මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතින්නේ ය. මේ දේශගුණික විපර්යාසය දැන් මිනිස් ජීවිතයේ සෑම අංශයකටම තර්ජනයක් වී තිබේ.
දේශගුණික විපර්යාසයන්ට පිළියමක් නොයෙදුවොත් ව්‍යසනකාරී උණුසුමක් ද, ඒ සමග පැමිණෙන දිනෙන් දින නරක අතට හැරෙන නියං, මුහුදු මට්ටම විශාල වශයෙන් ඉහළ යෑම, සහ ජීවීන්ගේ මහා නෂ්ටවීම් ද අත්විඳින්නට මිනිසාටත් ස්වභාව ධර්මයටත් සිදුවනවා නියත ය.
අප මුහුණ දී සිටින්නේ සිටින්නේ එවැනි විශාල අභියෝගයකට වුවත්, ඊට එරෙහිව සාර්ථක වීමේ සම්භාවිතාවක් පෙන්වන විසඳුම් ද නැතිවා නොවේ.
දේශගුණ විපර්යාසය යනු කුමක් ද?
‘දේශගුණය’ යනුවෙන් හැඳින්වෙන්නේ වසර ගණනාවක් පුරාවට යම් ප්‍රදේශයක පෙන්වන සාමාන්‍ය කාලගුණය යි. මේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්වීම ‘දේශගුණ විපර්යාසය’ යනුවෙන් හැඳින්වේ.
මේ වන විට අප අත්විඳින සීඝ්‍ර දේශගුණ විපර්යාසයන් ඇතිවී තිබෙන්නේ මිනිසා විසින් සිය නිවෙස්, කර්මාන්තශාලා, සහ ප්‍රවාහන කටයුතු සඳහා ඛණිජ තෙල්, වායු, සහ ගල් අඟුරු දහනය කිරීම නිසා ය.
මේ ෆොසිල ඉන්ධන දහනය වන විට හරිතාගාර වායූන් – බොහෝකොටම කාබන් ඩයොක්සයිඩ් (CO2) – නිකුත්වේ. මෙම වායූන් මඟින් පෘථිවියට ලැබෙන සූර්ය තාපය මෙහිම රඳවා ගන්නට කටයුතු කිරීමෙන් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යයි.ඡායාරූප ශීර්ෂ වැකිය,
1850 සිට 2020 දක්වා වාර්ෂික මධ්‍ය ගොඩබිම් සහ සාගර උෂ්ණත්වය – සාමාන්‍යයට පහළ සහ ඉහල උෂ්ණත්වයන්
වර්තමාන ලෝකය 19 වැනි සියවසේ දී තිබුණාට වඩා සෙල්සියස් අංශක 1.2කින් පමණ උණුසුම් ය. එසේම වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය එදාට සාපේක්ෂව 50%කින් ඉහළ ගොස් ඇත.
විද්‍යාඥයින් පවසන්නේ දේශගුණික විපර්යාසවල නරකම ප්‍රතිවිපාක වළක්වා ගන්නට අවශ්‍ය නම් ගෝලීය උෂ්ණත්වය ඉහළ යන වේගය අඩුකළ යුතුබව යි. වර්ෂ 2100 වන තෙක් උණුසුම ඉහළ යන අගය සෙල්සියස් අංශක 1.5 ලෙස තබාගත යුතුයැ යි ඔවුන් පවසයි.
කෙසේ නමුත්, ඒ සඳහා වැඩිදුර පියවර නොගතහොත් මේ ශතවර්ෂය අවසන් වන විට පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කටත් වැඩියෙන් ඉහළ යනවා ඇති.
විද්‍යාඥයන් සිතන්නේ මීට පිළියම් කිසිවක් නොයෙදුවහොත් ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 4 ඉක්මවීම ඉඩ ඇති අතර, එය හදිසියෙන් ඇතිවන විනාශකාරී ග්‍රීෂ්මයන්ට, මිලියන ගණනකට නිවාස අහිමි කරමින් මුහුදු මට්ටම ඉහළ යාමට, සහ ශාක හා සත්ත්ව විශේෂයන් නැවත වෙනස් කළ නොහෙන අන්දමට විනාශ වී යාමට තුඩුදෙනු ඇතිබව යි.
දේශගුණික විපර්යාසයේ බලපෑම මොන වගේ ද?
මේ වන විටත්, ජීවිත සහ ජීවනෝපායන් තර්ජනයට ලක් කරමින් ආන්තික කාලගුණ තත්ත්වයන් තවත් දරුණු අතට හැරී තිබේ.ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය වසර 11,300 තුළ සිදුවූ ගෝලීය උෂ්ණත්වයේ අසාමාන්‍ය වෙනස්වීම
ලෝකය තවත් උණුසුම් වුවහොත් වගාබිම් කාන්තාරබවට පත්විය හැකි නිසා, ඇතැම් ප්‍රදේශයන් මිනිස් වාසයට නුසුදුසු වීමට හැකි ය. ගොවිබිම් කාන්තාර බවට පත්වීමත් තවත් ප්‍රදේශයන්හි දී මෙහි විලෝමය සිදුවෙමින් පවතියි. මෑතක දී චීනයේ, ජර්මනියේ, බෙල්ජියමේ, සහ නෙදර්ලන්තයේ සිදුවූ පරිදි, අධික වර්ෂාපතනය හේතුවෙන් ඓතිහාසික ජලගැල්ම ඇතිවීම දැකගත හැකි ය.
දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමට අවශ්‍ය මුදල් නොමැතිවීම නිසා වඩාත් දුක් විඳිනු ඇත්තේ අප වැනි දුප්පත් රටවල ජනතාව ය. සංවර්ධනය වෙමින් පවතින රටවල බොහෝ ගොවිබිම් දැනටත් අධික උෂ්ණත්වයකට මුහුණපාමින් සිටින අතර, මෙය හැරෙනු ඇත්තේ වඩාත් නරක අතට පමණි.
අපගේ සාගර ද, ඒවායේ පිහිටි බොහෝ සාගර ජීවීන්ගේ වාසස්ථාන ද තර්ජනයට ලක්වී ඇත. නිදසුනක් වශයෙන් ගතහොත්, දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුද උණුසුම් වීම නිසා ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරයට 1995 සිට මේ වන තෙක් සිය කොරල්පරවලින් අඩක්ම අහිමි වී තිබේ.
දේශගුණික විපර්යාසයන් උණුසුම්, වියළි කාලගුණයක් ඇතිවීමේ අවදානම ඉහළ දමන බැවින් ලැව්ගිනි ඇතිවීම ද දැන් දැන් බහුල සිදුවීමකි.
සයිබීරියාව වැනි ප්‍රදේශවල මිදුණු පොළව දිය වී යද්දී, දේශගුණික විපර්යාස තවත් නරක අතට හරවමින් සියවස් ගණනාවක් තිස්සේ එහි සිරවී තිබූ හරිතාගාර වායූන් වායුගෝලයට මුදා හැරෙනු ඇත.
ලෝකය වඩාත් උණුසුම් වෙද්දී, සතුන්ට ද ජීවත්වීමට අවශ්‍ය කරන ආහාර හා ජලය සොයාගැනීම දුෂ්කර වනු ඇත. උදාහරණය ලෙස, ඔවුන්ගේ ජීවිතය ගෙනයෑමට අවශ්‍ය අයිස් දියවීමත් සමග හිම වලසුන් මියගොස් වඳවී යනු ඇති අතර, අලින්ට දිනකට අවශ්‍ය කරන ජලය ලීටර 150 – 300ත් අතර ප්‍රමාණය සොයාගැනීම සඳහා ඔවුන්ට මහත් සේ දුක් විඳීමට සිදුවනු ඇත.
විද්‍යාඥයන් විශ්වාස කරන්නේ නිසි පියවර නොගතහොත් මෙම සියවස අවසන් වන විට සත්ත්ව විශේෂ 550ක්වත් වඳවී යා හැකිබව යි.
ලෝකයේ විවිධ ප්‍රදේශ මුහුණ දෙනු ඇත්තේ කුමනාකාරයේ වෙනස්කම්වලට ද?
දේශගුණික විපර්යාසය ලෝකයේ විවිධ ප්‍රදේශවලට ඇති කරන්නේ විවිධ බලපෑම් ය. සමහර ස්ථාන අනෙක් ප්‍රදේශවලට වඩා උණුසුම් වනු ඇත. සමහරක් ප්‍රදේශයන්ට වැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇති අතර, තවත් සමහරක් ප්‍රදේශයන්ට නියඟවලට මුහුණදීමට සිදුවනු ඇත්තේ ය.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් 1.5ට සීමාකර ගැනීමට නොහැකි වුවහොත්:
- එක්සත් රාජධානිය සහ යුරෝපය අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවන ගංවතුරට ගොදුරු වනු ඇත
- මැදපෙරදිග රටවල් හදිසියේ ඇතිවන දැඩි ග්‍රීෂ්මයන් අත්විඳිනු ඇති අතර, ගොවිබිම් කාන්තාර බවට හැරෙනු ඇත
- ශාන්තිකර කලාපයේ සහ ඉන්දියානු සාගරයේ දූපත් රාජ්‍යයන් මුහුදු මට්ටම ඉහළ යැමත් සමග අතුරුදන් වී යාමට පුළුවන
- බොහෝ අප්‍රිකානු රාජ්‍යයන් නියඟයෙන් සහ දුර්භික්ෂයෙන් පීඩා විඳිනු ඇත
- එක්සත් ජනපදයේ බටහිරදිග ප්‍රදේශයන්හි නියං තත්ත්වයක් ඇතිවනු ඇති අතර, අනෙක් ප්‍රදේශයන් වඩ වඩාත් දරුණු කුණාටුවලට මුහුණපානු ඇත
- ඕස්ට්‍රේලියාව අධික උණුසුම සහ නියඟයෙන් පීඩා විඳිනු ඇත

රට රටවල ආණ්ඩු මොනවා ද කරන්නේ?
දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට හැකි වන්නේ එක්ව වැඩ කිරීමෙන් පමණක් බව බොහෝ රටවල් එකඟ වන අතර, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට තබාගැනීමට උත්සාහ කරන බවට, 2015 වසරේ පැරිසියේ දී ලෝක ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔවුහු ප්‍රතිඥා දුන්හ.
මේ දිනවල එක්සත් රාජධානිය ලෝක නායකයින් වෙනුවෙන් COP26 නම් සමුළුවක් පවත්වමින් සිටියි. මෙහිදී රටවල් 2030 වසර වන විට කාබන් විමෝචනය අඩු කිරීමේ සැලසුම් ඉදිරිපත් කරයි.
2050 වන විට කාබන් විමෝචනය බිංදුව දක්වා ගෙන ඒමට බොහෝ රටවල් ප්‍රතිඥා දී ඇත. මෙයින් අදහස් වන්නේ හරිතාගාර වායු විමෝචනය හැකිතාක් අවම කිරීම, සහ ඉතිරි විමෝචනයන්ට සමාන ප්‍රමාණයක් වායුගෝලයෙන් අවශෝෂණයකර සමතුලිත කිරීම යි.
මෙය සාක්ෂාත්කර ගත හැකි ඉලක්කයක්යැ යි විශේෂඥයින් පවසන නමුත්, ඒ සඳහා රජයයන්, ව්‍යාපාර, සහ තනි පුද්ගලයින් පවා විශාල වෙනස්කම් සිදුකිරීම අත්‍යවශ්‍ය ය.
ශ්‍රී ලංකා ජනපතිත් COP26 සමුළුවට
මේ අතරේ ශ්‍රී ලංකා ජනපති ගෝටාභය රාජපක්ෂ ද ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැති COP26 සමුළුවට සහභාගී විය.
ජනපතිවරයා ඔක්තෝබර් 31 වන දා සමුළුව ඇමතුවේ “නයිට්‍රජන් ගැන පසුවිපරම: දේශගුණික විපර්යාස, සෞඛ්‍යය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය පිළිබඳ විසඳුම් සහ සහසබඳතා” යන මාතෘකාව යටතේ ය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය 100%ක් කාබනික කිරීම ගැන විස්තර කළ ජනපතිවරයා, එම ක්‍රියාව “බොහෝ ඇගයීමට පාත්‍රව ඇතත්, යම් විවේචනයන්ට සහ ප්‍රතිරෝධයකට ද මුහුණ දී ඇතැ”යි ද පැවසීය.
“2030 වන විට අපි අපගේ කාබන් අවශෝෂණ හැකියාව 7%කින් වැඩි කිරීමට මුලපුරා ඇති අතර, ජාතික වන ආවරණය ඉහළ නැංවීමට ද ප්‍රමුඛත්වය දී සිටිමු,” යි ප්‍රකාශ කළ ජනපතිවරයා, 2030 වන විට ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයගෙන් සපුරා ගන්නාබව ද, පොසිල ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගනිමින් සිටිනාබව ද ප්‍රකාශ කළේ ය.
BBC