- නොකළ වරදකට අපිටත් දඬුවම් විඳින්න සිදුවෙලා
- දේශගුණය එදා සිටම වෙනස් වුණා. ඒත් මේ තරම් වේගයෙන් නොවේ
- මෙරට කෘෂි විද්වතුන්ගේ පෙර සූදානම ඇරඹුණේ දශකයකටත් කලින්
ස්වභාවික ව්‍යසනයන් අවම රටක වෙසෙන්නන් වශයෙන් ස්වයං තක්සේරුවක් කරගනිමින් අප අතීතයේ පටන් භුක්ති වින්දේ සුළුපටු සැනසීමක් නොවේ.
අවට ඇති ආසියාතික රටවලින් පවා තොරතෝංචියක් නැතිව අඳෝනා ඇසුනත්, ඔවුනට පිහිටවීමට තරම් වත්කමක් නොමැති දේශයක අප වාසය කරන්නෙමු. මේ නිසාම අත්ල කම්මුලට ගෙන අනේ අපොයි කීමට පමණක් අපගේ ශෝකප්‍රකාශය සීමා කරමින් නිහඬ වෙන අතර, එවන් කටුක දසුනක් පියවි ඇස හමුවට නොපැමිණීම ගැනද යටි සිතින් සතුටු වන්නෙමු.
විටෙක ප්‍රාන්තයන් පිටින් සෝදාගෙන යන ගංවතුරය. තවත් තැනක ගේ දොර හරකාබාන පවා අහසේ පාකර හරින සුළි සුළංය. නියඟයෙන් ඉරිතලාගිය පොලොව හාරා දිය පොදක් අයදින දරුවන්ගෙන්ද ඇතැම් තැන්වල අඩුවක් නැත. එවන් පසුබිමකදී අපේ රට ගැන මෑතකදී අසන්නට ලැබුනේ හද කීරි ගැහෙන ප්‍රවෘත්තියකි.
කිරි කලයට වැටී තිබුනේ, බිඳක් නොව ගොම තලියකි. ජාත්‍යන්තරය විසින් කල ශ්‍රේණිගත කිරීමකදී අප දේශයට දෙවැනි තැන හිමිව තිබීම එම පුවත විය. ලැයිස්තුව සාදා තිබුනේ දේශගුණ විපර්යාසයන්ගෙන් බැටකන රටවල් වෙනුවෙනි. අප එහි දෙවැනියා වන්නෙමු!

පළමු රට වශයෙන් තේරී පත්වන්නේද කිලෝමීටර 160 ක් දිගින් හා 35 ක් පළලින් වූ පුවේටෝ රිකෝ නමැති කැරෙබියන් දූපත් අතර ඇති කුඩා රාජ්‍යයකි. ඔවුන්ගේම අසල්වැසියෙක් වූ ඩොමිනිකා ජනරජය තුන්වැනියා වී සිටී. ලෝක ගෝලයේ පිහිටීම අතින් මේ දෙදෙනාට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්තක සිටි අපව දෙවැනි තැනට රිංගාවා ඇත්තේ 2017 වසරේදී මෙරට සිදුවූ දිවි අහිමිවීම් 76 ක්ම දේශගුණ විපර්යාසයන්ට කෙලින්ම සම්බන්ධයයි සංඛ්‍යා ලේඛණ මගින් තහවුරු වීම නිසා යයි කියවේ.
එය ප්‍රකාශයට පත් කෙරුනේ 2018 වසරේ දෙසැම්බර් මස 2-11 අතර පෝලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ 24 වෙනි දේශගුණ විපර්යාස පිලිබඳ සමුළුව හරහාය. 1995 දී පළමු සමුළුව ජර්මනියේ බර්ලින් නුවරදී පවත්වමින් වැඩ ඇල්ලූ මේ කණ්ඩායම මේ වනවිට එවන් සමුළු 24 ක් ලොව පුරා තැනින් තැන පවත්වා තිබේ. මීළඟ රැස්වීම 2019 දෙසැම්බර් මස 2-13 කාලයේදී චිලී රටේ සන්තියාගෝ නුවරදී පැවැත්වීමටද නියමිතය.
කෙසේ වෙතත් අප මේ වන්දි ගෙවන්නේ නොකළ වරදක් වෙනුවෙනි. මෙවන් ශ්‍රේණිගතකිරීමේ ලැයිස්තුවක හතර මායිමකටවත් පිවිසෙන්නට අප කටයුතු කර නැත. බලවත් ජාතීන් විසින් පරිසරයට වින කරන තරමට සාපේක්‍ෂව අපගේ ක්‍රියාකාරකම් මැන බලන්නේ නම් ඒවා පවතින්නේ බොහොම සොච්චම් මට්ටමකය.
පළමු හා තුන්වෙනි තැන ගත් කුඩා රාජ්‍යයන්ද එසේම විය හැකිය. සිලි සිලි මල්ලක බඩු ටිකක් දමාගෙන යාම, කඳු බෑවුම් වල අර්තාපල් වැවීම, දේශපාලනඥයෙකුගේ ආශීර්වාදය ලැබ හොරෙන් කැපූ දැව ලෝඩ් එකක් එහා මෙහා කරගැනීම, වැලි ලොරියක් ගොඩදාගැනීම වැනි සිල්ලර පරිසර හානි නොහොත් අක්‍රමිකතා කීපයක් තැන තැන සිදුවුවත්, කාර්මික රටවල් විසින් පොසිල් ඉන්ධන දහනය කරමින් පරිසරය කෙලෙසනා තරමට, අප පරිසරයට එරෙහිවී නැත.
මෙය අපගේ අමන ක්‍රියාකාරකම් සාධාරණීකරණය කිරීමක් නොව, තරාදියේ වැඩිපුර පාත්වෙන්නේ කුමන පැත්තදැයි සඳහන් කිරීමක් බව සැලකුව මනාය.
මහපොළොවේ සිදුවෙමින් තිබෙන දේශගුණික වෙනස්වීම් පිළිබඳව මේ වන විට ප්‍රබල කතිකාවක් ගොඩනැගී තිබුනත්, මෙම ගෝලීය දේශගුණ වෙනස්වීම් මිනිස් ශිෂ්ඨාචාරය ඇරඹුන දා පටන්ම සුළුවෙන් හෝ පැවති ඒවා බවද මතක් කල යුතුවේ.
අද ගැටලුව වී ඇත්තේ දහඅටවෙනි සියවසෙහිදී සිදුවූ කාර්මික විප්ලවයත් සමග මිනිසාට දැරිය නොහැකි වේගයක් හරහා දේශගුණය වෙනස් වීමයි. කාර්මීකරණයත් සමග වැඩි වැඩියෙන් ජලවාෂ්ප, මීතේන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වැනි වායූන් පරිසරයට නිකුත්වී එහි සාන්ද්‍රවත්ම ඒ මගින් පොලොවේ උපදින රස්නය, වායුගෝලය වෙතට නැවත පිටවී යාම අවුරනු ලබයි. විද්‍යාත්මකව මෙය හඳුන්වන්නේ හරිතාගාර ආචරණය යනුවෙන්ය. මන්දයත් මෙවන් රස්නයක් මුලදී දක්නට ලැබුනේ හරිතාගාර නමින් හැඳින්වෙන, ගහකොළ වවන වීදුරු ගෙවල් තුලදී බැවිනි.
එතැනදී නම් තාප කිරණ වලට හරිතාගාරයෙන් පිටවයාමට අවහිර කරන්නේ ඉහත කී ආකාරයේ වායූන් නොව, ගෘහය තනා ඇති වීදුරුය. අව්වේ නවතා ඇති වීදුරු වැසූ වාහනයක ඇතුලත අසාමාන්‍ය ලෙස රත්වීමද හරිතාගාර ආචරණයට හොඳ උදාහරණයකි. හරිතාගාරයක් තුල උපදින මේ අසාමාන්‍ය රස්නයේ පහස ලබන්නට වීදුරු ගෙයක්ම අවශ්‍යය නොවන බවත්, පරිසරයේ ගොඩනැගෙන අසාමාන්‍ය වායු සංයුතියට වුවද වීදුරු තහඩු මෙන් හැසිරෙමින් එය කල හැකි බවත්, දැන් ඔබටම පැහැදිලි වෙනවා ඇත.
මෙවන් ආචරණයක් ඈත අතීතයේ පටන්ම නොතිබුනානම් අපට මෙලෙස ජීවත් වන්නටද නොහැකිය. ඉහත කී ආකාරයේ හරිතාගාර වායූන් පරිසරයේ නොතිබුනානම්, මිහිමත උපදින තාපය මෙහි සිර නොවී පරිසරයද උණුසුම් නොකොට ඈත අභ්‍යවකාශයට වහ වහා පලා යනු ඇත. එසේ ගියානම් මහ පොළොවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක ඍන 18 ක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.
අයිස් මිදෙන්නේත් අංශක බිංදුවේදී නම් තවත් 18 ක් පහලට ගියවිට ඇතිවෙන තත්වය ජීවී පැවැත්මට හිතකර වන්නේ නැත. අද දවසේ පෘථිවියෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 16 ක් වැනි අගයක රැඳී ඇත්තේද හරිතාගාර ආචරණය යම් පමණකට දැනටත් ක්‍රියාත්මක වන බැවිනි. එසේනම් හරිතාගාර ආචරනය යනු, කියන තරම් කලුපාට යක්ෂයෙක් නොවේ. විද්වතුන් සමාජයට ඉගැන්විය යුත්තේ යකා බැඳගෙන වැඩ ගන්නා ආකාරය පිලිබඳවය. පරිසරයට නොදැනෙන්න කාර්මික දියුණුව අත්කරගන්නා ආකාරය පිලිබඳවය.
ගෝලීය දේශගුණ විපර්යාසයන් හරහා මෙරට ජෛව විවිධත්වයට සිදුවෙන හානිය ගැන ඉව ඇල්ලීමටත්, ඒ සඳහා පිළියම් යෙදීමටත් අපේ විද්වතුන් පටන්ගෙන ඇත්තේ පසුගියදා පෝලන්තයෙන් රතු එලි දල්වන්නට දශකයකට පමණ එපිටදී බව අමතක නොකළ යුතු කාරණයකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සිටි පර්යේෂකයෙකුවූ ආචාර්ය අනුර විජේසේකරගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් 2009 වසරේදී කෙටුම්පත් කොට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන වෙත ඉදිරිපත්කල ව්‍යාපෘති යෝජනාවලියක් වූයේ, ලාංකික කෘෂි වටපිටාවේ ඇති සාම්ප්‍රදායික දැනුම, දිවිපෙවෙත උදෙසාත්, දේශගුණ පෙරළියට මුහුණදීම සඳහාත් යෙදවීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමයි.
මේ හරහා මුරණ්ඩු දේශගුණය හමුවේ අසහනයට පත්ව වඳවී යාමට නියමිත දේශීය ජෛවවිවිධත්වය ආරක්‍ෂාකිරීමද අරමුණු කොට තිබිණ. එම ව්‍යාපෘතියට 2012 වසර වනවිට අනුමැතිය ලැබී ඇති අතර විදෙස් ප්‍රතිපාදන යටතේ වැඩ ආරම්භ කර ඇත්තේ 2013 දීය. ඒ පස් අවුරුදු කාල සීමාවක් සඳහායි. පසුගිය වසරේදී පස් අවුරුදු කාල සීමාව නිමාවූ නිසා පර්යේෂකයින්ගේ ඉල්ලීම මත තවත් වසරක දිගුවක්ද ලබාදී තිබේ. ලබන මස නිමවෙත්දී එයද කම්මුතුය.
