වසර හතරක් පුරා දැඩි නියඟයකින් පීඩාවට පත්ව සිටින මැඩගස්කරය ලොව ප්‍රථම “දේශගුණික විපර්යාස සාගතය climate change famine” අත්විඳීමේ අද්දර සිටින බවඑක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
‘‘වර්ෂ හතරක් පුරා මැඩගස්කරයට වර්ෂාව ලැබී නැහැ. මේ වන විට දස දහස් ගණන් ජනයා කුසගින්නෙන් පෙළෙන අතර ආහාර අනාරක්‍ෂිත භාවය තීව්‍රර වී තිබේ‘‘ යැයි එක්සත් ජාතීන් වැඩි දුරටත් සදහන් කරයි.
මෙය දශක හතරකට පසු මැඩගස්කරය මුහුණ දෙන බිහිසුණුම නියඟයයි. මේ හේතුවෙන් රටේ දකුණේ හුදෙකලා ගොවි ප්‍රජාවන් විනාශයට පත්ව ඇති අතර ජනතාවට කෘමි සතුන් පවා ආහාරයට ගැනීමට සිදුව තිබේ.
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ෂෙලී තක්‍රල් මහත්මිය පැවසුවේ “මේවා සාගතය වැනි තත්ත්වයන් වන අතර ඒවා මෙහෙයවනු ලබන්නේ ගැටුමෙන් නොව දේශගුණයෙන්” යනුවෙන් ය.
එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව මේ වන විට පුද්ගලයින් 30,000 ක් ජාත්‍යන්තරව පිළිගත් ඉහළම මට්ටමේ ආහාර අනාරක්‍ෂිත භාවය (පස්වන මට්ටම) අත්විඳිමින් සිටිති. (highest internationally recognised level of food insecurity) අස්වැන්න නෙළීමට පෙර මැඩගස්කරය සාම්ප්‍රදායික “ආහාර අහේනි කාලයට” පැමිණීමත් සමඟ පීඩාවට පත් වූ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකිය.
“මෙය පෙර නොවූ විරූ දෙයක්. මේ අය දේශගුණික විපර්යාස සඳහා කිසිදු දායකත්වයක් ලබා දී නැහැ. ඔවුන් පොසිල ඉන්ධන දහනය කරන්නේ නැහැ. නමුත් දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ඔවුන් පීඩාවට පත්ව සිටිනවා” තක්රාල් මහත්මිය පැවසුවාය.
ඇම්බෝසරි දිස්ත්‍රික්කයේ ඈත පිහිටි ෆැන්ඩියෝවා නම් ගම්මානයේ වැසියන් මෑතකදී එහි සංචාරය කළ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත කණ්ඩායමකට තමන් ආහාරයට ගන්නා වූ පළඟැටියන් පෙන්වීය.

සිව්දරු මවක් වන තමාරියා පැවසුවේ “මම මට හැකි පමණින් කෘමීන් පිරිසිදු කරනවා. නමුත් ඒ සදහා අවශ්‍ය ජලය නැති තරම්. මගේ දරුවන් සහ මම දැන් මාස අටක් තිස්සේ මේවා දිනපතා අනුභව කරනවා. වපුරන ලද අස්වැන්න නෙළා ගැනීමට නොහැකි වූ නිසා අපට කෑමට කිසිවක් නැහැ. වැස්සත් නැහැ”
තිදරු මවක් වන බොලේ පැවසුවේ “අද අපට පතොක් කොළ හැර කෑමට කිසිවක් නැහැ‘‘
තම සැමියා මෑතකදී කුසගින්නෙන් මිය ගිය බවත් පෝෂණය කිරීමට තමාට දරුවන් දෙදෙනෙකු සිටින බවත් ඇය පැවසුවාය.
“මම කුමක් ද කරන්නේ ? කළ හැකි එකම දේ අපේ ජීවිතය ගලවා ගැනීම සඳහා නැවත නැවතත් පතොක් කොළ සෙවීමයි.”
ජල කළමනාකරණය වැඩි දියුණු කිරීම
මැඩගස්කරය නිතර නියඟයට ගොදුරු වන නමුත් (එල්නිනෝ හේතුවෙන්) කාලගුණ විශේෂඥයින් විශ්වාස කරන්නේ වර්තමාන අර්බුදයට දේශගුණික විපර්යාසයන් ඍජුවම සම්බන්ධ විය හැකි බවයි.
මැඩගස්කරයේ ශුෂ්ක බව වැඩි වීමක් නිරීක්ෂණය කර ඇති බව නවතම IPCC වාර්තාවත් සමඟ අපි දුටුවෙමු. දේශගුණික විපර්යාස තවදුරටත් පැවතුනහොත් එය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ සේවය කරන මැඩගස්කරාවේ විද්‍යාඥයෙකු වන ආචාර්ය Rondro Barimalala පැවසුවේ “මිනිසුන්ට සිය මාවත වෙනස් කර ගැනීම සඳහා මෙය බොහෝ ආකාරවලින් බලවත් තර්කයක් ලෙස සැලකිය හැකි‘‘ බවයි.
කැලිෆෝනියාවේ සැන්ටා බාබරා විශ්ව විද්‍යාලයේ දේශගුණික උපද්‍රව මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ක්‍රිස් ෆන්ක් ඉහත අදහස තහවුරු කළ අතර ජල කළමනාකරණය වැඩි දියුණු කිරීම සඳහා මැඩගස්කන් බලධාරීන් කටයුතු කළ යුතු බව පැවසීය.
“කෙටිකාලීනව කළ හැකි බොහෝ දේ ඇතැයි අපි සිතනවා. සාමාන්‍ය වර්ෂාවට වඩා වැඩි වර්ෂාවක් ලැබෙන විට අපට බොහෝ විට අනාවැකි පළ කළ හැකි අතර ගොවීන්ට තම බෝග නිෂ්පාදනය වැඩි කර ගැනීමට එම තොරතුරු භාවිතා කළ හැකියි. දේශගුණික විපර්යාස හමුවේ අපි බල රහිත නැහැ” ඔහු තවදුරටත් පැවසීය.
වර්තමාන නියඟයේ බලපෑම දැන් දකුණු මැඩගස්කරයේ විශාල නගරවල ද දැනෙමින් තිබෙන අතර බොහෝ දරුවන්ට ආහාර සඳහා වීදිවල හිඟා කෑමට බල කෙරී ඇත.
“වෙළඳපොළේ ආහාර මිල ගණන් තුන් හතර ගුණයකින් ඉහළ යමින් තිබෙනවා. මිනිසුන් ආහාර මිලදී ගැනීමට යම් මුදලක් ලබා ගැනීම සඳහා තම ඉඩම විකුණනවා,” ටොලනාරෝහි පුණ්‍යායතනයක් වන සීඩ් හි ටිස්නා එන්ඩෝර් පැවසුවාය.
ඇගේ සගයා වන ලොම්බා හසෝවානා පැවසුවේ තම කපු වගාවන් නියගයෙන් පීඩාවට පත් වූ මිනිසුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ මුත් එය ඉතා භයානක දෙයක් වූ බවයි.
“මෙනිසා ඔබගේ ජීවිතය පැහැදිලිවම අනතුරේ වැටිය හැකියි. මට එය ඇත්තෙන්ම අමාරුයි. මිනිසුන්ගේ වගාවන් විනාශ වෙලා. ඔවුන්ට ජීවත් වීමට කිසිවක් නැහැ. කන්න කිසිවක් නැහැ. ඔවුන් කුපිත වෙලා සිටින්නේ. ආහාර වෙනුවෙන් ඔවුන් ඕනෑම බිහිසුණු දෙයක් කරාවි ”
ඔහු තවදුරටත් මෙසේ පැවසීය: ” දැන් සෑම දෙයක්ම අනපේක්ෂිතයි. එය විශාල ප්‍රශ්නයක්. හෙට කුමක් සිදුවේද? කියලා කිසිවෙකු පැවසිය නොහැකියි. හැම දෙයක්ම නොසිතූ ලෙස වෙනස් වෙලා “
බී.බී.සී වාර්තාවක් ඇසුරිණි