බවර් සමාගම කාබනික විප්ලවයට කෙටි කාලීන විසඳුම් දෙයි

ශ්‍රී ලංකාවට සිය හුරුපුරුදු කෘෂිකාර්මික රටාවේ සිට කාබනික කෘෂිකර්මාන්තය වෙත සාර්ථක පරිවර්තනයක් අත් කර ගැනීමට අවශ්‍ය මූලික දැනුම හා විසඳුම් හඳුන්වා දීමට මෙරට විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් මෙන්ම, කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛ පෙළේ නවෝත්පාදකයකු ලෙස ප්‍රකට බවර් සමාගම පසුගියදා පියවර ගත්තේය. ඒ විද්‍යාත්මක සාක්ෂි මෙන්ම වෘත්තීය හා ප්‍රායෝගික අත්දැකීම් මත පදනම් වූ දැනුම උපයෝගි කර ගනිමිනි.

එහිදී විශේෂයෙන්ම, බවර් සමාගම සිය ගිවිසුම්ගත පාර්ශ්වකරුවන් වන ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) නියෝජනය කරමින් පසුගියදා මෙරට සංචාරයක නිරත වූ විශේෂඥ කණ්ඩායමේ සොයා ගැනීම්ද පදනම් කර ගනිමින්, කෙටි කාලයක් තුළ කාබනික කෘෂිකර්මාන්තය වෙත සාර්ථකව ගමන් කිරීමට අත්‍යවශ්‍ය පියවර කිහිපයක් යෝජනා කර තිබේ.

මේ විශේෂඥ කණ්ඩායමේ වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ, කෘතිම කෘෂි රසායන භාවිතය අත්හැරීමේදී ඛනිජ රසායන වෙනුවට කාබනික පොහොර ආදේශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. එනම්, දැනට පවතින පාංශු සහ බෝග පද්ධතිය ඛනිජ රසායනවලට හුරුවී ඇති බැවින්, පළමුකොට එම කෘෂි පද්ධතීන් කාබනික පොහොර සඳහා හුරු කළ යුතුව ඇත. තවද කාබනික පොහොර ව්‍යාප්තිය සඳහා මහා පරිමාණ අමුද්‍රව්‍ය අදාළ ක්ෂේත්‍රවලට දිය යුතුව පවතී. කෘෂිකාර්මික පද්ධතියක් කාබනිකකරණය යනු වසර කිහිපයක් මුළුල්ලේ ධාරිතා සංවර්ධනයද උපයෝගි කර ගනිමින් පුළුල් වශයෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළකි. කෙසේ නමුත් හදිසියේම රසායන පොහොර තහනම් කිරීමත් සමඟ මෙවර මහ කන්නයේදී රසායනික පොහොර නැතිව වගා බිම් සැකසීම සඳහා ගොවීන්ට විකල්ප දිය යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *