දේශගුණික විපර්යාස: ‘ධනවත් රටවල සෞභාග්‍යයට දුප්පත් රටවල් ගෙවන සාමූහික වන්දිය‘

ඉහළ ඡායාරූපය – කැරිබියන් දූපත් රටවල් පවසන්නේ සුළි කුණාටු වඩාත් බලවත් වී ඇති හෙයින් ඔවුන්ගේ අනුවර්තනය වීමේ සැලසුම් ඵලදායී නොවන බවයි

දේශගුණික විපර්යාසයන්ගෙන් ආරක්ෂා වීමට අඩු ආදායම්ලාභී රටවල් දැඩි අරගලයක යෙදී සිටින බව විශේෂඥයින් පවසයි. රටවල් 90ක දත්ත විශ්ලේෂණය කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාසයන්ගෙන් සිදු වන හානිය වැළැක්වීම සඳහා වූ ඔවුන්ගේ සැලසුම් දැනටමත් යල්පැන ගිය ඒවා බවට හෝ මිල අධික ඒවා බවට පත්ව ඇති බවයි

දේශගුණික තත්ත්වයන්ට අනුවර්තනය වීමේ සැලැස්මක් ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන් පවසයි. නමුත් මෙම සැලසුම් මඟින් අවදානම් අවම කළ හැකි බවට ඇති සාක්ෂි සීමිත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අඩුම සංවර්ධිත රටවල (Least Developed Countries -LDC)  කණ්ඩායමේ සභාපතිනි සෝනම් වැන්ග්ඩි පවසන්නේ “නරක අතට හැරෙන දේශගුණික අර්බුදයට අපි අපේ සැලසුම් සකස් කර ගත යුතුයි. අපේ පවතින ආරක්‍ෂාව ප්‍රමාණවත් නොවේ.”

එක්සත් ජාතීන්ගේ දේශගුණික විද්‍යා ආයතනය ගෝලීය උණුසුම ඉහළ යාම පිළිබඳ සඳුදා (09) සිය නවතම තක්සේරුව ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වීමත් සමඟ ඔවුන්ගේ ක්‍රියාමාර්ග සඳහා කැඳවීම සිදු විය.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (Intergovernmental Panel on Climate Change) විසින් සම්පාදනය කරන ලද මෙම වාර්තාව මඟින් වර්තමාන සහ අනාගත දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාත්මක තක්සේරුවක් ලබා දෙන අතර මෙම නොවැම්බර් මාසයේදී ග්ලාස්ගෝ හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණ සමුළුවේදී ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා ප්‍රධාන සඳහනක් වනු ඇත.

කාර්මික යුගය ආරම්භ වූ දා සිට මේ වන විටත් ලෝකය සෙල්සියස් අංශක 1.2 කින් පමණ උණුසුම් වී ඇති අතර ලොව පුරා රජයන් හරිතාගාර වායු විමෝචනයට දැඩි ලෙස කප්පාදු නොකළහොත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යනු ඇත.

කැරිබියන් දූපත් වල අවුල්

2017 දෙසැම්බර් 8 වන දින බාබුඩාහි කෝර්ඩින්ටන් හිදී ආසන්න වශයෙන් විනාශයට පත් වූ බාබුඩා දූපතේ හානි වූ නිවාස පිළිබඳ ගුවන් දසුනක්.
කැරිබියානු රටවල නිවාස පහේ කාණ්ඩයේ සුළි කුණාටු වලට එරෙහිව (stand against category five hurricanes) නැගී සිටීමට නොහැකි බව දේශගුණික විශේෂඥයෝ පවසති

පසුගිය වසරේ කැරිබියන් දූපත් වල වාර්තාගත ලෙස නිවර්තන කලාපීය කුණාටු 30ක් වාර්තා වී ඇති අතර විශාල සුළි කුණාටු හයක් ද ඊට ඇතුළත් ය. කලාපය තවමත් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසයි.

ඇන්ටිගුවා සහ බාබුඩා වැනි දූපත් වල විශේෂඥයින් පවසන්නේ මෙම කුණාටු ගෙන ආ දැඩි සුළං වලට ඔරොත්තු දීමට බොහෝ ගොඩනැගිලි වලට නොහැකි වී ඇති බවයි.

කුඩා දූපත් ජනපද සන්ධානයේ (Alliance of Small Island States) ප්‍රධාන දේශගුණික සාකච්ඡාකරු ඩයන් බ්ලැක් ලයිනර් පවසන්නේ “අපි සුළි කුණාටු හතරේ කාණ්ඩය දැක ඇති අතර, ඒ අනුවයි අපි අපේ අනුවර්‍තන සැලැස්ම ක්‍රියාත්මක කළේ. නමුත් දැන් පස්වන කාණ්ඩයේ සුළි කුණාටුවලට ගොදුරු වෙමින් සිටිනවා” යැයි ඔහු පැවසීය.

“පස්වන කාණ්ඩයේ සුළි සුළං අපේ නිවෙස් තුළ දැඩි පීඩනයක් ඇති කරනවා. පැයට සැපපුම් 180ක් පමණ වේගයෙන් හමා එන සුළි සුළංවලට ඔරොත්තු දීමට අපේ නිවාසවල වහළ ශක්තිමත් නෑ‘‘

පැසිෆික් දූපත් වල මුහුද ගොඩගැලීම

ටුවාලූහි ෆුනාෆුටි හි නැගීම වැළැක්වීමේ පියවරක් ලෙස වැලි බෑග් වලින් ගොඩ කර ගත් ගොඩබිම් ප්‍රදේශයක ළමයින් සෙල්ලම් කරති.
පැසිෆික් දූපත් රටවල් පවසන්නේ මුහුදට සහ සුළි කුණාටුවට එරෙහිව සිය ආරක්ෂාව දුර්වල වෙමින් පවතින බවයි

2020 මැද භාගයේ සිට 2021 ජනවාරි දක්වා කාලය තුළ පැසිෆික් දූපත් රටවල් කිහිපයකට සුළි කුණාටු තුනක් බලපා තිබේ.

“එම සුළි කුණාටු තුනෙන් පසු, අපේ රටේ උතුරු ප්‍රදේශයේ ප්‍රජාවන් ඔවුන්ගේ අනුවර්‍තන සැලැස්මේ කොටසක් ලෙස මුහුදු බැමි ඉදි කර තිබෙනවා,” යනුවෙන් ෆීජි සමාජ සේවා කවුන්සිලයේ ප්‍රධානී වානි කැටනාසිගා පවසයි.

“මුහුදු රළ සහ සුළඟ නැවත නැවත ජනාවාස වලට පහර දීමෙන් සමහර ප්‍රදේශවාසීන් අවතැන් වුණා”

කෙටි කාලයකදී මෙතරම් කුණාටු ඇති වීම කලාතුරකින් සිදු වුවද විශේෂඥයින් පවසන්නේ මුහුදු කුණාටුවල ශක්තිය වර්ධනය වෙමින් පවතින බවයි. පසුගිය වසර 40 තුළ නිවර්තන සුළි කුණාටු වඩාත් තීව්‍ර වී ඇති නමුත් සමස්ත සුළි කුණාටු සංඛ්‍යාවේ වැඩි වීමක් තහවුරු වී නොමැත.

උගන්ඩාවේ කඳුකර උවදුර

නැගෙනහිර උගන්ඩාවේ බුදුඩා දිස්ත්‍රික්කයේ සිසාකාලි ගමේ නාය ගිය ස්ථානයක කාන්තාවක් මෙට්ටයක් පෙරළාගෙන යයි.
සමහර අප්‍රිකානු රටවල් පවසන්නේ උත්සන්න වූ නායයාම් සහ ගංවතුර හේතුවෙන් ඔවුන්ගේ අනුවර්තනය වීමේ උත්සාහයන් නිෂ්ඵල වූ බවයි

උගන්ඩාවේ රුවන්සෝරි කලාපයේ ප්‍රජාවන් නාය යාමෙන් හා ගංවතුරෙන් ආරක්ෂා වීමට අගල් හෑරීමෙන් සහ පාංශු ඛාදනය වැළැක්වීම සඳහා ගස් සිටුවීමෙන් ආරක්ෂා වීමට උත්සාහ කරති. නමුත් එය සැම විටම සාර්ථක වූයේ නැත.

ප්‍රාදේශීය දේශගුණික විපර්යාස සම්බන්ධීකාරක ජැක්සන් මුහින්ඩෝ පැවසුවේ “වර්ෂාව කෙතරම් තීව්‍ර වී ඇත්ද යත්, විශාල ගංවතුරක් හේතුවෙන් අපි යෙදූ සියලු ආරක්ෂක පියවර ගසාගෙන යන බව අපි දැක්කා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජනාවාස හා ගොවිපළවල් කිහිපයක් පස්වලින් යට වුණා‘‘ ඔහු තවදුරටත් පවසයි. 

“පාංශු සංරක්‍ෂණය මත පදනම් වූ අනුවර්‍තනය කිරීමේ වැඩ කටයුතු මෙම ආන්තික කාලගුණික සිද්ධීන් හමුවේ වඩ වඩාත් නිෂ්ඵල බව ඔප්පු වෙමින් පවතී.”

න්‍යාය පත්‍රයට අනුවර්තනය වීම අඩුයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය (The UN Framework Convention on Climate Change) පවසන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින් 80% කට වැඩි ප්‍රමාණයක් තම ජාතික අනුවර්තී සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇති බවයි. නමුත් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද අන්තර්ජාතික පරිසර හා සංවර්ධනය පිළිබඳ ආයතනයේ (International Institute for Environment and Development IIED) අධ්‍යයනයකින් ඇඟවෙන්නේ ලෝකයේ අඩුම සංවර්ධිත රටවල් 46කටම “දේශගුණික සාධක” සඳහා මූල්‍යමය හැකියාවක් නොමැති බවයි.

IIED පවසන්නේ මෙම රටවලට අනුවර්තනය වීමේ සැලසුම් සඳහා වසරකට අවම වශයෙන් ඩොලර් බිලියන 40ක්වත් අවශ්‍ය බවයි. නමුත් 2014-18 අතර කාලය තුළ අනුවර්තනය වීමේ මුදල් ලැබුනේ ඩොලර් බිලියන 5.9ක් පමණි.

මෝසම් ගංවතුරෙන් පසු බංග්ලාදේශයේ සැව්රා හි ජලයෙන් යටවූ ගමක්.
දියුණු වෙමින් පවතින රටවල් පවසන්නේ අනුවර්තනය වීම ඔවුන්ගේ ධනවත් සගයන් අතර ප්‍රමුඛතා කරුණක් නොවන බවයි

එක්සත් ජාතීන්ගේ දේශගුණික සම්මුතිය යටතේ යුරෝපා සංගමය සහ සංවර්ධිත රටවල් 23ක් සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික ආශ්‍රිත ව්‍යාපෘති සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 100ක අරමුදල් සැපයීමට පොරොන්දු වූහ. හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ යෝජනා ක්‍රම සහ කාලගුණික විපර්යාසයන්ගෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා අනුවර්තනය වීම ඒ අතර විය.

2020 සිට මෙම මුදල් ‘හරිත දේශගුණික අරමුදල – (Green Climate Fund) ගෝලීය පරිසර පහසුකම (Global Environment Facility) සහ වෙනත් එවැනි ආයතන හරහා ලබා දෙනු ඇත. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් තර්ක කරන්නේ පොරොන්දුව බොහෝ දුරට නොගැලපෙන බවයි. ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ (Organisation for Economic Cooperation and Development (OECD) වාර්තාවක දැක්වෙන්නේ සංවර්ධිත රටවල් 2018 දී ඩොලර් බිලියන 80 කට ආසන්න මුදලක් සමස්ථ දේශගුණික මූල්‍යකරණය ලෙස ලබා දී ඇති බවයි. නමුත් දේශගුණික විපර්යාසයන්ට අනුවර්තනය වීම සඳහා එම මුදලින් ලබා දුන්නේ 21% ක් පමණක් වන අතර වැඩි හරියක් කාබන් විමෝචනය අඩු කිරීමට ය.

සංවර්ධිත රටවල් විසින් සපයනු ලබන දේශගුණික මූල්‍ය සංඛ්‍යා ලේඛන සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් විවේචනය කර ඇති අතර ඒවාට නිතිපතා ආධාර ගෙවීමේ මුදල් ද ඇතුළත් බව පෙන්වා දී ඇත.

අනුවර්තනය වීමේ සැලැස්ම දේශපාලනයෙන් බාධා කර ඇතැයි සමහර ප්‍රවීණයන් පවසති.

ඔක්ස්ෆෑම් හි දේශගුණික අනුවර්තීකරණ විශේෂඥයෙකු වන කාලෝස් අගුයිලර්ට අනුව, “නරක පාලනය, දුප්පත්කම සහ දැන් කොවිඩ් වැනි ගැටලු ඔබට ඇති වූ විට එම සැලසුම් ක්‍රියාත්මක කිරීම ඉතා අසීරු වේ. ඒවා හුදෙක් රජයේ ප්‍රමුඛතාවයක් නොවේ.”

බී.බී.සී. ඇසුරිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *