී සන්දේශය ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *