ප්‍රධාන දේශගුණික සමුළුවක් සඳහා ලබන නොවැම්බර් මාසයේදී රටවල් 196ක රාජ්‍ය නායකයින් එංගලන්තයේ ග්ලාස්ගෝහිදී රැස් වෙති. මුහුදු මට්ටම ඉහළ යාම සහ ආන්තික කාලගුණය වැනි දේශගුණික විපර්යාස සහ එහි බලපෑම සීමා කිරීමට පියවර ගැනීමට එකඟතා ඇතිකර ගැනීම මෙම සමුළුවේ අරමුණය.
එක්සත් ජාතීන් විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව හැදින්වෙන්නේ COP26 යනුවෙනි.
දේශගුණික විපර්යාස පාලනය කිරීමට නම් මෙම සමුළුව තීරණාත්මක යැයි සැලකෙන අතර 2015 වසරේ ඓතිහාසික පැරිස් ගිවිසුමෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් ලබාගෙන තිබේ දැයි ලෝක නායකයින් සාකච්ඡා කරන අවස්ථාව ද මෙය වේ. ගෝලීය උණුසුම සීමා කිරීම සඳහා ලෝකයේ සියලුම රටවල් කැප කිරීමට මෙතෙක් සිදු වූ වැදගත්ම උත්සාහය මෙයයි. සෙල්සියස් අංශක 2කට (3.6F) ට වඩා අඩු උෂ්ණත්ව වැඩි වීමක් පවත්වා ගැනීමටත් සෙල්සියස් අංශක 1.5 ට සීමා කිරීමට උත්සාහ කිරීමටත් ඔවුහු 2015දී පැරිස් නුවරදී එකඟ වූහ. නමුත් බොහෝ විද්‍යාඥයින් පවසන්නේ උත්සාහයන් බොහෝ දුරට පහත වැටී ඇති අතර ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 03 දක්වා ළගාවිය හැකි බවයි.
COP26 හිදී එකඟ විය යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?
2030 වන විට ගෝලීය උණුසුම ඉහළ නංවන හරිතාගාර වායු ප්‍රමාණය අඩු කිරීම සඳහා 2030 වන විට වායුගෝලයට යන හරිතාගාර වායුවේ ප්‍රමාණය අඩු කිරීම සඳහා රටවල් “අභිලාෂකාමී ඉලක්ක – ambitious” targets ‘‘ ඉල්ලා සිටී.
2050 වන විට “ශුද්ධ ශුන්‍යය -net zero” සාක්ෂාත් කරගන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් අසනු ඇත.
පොසිල ඉන්ධන දහනය හරිතාගාර වායු විමෝචනය වීමට ප්‍රධාන හේතුවකි. එබැවින් පහත දැක්වෙන දෑ අවශ්‍ය පියවරයන්ට ඇතුළත් විය හැකිය.
- ගල් අඟුරු භාවිතය අවසන් කිරීම
- වන විනාශය නැවැත්වීම
- විදුලි වාහන වලට මාරු වීම
- පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝඡනය කිරීම
(දේශගුණික විපර්යාස යනු කුමක්ද? – දේශගුණික විපර්යාස මඟින් පෘථිවියේ කාලගුණ රටාවේ දිගු කාලීන වෙනසක් විස්තර කෙරේ. කර්මාන්ත ශාලා පුළුල් වූ දා සිට මේ වන විටත් ලෝකය සෙල්සියස් අංශක 1.2 කින් පමණ උණුසුම් වී ඇති අතර රජයන් පියවර නොගත හොත් උෂ්ණත්වය ඉහළ යනු ඇත. ආහාර හිඟය, තාප තරංග, කුණාටු සහ සාගර ජල මට්ටම ඉහළ යාම විය හැකි බලපෑම් අතර වේ)

ලෝකයේ දුප්පත් රටවලට අවශ්‍ය කුමක්ද?
ගෝලීය උණුසුම හේතුවෙන් ඇති වන බොහෝ වෙනස්කම් වලට දුප්පත් රටවල ජනතාව ඍජුව ඉලක්ක වේ.

නියඟයෙන් හෝ ගංවතුරේ අනතුරුදායක බව පමණක් නොව මුහුදු මට්ටම ඉහළ යාම ද දේශගුණික විපර්යාසවල ඍජු ප්‍රතිඵල වේ.
COP2ට පෙර, සංවර්ධනය වෙමින් පවතින රටවල් 100කට වැඩි ප්‍රමාණයක් තම ඉල්ලීම් ඉදිරිපත් කර ඇත. ඒවා අතර:
- දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමට සහ අනුවර්තනය වීමට අරමුදල්
- එයින් ඔවුන්ට ඇති වන බලපෑම් සඳහා වන්දි ගෙවීම
- ඔවුන්ගේ ආර්ථිකය හරිතකරණය කිරීමට මුදල්
ඔවුන් පවසන්නේ මෙම කරුණු වල ප්‍රගතියක් නොමැතිව COP26 වටිනාකමක් නැති වන අතර එය අසාර්ථක වීමෙන් අවසන් වනු ඇති බවයි.
ධනවත් රටවල් පොරොන්දු වී ඇත්තේ කුමක්ද?
දුප්පත් ජාතීන්ට උපකාර කිරීම සඳහා ධනවත් රටවල් 2020 වන විට වසරකට ඩොලර් බිලියන 100ක් පොරොන්දු විය. කෙසේ වෙතත්, නවතම සංඛ්‍යාලේඛන වලින් පෙනී ගියේ ඔවුන් කළමනාකරණය කර ඇත්තේ ඩොලර් බිලියන 79ක් පමණක් බවයි.
2018 වන විට, ධනවත් රටවල් විසින් ලබා දුන් මුදල් වලින් හතරෙන් තුනක් පමණ ආපසු ගෙවිය යුතු ණය ආකාරයෙන් විය. මෙය බොහෝ දුරට ණය වී ඇති දුප්පත් රටවලට ගැටලුවකි. මෙම ගැටළුව “විශ්වාස කටයුතු කාරණයක්” බවට පත් වී ඇති අතර පොහොසත් ජාතීන් “දැන් භාර දිය යුතු” බව COP26 හි සභාපති ආලෝක් ෂර්මා පැවසීය.
‘‘දේශගුණික මූල්‍ය ‘climate finance‘ යනුවෙන් හැඳින්වෙන මෙම මාතෘකාව විවාදයට භාජනය වන විශාලතම මාතෘකාවක් වනු ඇත.

COP26 හි සාර්ථකත්වය කෙබඳු වේද?
COP26 සමුළුව කෙරේ ගෝලීය වශයෙන් විශාල උනන්දුවක් හා බලාපොරොත්තුවක් ඇත. ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීමට තිරසර පියවර එහිදී ගනු ඇතැයි බලාපොරොත්තු වේ.
දේශගුණික විපර්යාසවලට එරෙහිව යම් දියුණුවක් ලබා ගැනීමට නම්, ධනවත් රටවල් දැනටමත් කර ඇති ඩොලර් බිලියන 100 ක මූල්‍ය ප්‍රතිඥාවට ගරු කරන ලෙස එම රටවලින් COP26 ඉල්ලා සිටිනු ඇත.
සමුළුවට පෙර පැවති රැස්වීම්වලින් මෙය පහසු කාර්යයක් නොවන බව අඟවුවද, ගල් අඟුරු දහනය කිරීම නැවැත්වීම සඳහා ලෝක ජාතීන් කැපවීම විශාල ජයග්‍රහණයක් වනු ඇත.
හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, දේශගුණික විපර්යාසයන්ගෙන් දැනටමත් පීඩාවට පත් වී සිටින එම ප්‍රජාවන්ට සහ රටවලට උපකාර කිරීමේදී, තම අභිලාෂයන් අඛණ්ඩව ඉහළ නංවා ගන්නා ලෙස ද ධනවත් රටවලට බලපෑම් එල්ල වනු ඇත.
බී.බී.සී වාර්තාවක් ඇසුරිණි