චීනය විදේශයන්හි නව ගල් අඟුරු ව්‍යාපෘති අරඹන්නේ නැති අතර, එය ගෝලීය වායු විමෝචනය පාලනය කිරීමේ තීරණාත්මක පියවර විය හැකිය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් ජනාධිපති ෂී ජින් පින් මේ බව නිවේදනය කළේය.
‘එක් තීරයක්, එක් මාවතක්’ නමින් හැඳින්වෙන දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතියක් යටතේ චීනය ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, සහ වියට්නාමය වැනි රටවල ගල් අඟුරු ව්‍යාපෘති සඳහා අරමුදල් සපයයි.
ලෝකය පැරිස් දේශගුණ ගිවිසුමෙන් ඇතිකරගත් ඉලක්ක සපුරා ගැනීමට උත්සාහ කරන හෙයින්, මෙම ව්‍යාපෘතිවලට මූල්‍යාධාර සැපයීම නැවත්වීමට චීනයට බලපෑම් එල්ලවෙමින් ඇත.
“හරිත හා අඩු-කාබන් බලශක්තිය වැඩි දියුණු කිරීම සඳහා චීනය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට සහයෝගය ලබා දෙන අතර විදේශයන්හි නව ගල් අඟුරු බලශක්ති ව්‍යාපෘති ගොඩනඟන්නේ නැත” යනුවෙන් වාර්ෂික සමුළුවේදී වීඩියෝ පටිගත දේශනයෙන් ජනපති ෂී පැවසීය.
මෙම වැඩපිළිවෙළ පිළිබඳව වැඩි විස්තර කිසිවක් ලබා දී නොමැති නමුත්, මෙම පියවර මඟින් චීනයේ ‘එක් තීරයක්, එක් මාවතක්’ (BRI) යටතේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ගල් අඟුරු බලාගාර ව්‍යාප්ත කිරීම සීමා කළ හැකිය.
බොහෝ රටවල, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල දුම්රිය, මහා මාර්ග, වරාය සහ ගල් අඟුරු බලාගාර සඳහා BRI ව්‍යාපෘතිය හරහා චීන අරමුදල් සපයන බව දැකගත හැකිය. කෙසේ වෙතත්, වසර කිහිපයකට පසු පළමු වතාවට, 2021 වසරේ පළමු භාගයේ දී ගල් අඟුරු ව්‍යාපෘති සඳහා BRI ව්‍යාපෘතිය හරහා අරමුදල් ලබා දී නැත.
තම රටේ බලශක්ති අවශ්‍යතා සඳහා ගල් අඟුරු මත දැඩි ලෙස යැපෙන චීනය, ලොව විශාලතම හරිතාගාර වායු විමෝචකයා යි. චීනය 2030 ට පෙර උපරිම වායු විමෝචනය සාක්‍ෂාත් කර, 2060 වන විට කාබන් උදාසීනභාවයට මාරුවීම ගැන පසුගිය වසරේ දුන් පොරොන්දු ගැන ජනපති ෂී සඳහන් කළේය.
එක්සත් ජනපද දේශගුණික නියෝජිත ජෝන් කෙරී මෙම නිවේදනය සාදරයෙන් පිළිගත් අතර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ජනාධිපති ෂී මෙම වැදගත් තීරණය ගත් බව දැන ගැනීම ගැන අතිශයින් සතුටු වන” බවයි.
ලබන මාසයේ ස්කොට්ලන්තයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ COP26 දේශගුණික විපර්යාස සමුළුවේ ප්‍රධානියා ද මෙම ප්‍රවෘත්තිය ප්‍රශංසාවට ලක් කළේය.
“ගල් අඟුරු බලාගාර පිළිබඳව ගලේ කොටා ඇති බව පැහැදිලිය. විදේශයන්හි නව ගල් අඟුරු ව්‍යාපෘති තැනීම නැවැත්වීමට ජනාධිපති ෂීගේ කැපවීම මම සාදරයෙන් පිළිගනිමි – එය මගේ චීන සංචාරයේදී කළ සාකච්ඡාවේදී වූ ප්‍රධාන මාතෘකාවක්” ආලෝක් ෂර්මා ට්විටර් සටහනක් තබමින් පැවසීය.
චීනය සිදුකරනු ඇතැයි වැඩි වැඩියෙන් අපේක්ෂා කළ නිවේදනයයි මේ.
දශකයකට ආසන්න කාලයක සිට ෂී ජින් පින්ගේ ‘එක් තීරයක්, එක් මාවතක්’ නම් විදේශ ආයෝජන ව්‍යාපෘතියේ එක් ප්‍රධාන අංග ලක්ෂණයක් වූයේ ගල් අඟුරු බලාගාර යි. කෙසේ වෙතත්, යථාර්ථය නම් මෙම ව්‍යාපෘති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැටී තිබීමයි.
මෙහිදී එක් වැදගත් තොරතුරක් පැහැදිලි කිරීම සිදුවිය යුතු ය; මෙය බලාත්මක වන්නේ කවදාද? අනුමත කරන ලද නමුත් තවමත් ඉදිකර නැති නව බලාගාර මෙමගින් ආවරණය කරයිද? චීනය විදේශයන්හි නව ගල් අඟුරු බලාගාර සඳහා අරමුදල් සැපයීම ද නවත්වයිද?
මෙය ප්‍රගතියක් වන නමුත් චීනය ගල් අඟුරු වලට ඇති නැඹුරුව ඉතාමත් වැඩිය.
ලෝකය දවන ගල් අඟුරු වලින් අඩක් භාවිත කරන්නේ චීනයයි. චීනය තවමත් අවුරුදු 40-50ක ආයු කාලයක් සහිත නව ගල් අඟුරු බලාගාර ගණනාවක් එරට පද්ධතියට එකතු කරමින් සිටී.
දැනට ඉතිරිව ඇති ප්‍රධානතම ප්‍රශ්නය නම්, චීනය සිය රට තුළ ඇති සමස්ත බලාගාර සංඛ්‍යාව කපා හැරීමට හා වඩාත්ම දූෂිත විදුලි උත්පාදන ක්‍රමය මත යැපීම සැලකිය යුතු ලෙස අඩු කිරීමට පටන් ගන්නේ කවදාද යන්නයි.
ජනපති ෂීගේ දේශනය පැවැත්වුණේ එක්සත් ජනපදයේ ජනපති ජෝ බයිඩන් එක්සත් ජාතීන්ගේ මහා සමුළුව පළමු වරට අමතමින්, දේශගුණික විපර්යාස සහ වසංගතය වැනි ගෝලීය ගැටලු විසඳීම සඳහා කිසි විටෙකත් නොවූ විරූ අයුරින් එක්වකටයුතු කරන ලෙස සියලු රටවල් වලින් ඉල්ලා සිටිමෙන් අනතුරුව ය.
බී.සී.සී ඇසුරිනි