රක්නා ලංකා ආරක්ෂක සමාගම කොම්පෝස්ට් නිෂ්පාදනයට අතහිත දෙයි

කොම්පෝස්ට් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රක්නා ලංකා ආරක්ෂක සමාගම කටයුතු කර ඇත.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 10ක් සහ නවගත්තේගම සමුපාකාර සමිතියට අයත් අක්කර 05ක භූමියක් බදු පදනම මත ලබා ගෙන ඇති රක්නා ලංකා සමාගම එම භූමිය තුළ මෙම කොම්පෝස්ට් ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

ප්‍රදේශයෙන් ලබා ගන්නා ගොම සහ එළු පොහොරද ,සැල්වීනියා වැනි ජලජ ශාඛද ග්ලිඩිසීරියා ශාඛ කොටස්ද කොම්පෝස්ට් නිෂ්පාදනය සදහා යොදා ගන්නා බව රක්නා ලංකා සමාගමේ කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ඩී.යූ.වීරසිංහ මහතා සදහන් කරයි.

මේ වන විට 10 දෙනෙකුට රැකියා අවස්ථා ලබා දී ඇති බවත්, ඉදිරියේදී තවත් 100 දෙනෙකුට පමණ සෘජු රැකියා අවස්ථා ලබා දීමට හැකියාව ඇති බවද ඒ මහතා සදහන් කරයි.

මෙම කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් පසුගිය 14 වැනිදා සිදු කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රක්නා ලංකා සමාගමේ කොම්පෝස්ට් ව්‍යාපෘති අධ්‍යක්ෂක ඩී.යූ.වීරසිංහ මහතා මෙසේද පැවසීය. ‘’රජය විසින් ආරම්භ කර ඇති කොම්පෝස්ට් වැඩසටහනට දායකත්වය ලබා දීම මෙහි ප්‍රධානතම අරමුණ වුණා. ඒ වගේම රැකියා දශ ලක්ෂයේ වැඩ සටහනට දායකත්වයක් මේ තුළින් ලබා දිය හැකි බවත් අපි විශ්වාස කරනවා. මෙම ස්ථානයේ මේ වන විට කොම්පෝස්ට් පොහොර ටොන් 60 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම ප්‍රමාණය ක්‍රමයෙන් ඉදිරි කාලයේදී වැඩි කිරීමත් අපගේ තවත් අරමුණක්. ඒ තුළින් අපි බලාපොරොත්තු වන්නේ ඉගිනිමිටිය ව්‍යාපාරයේ සියළුම ගොවීන්ට අවශ්‍ය කාබණික පොහොර සම්පාදනය කිරීමයි.

මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය සියල්ල සොයා ගන්නේ මෙම ප්‍රදේශයෙන්ම වීම විශේෂත්වයක්. විශේෂයෙන්ම වැව් වසාගෙන ඇති ජපන් ජබර ඇතුළු ජලජ ශාඛ අපි මෙහි නිෂ්පාදන කටයුතු සදහා යොදා ගන්නවා. ඒ තුළින් වැව් පිරිසිදු කිරීමටත් හැකියාව තිබෙනවා. ගොම පොහෙර ඇතුළු සෙසු අමු ද්‍රව්‍ය ද නවගත්තේගම අවටින් සොයා ගැනීමයි අපේ අරමුණ. ඒ තුළින්ද අපි බලාපොරොත්තු වන්නේ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමයි’’

නවගත්තේගම කෘෂිකර්ම උපදේශක යූ.බී.සෝමතිලක මහතා ඇතුළු පිරිසක්ද මෙම නිරීක්ෂණයට එක්ව සිටියේය.

සටහන සහ ඡායාරූප – ජූඩ් සමන්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *