- පළමු අදියරට මෙ.ටොන් 50,000 ක ඉලක්කයක්
- පොස්පේට් සමාගම, සින් ටෙක් ආයතනය, කොළඹ විශ්ව විද්‍යාලය ඒකාබද්ධ වැඩසටහනක්
එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ ඉතිහාසයේ පළමු වරට බවයි වාර්තා වන්නේ.
මෙරට පොස්පරස් අවශ්‍යතාව මෙ.ටොන් 1,25,000 – 1,75,000 අතර වේ. එම අවශ්‍යතාව සපුරා ගැනීමට හෝ වෙනත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මෙතෙක් එප්පාවල පොස්පේට් නිධිය කිසිදු ප්‍රයෝජනයකට ගෙන නැත. ලෝකයේ පොස්පේට් නිධි තවත් වසර 40 කින් අවසන් බවට විවිධ පර්යේෂණ මගින් තොරතුරු හෙළිකර තිබේ. එහෙත් එප්පාවල පොස්පේට් නිධිය තව වසර 200 ක් ප්‍රයෝජනයට ගතහැකි සුවිශාල ජාතික සම්පතක් වුවත් අද වන තෙක් එහි නිසි ප්‍රයෝජනය මෙරටට ගැනීමට නොහැකිවී ඇත.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පොස්පේට් සමාගම, සින් ටෙක් ආයතනය හා කොළඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පොස්පේට් නිධිය යොදාගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට පියවර ගනු ලැබේ. එහි පළමු අදියර යටතේ මෙ.ටොන් 50,000 ක් නිෂ්පාදනය කිරීමටත් ක්‍රමයෙන් එම ධාරිතාව ඉහළ දැමීමටත් තීරණය කොට තිබේ.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (240 කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ඒ සඳහා ලංකා පොස්පේට් සමාගමේ සභාපති සුජීව ඉන්ද්‍රජිත් කරුණාසිංහ මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය සහ සින් ටෙක් ආයතනයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
එප්පාවල පොස්පේට් නිධිය ලෝකයේ පොස්පේට් නිධි අතුරින් අධි ශ්‍රේණියේ (High Grade) නිධියක් ලෙස වර්ගීකරණය කොට ඇත. මෙම නිධිය තුළ පොස්පේට් මෙ.ටොන් මිලියන 60 කට වැඩි සංචිතයක් ඇති බව භූ විද්‍යාඥයින් ගණනය කොට ඇත. 1975 වර්ෂයේ නිෂ්පාදනය ආරම්භ කළත් අදවන තුරුත් ජාතික වැඩපිළිවෙලක් ලෙසින් පොහොර නිෂ්පාදනයට එප්පාවල පොස්පේට් නිධිය නිසි පරිදි යොදා නොගැනීම ජාතියේ අවාසනාවකි.

නිසි කළමනාකරණයකින් අවශ්‍යතා හඳුනාගත් වැඩපිළිවෙළක් එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව ක්‍රියාත්මක වූවානම් පොහොර සඳහා විදේශයන්ට ඇදී ගිය මහා ධනස්කන්ධය රටට ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත. එහෙත් එය මෙතෙක් සිදුවූයේ නැත. අපේ රටේ ප්‍රධානම භෝගයක්වන වී සඳහා භාවිතා වන ත්‍රිත්ව සුපර් පොස්පේට් මුළුමනින්ම මෙතෙක් ආනයනය කරනු ලැබූ අතර එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව විද්‍යානුකූලව මෙම පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක නොවීය.
ත්‍රිත්ව පොස්පේට් වාර්ෂික අවශ්‍යතාවය මෙ.ටොන් 125,000 ක් වනඅතර ඒ සඳහා වැයකළ මුදල රු.මිලියන 18,000 කට අධික වේ. මේ සියළු කරුණු සැලකිල්ලට ගනිමින් එප්පාවල පොස්පේට් නිධිය ආශ්‍රිතව කාබනික පොහොර නිෂ්පාදන නව ක්‍රියාවලිය ආරම්භ කිරීමට අද පැවති සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.