“අපේ රටේ ජෛවවිවිධත්වය හුඟක් ඉහලයි. දේශගුණයේ මෙම වේගවත් වෙනස්වීම් දරාගන්න බැරිව දැනට සිටින ජීවීන් කොටසක් වඳවී යනවා. තව කොටසක් තම නවාතැන් අතහැර ඉන්න පුළුවන් තැනකට සංක්‍රමණය වෙනවා. කඳු පාමුල සිටින අය සිසිල හොයාගෙන කඳු උඩට නගින්න පුළුවන්. ඒ කියන්නේ ස්වභාවික ජීවී ව්‍යාප්තිය අවුල් වීමක්. අපි මූලිකවම කෙරුවේ දේශගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන ජීවීන් හඳුනාගෙන ඔවුන්ගේ හැකියාවන් පරීක්ෂනාත්මකව තහවුරු කරගෙන, ජනතාවට ඔවුන්ව හඳුන්වාදීම. මේ හරහා ඔරොත්තු දෙන වර්ගයන්ගේ ප්‍රචලිත කිරීමක් අප බලාපොරොත්තු උනා.

සංවාදයට මා එකතුකර ගත්තේ, ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සිට ව්‍යාපෘතිය මෙහෙයවන ව්‍යාපෘති සම්බන්ධිකාරක, සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ අතුල ලියනගේ මහතාවය.
මෙම මනරම් ගොඩනැගිල්ලේ ශීතාගාර තුල, ගොවිතැනේදී හමුවන සාම්ප්‍රදායික බෝග මාදිලි පමණක් නොව කෘෂි විද්‍යාඥයින් විසින් මෑතකදී නිපදවන ලද වැඩිදියුණු කල මාදිලිවලද සාම්පල ඇතිතරමට ගබඩාකර තිබේ.
එහෙත් ඒවා නිද්‍රා තත්ත්වයේය. දේශගුණ වෙනස්වීම් හමුවේ මේවා මිහිතලයෙන් අතුරුදන් වූ දාට අපට සිදුවන්නේ ශීත ගබඩා වල තිබෙන දෑ අවදිකර ගන්නටය. ඔවුනට පරිසරය හුරුකර යලි මුල සිට පටන් ගන්නටය. එහෙත් පතුල දකිනා තරමට ව්‍යාපෘතියේ ගැඹුර පිරික්සූ අතුල ඇතුළු කණ්ඩායම, ශීත ගබඩා දෙස නොබලාම ගොවිපියස සොයා පියමං කර ඇත්තේ ගොවියාත් සමග එකතුව ඔහුගේ ඉඩමේ ‘ප්‍රජා ජාන බැංකු’ නමැති අලුත් යමක් පිහිටුවන්නටය. ව්‍යාපෘතියට මුල්‍යාධාර ලැබුනේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙනි. එතැනින් මෙරට පරිසර අමාත්‍යාංශයටත්, අනතුරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් ගලා ආ විදෙස් ආධාර යටතේ වැඩසටහන ක්‍රියාවට නැංවුනි.
“ප්‍රජා ජාන බැංකු වැඩපිළිවෙල නේපාලය, බංගලාදේශය වැනි රටවල ක්‍රියාත්මක වෙනවා. ගොවි මහතෙකුගේම ඉඩමක ඔහුගේ රැකවරණයද ලැබෙන තැනක පොඩි ගොඩනැගිල්ලක් හදල දීල එය බීජ ගබඩාවක් ලෙස භාවිතා කරන්න ගොවීන්ට පුරුදු කරලා තියෙනවා. ගමේම ගොවීන් තමා සතුව තිබෙන විවිධ මාදිලිවල බෝග බීජ මේ බැංකුවට ගෙනත් ගබඩා කරනවා. අපි විදේශයන්ගෙන් ගෙනත් හඳුන්වා දුන් විජලකාරක ද්‍රව්‍යයක් නිසා එම ගබඩා කාමරයේ තෙතමනය හොඳටම අඩුවෙනුයි තියෙන්නේ. ඒ නිසා බීජ කල් තියාගන්න පුළුවන්. බීජ ගොවීන් ළඟ තිබුනානම් සාමාන්‍ය පරිසර තත්වයේදී හානිවීම වැඩියි. ප්‍රජා ජාන බැංකු තුල ඒ අවදානම නෑ. ගොවීන්ට උවමනා අවස්ථාවේ බීජ ආපසු අරගෙන තම වගා පිහිටුවන්න පුලුවන්. බීජ හුවමාරු කරගන්නත් පුළුවන්.”

ලියනගේ මහතා දිගු විස්තරයක් කියාගෙන යයි. තාක්‍ෂණය ගමට රැගෙනයාම පෙන්වාදීමට මෙය හොඳ උදාහරණයක් යයි මට සිතේ. වූල් කබා පොරවාගෙන ඇතුලට රිංගිය යුතු ශීතාගාර මේ ගම්පියසයන්හි නැත. ලොවපුරා විසිරී ඇති අහවල් බෝගයේ සියලු මාදිලියන්හි බීජ එකතුවක් මා සතුව ඇතැයි උදම් ඇනීමේ බලාපොරොත්තුවක්ද ගමේ ගොවියාට නැත. ඒ මානසිකත්වය පේරාදෙණියේ ශීත ගබඩාවට තිබුනාවේ!. එහෙත් වඳවී යාමේ තර්ජනය අබියස සුසුම් හෙළනා ගමේගොඩේ බීජ තොගයක් තම ගබඩාවේ තැන්පත්කර ඇතැයි යන ආඩම්බරය නම් ගමේ ගොවියා තුල නිදන්ගතව තිබේ. ව්‍යාපෘතිය මෙහෙයවන්නන් ලද සාර්ථකම ප්‍රතිපලයද එම ආඩම්බර ගොවියා බිහිවීමයි.
දේශගුණික කලාප තුනක් මූලික කරගෙන ඔවුන් විසින් ප්‍රජා ජාන බැංකු හතරක් සාදා ඇත. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම මිල්ලනියේ, ‘ඕවිට’ පරිසර පද්ධතිය පාදකව ජාන බැංකු දෙකකි. මහනුවර දිස්ත්‍රිකයේ උඩකුඹුර හා පදුපොල ග්‍රාමයන්හි, ‘උඩරට ගෘහාශ්‍රිත වන උයන්’ (Kandyan Home Garden) පරිසර පද්ධතියේ එක ජාන බැංකුවකි. වියලි කලාපයේ වැව ආශ්‍රිත පරිසරය නියෝජනය කරන්නට කුරුණෑගල ගිරිබාවේ, ගම්පොල හා වන්නිකුඩාවැව ගම්පියස ආවරණය කරමින් සිව්වන ප්‍රජා ජාන බැංකුව ඔවුන් විසින් පිහිටුවා තිබේ.
ජෛවවිවිධත්වය ගැන අප නොයෙකුත් කතා අසා ඇත. පහල පන්තියක පාසැල් සිසුවෙක් මිරිදිය පොකුණක ජෛවවිවිධත්වය හදාරත්දී, ඉහල අධ්‍යයනයන් වලදී ගෝලීය ජෛව විවිධත්වයද එක මිටට ගෙන විවරණය කරන අවස්ථාද තිබේ. දේශගුණය වෙනස්වන විට, ඊට අනුවර්තනය වෙමින් අලුතින් සත්ත්ව හා ශාක මාදිලිද බිහිවන අතර වෙනස දරන්නට බැරිවූවෝ මිහිතලයෙන් තුරන්වෙති. චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදයේ උචිතෝන්නතිය හා ස්වභාවික වරණය සේ පෙන්වා දුන්නේ මෙම සංසිද්ධියයි. එහෙත් දැන් කතාබහට ලක්වී ඇත්තේ ප්‍රවේගකාරී දේශගුණ විපර්යාසයකි. එහි වේගය දැරීමට නම් ජෛවවිවිධත්වයට හොඳටම අපහසුවනු ඇත. එය ඒ තරමටම වේගවත් බැවිනි. මේ වේගවත් වෙනස නිසා පරිසරය මගින්ම සුදුස්සෙකු තෝරාගෙන ඉදිරියට පවත්වාගෙන යාමකෙසේ වෙතත්, වෙනස දරාගත නොහැකිව වඳවීයාම නම් හනි හනිකට සිදුවීම බලාපොරොත්තු විය හැකිය.
“ජාත්‍යන්තරයෙන් අපගේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් සොයා බැලීමෙන් පසු ඔවුන් ප්‍රකාශ කළා ජෛවවිවිධත්වය වශයෙන් සියලු සංඝටක ගැන අවධානයට ගන්නා තනි වැඩසටහනක් වශයෙන් අප ඉහල තැනක සිටිනා බව. මම එහෙම කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ මෙය කලඑළි බැස්සත්, අපි සතුන් ගැනත් හොයනවා. මිරිදිය ජලාශ, පාංශු ජීවී විවිධත්වය, වායුගෝලයේ සිටින බෝග පරාගනයට උදව්කරන කෘමීන්ගේ නානාප්‍රකාරබව වගේ සියලු කොටස් හදාරනවා. මේ විවිධත්වය සංරක්‍ෂණය කර ගොවීන් අතර ඒවාහි උපයෝගිතාවය වැඩිකරන අතරතුර ඒ හරහා ග්‍රාමීය ජනතාවගේ දිවිපැවැත්ම ඉහලට ඔසවා තබනවා.” ලියනගේ මහතා සඳහන් කරයි.
කෘෂිකර්මයේ කට්ටියට තනිවම අදින්නට ඉඩ නොදී මේ බරට කර ගසන්නට තවත් ආයතන 30 ක් පමණ ඔවුන් හා එකතුවී සිටිනා බව ඔහු පවසයි. මේ අතර විශ්ව විද්‍යාල, අපනයන කෘෂිකර්ම, ආයුර්වේද ආදී දෙපාර්තමේන්තුද, තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානද ඇත. පසේ ජෛවවිවිධත්වය ගැන කරුණු සොයන්නට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, බෙහෙත් පැලෑටි ගැන අධ්‍යයනය කරමින් ගොවීනට බෙහෙත් බෝග වගාවන් හඳුන්වාදීමටත්, ඒවාහි සංරක්ෂණයටත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා සහයට පැමිණ ඇත්තේ මේ ආකාරයටය.

“උඩුකුඹුර ගමේ එකම එල හරකෙක් හෝ කුකුලෙක් හිටියේ නෑ. පශු වෛද්‍ය පීඨයේ සහාය අරගෙන අපි දේශීය ගවයින් ගමට දුන්න. මෑතකදී මට හමුඋනා එක ගොවියෙක් දවසට කිරි ලීටර් 12 ක් විකුණන. මෙය කිරි කර්මාන්තයේදී ලොකු ගණනක් නොවෙන්නට පුළුවන්. ඒත් අපි ප්‍රගතිය බලන්න ඕනෑ තිබුණු තැනට සාපේක්‍ෂව. එහෙම ගත්කල එතන දේශීය සම්පත් රැකිලා තියෙනවා. ග්‍රාමීය දිවිපෙවෙත උදෙසා එය පරිහරණයත් වෙනවා. දේශීය කුකුලන් ලබාගත් අය දැන් බිත්තර විකුනනවා. බෝග වගාව පැත්තෙනුත් ඒ වගේමයි. කර්කශ පරිසර තත්වයන් දරාගෙන වැවෙන සාම්ප්‍රදායික බෝග මාදිලි අපි හඳුනාගෙන, ඒවා ගුණනය කරලා ගොවීන් අතර ප්‍රචලිත කරලා තියෙනවා. බණ්ඩක්කා වර්ග, කුරක්කන් මාදිලි වගේ සාම්ප්‍රදායික දේ මේ ආකාරයට ගොවීන් අතර ගැවසෙන නිසා දේශගුණ වෙනසක් වුවත් ඒවා වඳනොවී ආරක්ෂා වේවි.”
අතුල ලියනගේ මහතා පවසන ආකාරයට දේශගුණ විපර්යාස හමුවේ බැටකන්නට පෙරසිටම, මුහුද හත්ගව්වක් තිබියදී යමක් කරන්නට විද්වත් කණ්ඩායම සමත්වූ බවක් පෙනේ. දැන් ඉතින් කොයිබටද? මේ විද්වත් මඬුල්ලෙන් අප ඇසිය යුතු ප්‍රශ්නය එයයි. විදෙස් ආධාර ලැබෙනා තෙක්, වාහන වල එම ආයතයන්හි ධජ පතාක ඔසවාගෙන, වාහන බඳෙහි නා නා ප්‍රකාරයේ ස්ටිකර් අලවාගෙන, උණු අළු වැටුණු කඩි රැලක් මෙන් රටපුරා දුවන ප්‍රොජෙක්ට් ඔපිසර ලා අප ඇති පදමට දැක ඇත්තෙමු. ව්‍යාපෘතිය අවසන් වීමත් සමගම පාවෙන සබන් බුබුලක් හිටි හැටියේ චුත වන්නාසේ ඔවුහු අතුරුදහන් වෙති. එතෙක් යම් ප්‍රතිලාභයක් ලබමින් සිටි අහිංසක ගැමියාද නන්නත්තාරවී යන්නේය. ලියනගේලාගේ ව්‍යාපෘතියද තව මාසයකින් පමණ කෙලවර වීමට නියමිතය. ඔහුගේ කතාවට අනුව සබන් බුබුල චුත නොවී පවතින්නටත් කරුණු කාරනා ගොඩනැගී ඇති බවක් පෙනේ.
“ප්‍රජා ජාන බැංකු ආශ්‍රිතව දැන් අපි “ප්‍රජා මූල සංවිධාන” පිහිටුවා තිබෙනවා. ගමේ ගොවීන් තමයි එහි භාරකරුවෝ. ව්‍යාපෘතිය නැවතුන පසු ඒ අය ක්‍රියාත්මක වේවි. දේශීය ද්‍රව්‍ය භාවිතයෙන් කර්මාන්ත පවා දැන් ගොඩ නැගිලා. ගම්පොල ග්‍රාමයේ දැන් මදුරු විකර්ෂක ආයුර්වේද හඳුන් කූරක් හදනවා. කිතුල් පැණි උනුකරන බොයිලේරුවක් උඩුකුඹුර ගමට හඳුන්වා දීම හේතුවෙන් දැන් එහි ගුණාත්මක ප්‍රමිතියකින් යුත් පැණි නිෂ්පාදනය සිදුවෙනවා. කුරුණෑගල, පාරම්පරික බීජ ගම්මාන ඇතිකරගෙන යනවා. අපේ ව්‍යාපෘතියේ ආශීර්වාදයෙන් රුහුණු සරසවිය මගින් ජෛවවිවිධත්ව ඩිප්ලෝමා පාඨමාලාවකුත් පටන් අරන්. ලබන මාසයේදී එහි පළමු කණ්ඩායම බඳවා ගන්නවා.”
කල කී දෑ බොහෝයයි පෙනේ. කිව යුතුදේද මහ ගොඩක් ඉතිරිව ඇත. ව්‍යාපෘතිය නතර වෙන විට ‘ප්‍රජා මූල සංවිධාන’ හරහා කර්තවයට කර දෙන්නට ‘උණ’ ඇති ගොවීන් අපේ ගම්වල තවමත් ඉතිරිව ඇති බව දැනගන්නට ලැබීම සුවදායී පණිවිඩයකි. ජෛවවිවිධත්වය යන පදයෙහි තේරුම නිවැරදිව හඳුනාගෙන, පැරැන්නන්ගේ දැනුම ඒ මත තවරා, ලාංකික ගොවිබිම සංවර්ධනයටත්, ජීවනෝපායේ අභිවෘද්ධියටත්, දේශගුණ වෙනසට මුහුණදීමටත් අපට හැකිවුණ දාට එක්සත් ජාතීන්ගේ තවත් ලියවිල්ලක ලංකාව ගැන ලියවෙනවා ඇත. මුරණ්ඩු දේශගුණය හමුවේ තම ජෛවවිවිධත්වය සාර්ථකව රැකගත් ජාතීන්ගේ ලැයිස්තුවක් එහි තිබේවි. එම ලයිස්තුවේ තම දේශයට සුදුසු හා තමාට කැමති තැනක් වෙන්කර ගැනීමේ වගකීම ගමේ ගොවියාට භාරය.
සනත් එම්. බණ්ඩාර