කඩොලාන රැක ගැනීමේ ‘ආර්ථික සහ පාරිසරික වැදගත්කම’ නිසි පරිදි අවබෝධ කරගනිමු

ලෝකයේ රටවල් 118ක් පුරා විහිදී ඇති අක්ෂාංශ 5º N සහ 5º S අතර නිවර්තන සහ උපනිවර්තන වෙරළබඩ ප්‍රදේශවල අන්තර් කලාපීය කලාපයන්හි වැඩෙන මෙම කඩොලාන ශාක ජෛව විවිධත්වයෙන් අනූන සදාහරිත ලවණ ශාක විශේෂයකි.

ශ්‍රී ලංකාවේ ඇති මුළු කඩොලාන පමාණය හෙක්ටයාර 12,500 පමණ වන අතර දැනට කඩොලාන ශාක විශේෂ 29ක් පමණ ශ්‍රී ලංකාව සතුව පවතී. කඩොලාන වඩා විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වී ඇත්තේ පුත්තලම ප්‍රදේශයේ මෝයන් ආශ්‍රිතව ය. මීට අමතරව යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව් හා මීගමුව යන ප්‍රදේශයන්හි ද දැතගත හැකි ය. ඝනව වැඩුණු කඩොලාන නිරිතදිග, දකුණු, ඊසාන ප්‍රදේශයන්හි කලපු ආශ්‍රිත තැනින් තැන විසිරී ඇත.

කඩොලාන යනු බීජ දරන අතිශය විශේෂණය වූ පදුරුවල සිට උස් ගස් දක්වා ප්‍රමාණයෙන් වෙනස් වන ශාක වේ. කඩොලාන ගණයට අයත් විවිධ ශාක වර්ග තිබේ. හීන් කඩොල්, මල් කඩොල්, රතු කඩොල්, තෙල, මහ කඩොල්, කිරල, ඇතුන, රත්මිල්ල, මුට්ටි කඩොල් ඒවායින් කිහිපයකි. 

කඩොලාන ශාක ආශ්‍රිතව පාංශු ජල පමාණය අධික වීම නිසා සාමාන්‍යෙයන් මෙම පරිසර පද්ධතියේ පොළොව මඩ සහිත වේ. මෙම නිසා ශාකය ඍජුව පවත්වා ගැනීමට හා හොදින් පොළොවට සවි වීමට අනුවර්තනය වී ඇත. ප්‍රධාන කදෙන් පැන නගින කයිරු මුල් මෙන්ම අතුවලින් පැන නගින කරු මුල්  ශාකයේ සංධාරණ ශක්තිය වැඩි කරයි. වායුධර මුල් පැවතීම නිසා ශ්වසනයට අවශ්‍ය වාතය වායු ගෝලයෙන් අවශෝෂණය කරගනු ලබයි. පොළොවෙන් ඉහළට වැඩී වායු හුවමාරු කරන දණිස් මුල් ද මෙහි පවතී.

ශාක ප්‍රජාව මෙන්ම කඩොලාන පරිසර පද්ධතියේ සත්ත්ව ප්‍රජාව ද ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වේ. මඩ පොකිරිස්සන්, කඩොලාන මට්ටි, කඩොලාන කාවාටි, දිය හූනන්, කඩොල් කොකා, මුහුදු ලිහිණියා, කකුළුවන්, ඉස්සන්, කහ කොරලියා, පේත්තයා වැනි මත්ස්‍ය විශේෂ ද මෙම පරිසර පද්ධතිය තුළ දැක ගැනීමට හැකියාව ලැබේ.

ජෛව විද්‍යාත්මක වටිනාකමකින් අනූන මෙම කඩොල් ශාක මානව ප්‍රජාවට අති විශාල වටිනාකම් රාශීයක් අත්පත් කර දෙනු ඇත. ඒ අතරින් ප්‍රධාන කර්තව්‍යයක් ලෙස, වෙරළ ඛාදනය වැළැක්වීම පෙන්වා දිය හැකි ය. 2004 වර්ෂයේ දී සුනාමි ව්‍යසනයේ බලපෑම කඩොලාන ශාක ආශ්‍රිත ප්‍රදේශවල අවම වීම නිදසුන් ලෙස තවදුරටත් පෙන්වා දිය හැකි ය. බොහෝ මත්ස්‍ය විශේෂවල ළාබාල අවධිය ගත කරන ස්ථාන මෙන්ම අභිජනන ස්ථානයක් ලෙස මෙම කඩොලාන හැදින්වීමට හැක.

එමගින් ධීවර කර්මාන්තය සදහා මසුන් බහුල වීම හේතුවෙන් ආර්ථික ප්‍රතිලාභ රැසක් මානවයාට දායාද වේ. කඩොලාන ශාක ඉන්ධන, දැව, පොහොර හා ඖෂධ ලෙස යොදා ගන්නා අතර කූඩ හා පැදුරු විවීමට පං වර්ග සපයා ගැනීමට ද යොදා ගනී. සමහර කඩොල් ශාකවල පොතු වලින් ටැනින් (Tannin) රසායන ද්‍රව්‍ය ධීවර කටයුතු සදහා යොදා ගන්නා දැල් පදම් කිරීමට සහ සායම් කිරීමටත් යොදා ගනී.     

කඩොලාන ශාක වැඩිපුර කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් උරාගෙන වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් වායුගෝලයට මුදා හැරීම සිදු කෙරේ. ශ්‍රී ලංකාව තුළ භාවිත නොවූවද තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල් තම දෛනික පරිභෝජනයට අවශ්‍ය ලුණු නිෂ්පාදනය කිරීම සදහා ද අමුදව්‍ය ලෙස කඩොල් ශාක ප්‍රයෝජනයට ගනු ලබයි.

මිනිසුන් කොට්ඨාසයක් විසින්ම මෙම පරිසර පද්ධතිය විනාශ කරන අතර තවත්  මිනිසුන් මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරති. මෙලෙස කඩොලාන පරිසරයේ විනාශ වී ගිය තැන් සොයා බලා එම ස්ථානවල නැවත කඩාලාන ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘති විවිධ කණ්ඩායම් විසින් ආරම්භ කර ඇත. ඒ අනුව කඩොලාන ශාක පැල තවාන් කොට ඒ පැල නිසි කලට පැමිණි පසු විනාශ වී ගිය කඩොලාන පරිසරයේ නැවත සිටුවීම සිදු කරනු ලබයි. මේ නිසා අපට ජෛව විද්‍යාත්මක හා ආර්ථික වටිනාකමකින් යුත් මෙම පරිසර පද්ධතිය නැවත ගොඩ නගා ගැනීමට හැකි වී තිබීම සතුටට කරුණකි.

කඩොලාන යනු පාරිසරික හා ආර්ථික අංශ වලින් ඉතා වැදගත් පරිසර පද්ධතියකි. නමුත් සංචාරක ව්‍යාපෘති ඉදි කිරීම, කඩොලාන පරිසර පද්ධතියට කැලි කසළ එකතු කිරීම, වැලි ගොඩ දැමීම, ඉස්සන් කොටු සෑදීම ආදී මිනිස් ක්‍රියාකාරකම් හේතුකොටගෙන මෙම ජෛවීය පරිසර පද්ධතිය මුළු මනින්ම පාහේ විනාශ වීමේ තර්ජනයට ලක් ව ඇත. ලොව පුරා කඩොලාන විශේෂ 70ක් පමණ ඇති අතර, ඉන් 11ක් තර්ජනයට ලක් වූ විශේෂ වන අතර ඒවා IUCN රතු ලැයිස්තු‍වේ ලැයිස්තු ගත කර ඇත. එබැවින් අනාගත පරපුරේ පැවැත්ම උදෙසා කඩොලාන පරිසරය ආරක්ෂා කර ගැනීම අද පරපුරේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වේ.

සටහන

නවෝද්‍යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *