කාබනික ගොවිතැන යථාර්ථයක් කරගැනීමට ‘යා යුතු තිරසර මාවත‘ කුමක්ද ?

මෙම ව්‍යායාමය දිගු කාලින ආයෝජනයක් වන අතරම අනාගතයේදී අපට රටට මහත් වාසිදායක ප්‍රතිඵල උදාකර දෙනු නොඅනුමානය. කාබනික පොහොරක් ලෙස කොම්පෝස්ට් පසට එක්කිරීම ඔස්සේ දිගුකාලීනව පස ගොඩනඟා බෝග පෝෂණය කිරීමට හැකියාව පවතී. ඒ අනුව කාබනික ද්‍රව්‍යවලින් පස පොහොසත් වන අතරම ක්ෂුද්‍රජීවී ජීවීන් විසින් ස්වභාවිකව එම ද්‍රව්‍ය ජීර්ණයට ලක්කර සරු පසක් කාලීනව ගොඩනගනු ඇත.

දේශපාලඥයින්ගේ ගැඹුරු කඩහඬවල් ඉස්මතුව ජන බලය දිනාගැනීමට හා ස්වකීය ප්‍රතිරූපය ගොඩනගා ගැනීම උදෙසා විවිධ සංකල්ප ජනගත කළ ආකාරය ශ්‍රී ලංකා ඉතිහාසය පුරාම අපට දැකගත හැක. විශේෂයෙන්ම ගොවි ප්‍රජාව අරමුණු කරගෙන මෙම තත්ත්වය වඩාත් කැපී පෙනේ.

අපනයන බෝග ගම්මාන, වසවිස නැති ආහාර වගාව, කෘෂි ආර්ථික කලාප, නාගරික කෘෂිකර්මාන්තය, පාරිසරික ගොවිතැන, තිරසර ගොවිතැන, යහපත් කෘෂිකාර්මික පිලිවෙත් ආදී වශයෙන් විවිධ නාමකරණ යටතේ කලින් කලට ඉස්මතුවන සංකල්ප යථාර්ථයක් බවට පත්කර ගැනීමට නොහැකිවීම මත ගොවීන්ගේ මනෝභාවයන් සහ විශ්වාසයන් අතර කෘෂිකර්මාන්තයේ ප්‍රගමනය අහුරා බැඳී ඇති බහුවිධ ගැටළු වලට අද අපේ රට මුහුණපා ඇත.

මෙකී මනෝභාවයන් සහ විශ්වාසයන් බැහැර කිරීම දුෂ්කර කාර්යයක් වන නමුත් එයට කාලයක් ගතවනු ඇත. එවැනි පසුබිමක් යටතේ වර්තමානයේ නැවතත් කෘෂි කර්මාන්තය පිළිබඳ කතාබහ කරලියට පැමිණ ඇත.

ඈත අතීතයේ සිටම ලාංකිකයින් ගොවිතැන පවත්වාගෙන ආවේ පරිසරය සමග හිතකාමීයව එයට අනුරූපී ලෙසිනි. එමෙන්ම පරිසරයේ සිටින ජීවීන්ට අවම හානියක් වන පරිද්දෙන් එම ජීවින් රැකගෙන තමතමන්ගේ ආහාර අවශ්‍යතාවන් සපුරාගන්නා ක්‍රමවේදයක් ඔවුහු ඒ උදෙසා අනුගමනය කළහ.

Norman Borlaug නෝමන් අර්නස්ට් බෝර්ලොග් යනු ඇමරිකානු කෘෂි විද්‍යාඥයෙක් වන අතර එය ‘‘හරිත විප්ලවය‘‘Green Revolution ලෙස හැඳින්වෙන කෘෂිකාර්මික නිෂ්පාදනයේ පුළුල් වැඩිවීමට දායක වූ ලොව පුරා මුලපිරීම් මෙහෙයවීය

එහෙත් වර්ෂ 1960 ‘’හරිත විප්ලවය’’ ලෝකයට හඳුන්වාදිමත් සමග මෙරට තුළද සම්ප්‍රදායික ගොවිතැන් රටාවෙන් බැහැරව වාණිජ ගොවිතැන කරා ගොවින් ක්‍රමක්‍රමයෙන් යොමු කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ  අදාළ ආයතන කටයුතු කරන ලදී.

කෙටි කලකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමම මුලික අරමුණ කරගෙන දෙමුහුන් බීජ හඳුන්වා දීම, රසායනික පොහොර හඳුන්වා දීම, කෘමි නාශක, වල් නාශක සහ දිලීර නාශක හඳුන්වාදීම ඔස්සේ ඇතිවී තිබෙන භයානක හානිකර සෞඛ්‍ය හා පාරිසරික ප්‍රතිපල දැන් අප අත්විඳිමින් පවතින බව නොරහසකි. මෙයින් මිදීමට දැන් අපට කාලය එළඹ තිබෙන බව පැහැදිලිවේ. කෙසේ වුවද වර්තමාන සමාජ ආර්ථික සන්දර්භය තුල දැන් අප කළ යුතුවන්නේ තුලනාත්මක විද්‍යානුකූල පසුබිමක් එයට ආදේශකර ගැනීමයි.

මෙහිදී විශාලතම අභියෝගයන් ගෙන් එකක් වන්නේ සෘජු බලපෑමක් ඇති බවක් නොපෙන්වන ගැටළුවලට විසඳුම් සෙවීමයි. උදාහරණයක් ලෙස දක්වන්නේ නම් ප්‍රමාණවත් තරම් ආහාර සම්පාදනයකරගත හැකි හෙයින් ‘’කෘෂිකර්මාන්තය ඔවුන්ගේ ජීවිත වලට එතරම් අදාළ නොවන බවට බොහෝ ලාංකිකයින් තුළ ඇති අනවබෝධය’’යි.

දෙවැන්න වනුයේ ගොවිතැනේ නිරතවන්නන්හට වෘත්තීමය පිළිගැනීමක් අත්පත්කර දීමට මෙතෙක් කටයුතු කර නොතිබීමයි. කෙසේ වෙතත් ගෝලීය පාරිසරික, සමාජීය හා  ආර්ථික වෙනස්කම් මත අනාගතය අවිනිශ්චිත බව දැන් දැන් මනාව පැහැදිලි කෙරේ. ජාතියක් ලෙස අප එයට මුහුණදීමට නම්  තිරසර ලෙස ස්වදේශීය ආහාර බෝග නිෂ්පාදන ක්‍රමවේදයක්  අඛණ්ඩව ක්‍රියාත්මක කරගෙන යායුතුබව පැහැදිලි වේ.

විශේෂයෙන්ම විදෙස් රටවලින් කෙරෙන ආනයනික ආයෝජන යෙදවුම් සාපේක්ෂව අවම මට්ටමකින් තබාගෙන දේශීය කෘෂිකර්මාන්තය පිළිබඳ වඩාත් ක්‍රමානුකූල වූ කෙටි හා දිගු කාලීන සැලැසුම් ක්‍රියාවට නංගවා සක්‍රීයව පවත්වාගෙන යාමට අප කටයුතු කළ යුතුවේ. ඒ උදෙසා හැකියාවක් ඇති සෑම කෙනෙකුම යම්තරමකට හෝ කාබනික ගොවිතැනට යොමුකිරීමටත් එසේ යොමුවන පිරිස නිරතුරුව ඇගයීමකට ලක්කිරීමටත් ක්‍රියාකළ යුතුවේ.

කෙසේ වුවත් මෙරට ජනතාවගේ අවශ්‍යතාවයන් උදෙසා යම් තරමකට හෝ ආහාර නිෂ්පාදනයක නිරත විය යුතු බව වත්මන් රාජ්‍ය නායකත්වය වටහාගෙන තිබුණේ ඉකුත් ජනාධිපතිවරණයට පෙර සිටමය. මේ උදෙසා වඩා ප්‍රායෝගික දැනුමක් ඇති ගොවීන්ගේ කෘෂිකාර්මික භාවිතයන් සහ ජීවිත වැඩිදියුණු කිරීමට හේතු සාධකවන ආකාරයට අවශ්‍ය දැනුම හා සේවා ප්‍රතිපාදන වැඩිදියුණු කිරීමට අප සාමුහිකව ක්‍රියාකළ යුතුවේ.

වඩා හොඳින් පරිසර හිතකාමීව ගොවිතැන් කළ හැකි ආකාරය සහ එහිදී ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගත හැකි ආකාරයෙන්  තිරසාර නිෂ්පාදන පද්ධතියක් උදෙසා කාබනික ගොවිතැනට ප්‍රජාව දායක වන්නේ කෙසේදැයි අවබෝධකර ගැනීමට ඉඩ ප්‍රස්ථා විවර කළ යුතුවේ. මේ උදෙසා සමාජීය, විද්‍යාත්මක හා තාක්‍ෂණික ක්‍රම ඔස්සේ ගොවිතැනේ විවිධ අවස්ථාවන්හි භාවිතකල යුතු කාලීන ශිල්පීය දැනුම හා කුසලතා ඔවුන්තුල සංවර්ධනය කල යුතු වේ.

වඩා හොඳින් පරිසර හිතකාමීව ගොවිතැන් කළ හැකි ආකාරය සහ එහිදී ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගත හැකි ආකාරයෙන්  තිරසාර නිෂ්පාදන පද්ධතියක් උදෙසා කාබනික ගොවිතැනට ප්‍රජාව දායක වන්නේ කෙසේදැයි අවබෝධකර ගැනීමට ඉඩ ප්‍රස්ථා විවර කළ යුතුවේ. මේ උදෙසා සමාජීය, විද්‍යාත්මක හා තාක්‍ෂණික ක්‍රම ඔස්සේ ගොවිතැනේ විවිධ අවස්ථාවන්හි භාවිතකල යුතු කාලීන ශිල්පීය දැනුම හා කුසලතා ඔවුන්තුල සංවර්ධනය කල යුතු වේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය විසින් තිරසාර සංවර්ධනය සඳහා අධ්‍යාපනය යන අදහස ප්‍රවර්ධනය කිරීමේදී මිනිසාට නිවැරදි දැනුම, කුසලතා, ආකල්ප සහ සාරධර්ම ලබා දිය යුතු බව යෝජනා කරයි. මෙම ප්‍රතිපත්තිය මත පදනම්ව ගොවිතැනට සැබෑ ලෙසම අවතීර්ණ වන තරුණ තරුණියන් තුළ නිවැරදි ලෙසින් අභිප්‍රේරණයන් ඇති කිරීමට සහ ආකල්ප වෙනස් කිරීම උදෙසා නිපුණතා ප්‍රවර්ධනය කිරීමට ප්‍රායෝගික ඉඩ ප්‍රස්ථා වැඩියෙන් විවර කළ යුතුවේ.

මෙරට කෘෂිකර්මාන්තය සඳහා වන සියලු ගැටළු විසඳීම උදෙසා උසස් අධ්‍යාපනය ඔස්සේ පුද්ගලයින් බිහිකරගත නොහැකි නමුත් ප්‍රායෝගික වෘත්තීය කෘෂිකර්ම පුහුණු ක්‍රමවේදයක් ඔස්සේ මේ උදෙසා සමාජ කොට්ඨාශයක්  බිහිකර ගැනීමට විශාල ඉඩප්‍රස්ථාවන් පවතින බව පැවසිය හැකිය. ඒ අනුව සැබෑ ලෙසම මෙම ක්‍රියාදාමය බල ගැන්වීමට හැකියාවක් ඇති සෑම රාජ්‍ය හා පෞද්ගලික  ආයතනයක්ම ඉදිරියට පැමිණ කටයුතු කිරීමට දැන් කාලය එළඹ ඇතිබව පැවසිය හැකිය. 

විශේෂයෙන්ම දේශීය ආර්ථික සන්දර්භය තුළ ‘තිරසාර‘ හෝ ‘පාරිසරික කෘෂිකර්මාන්තයේ‘ (Ecological Agriculture) අර්ථ දැක්වීම සහ විෂය පථය යටතේ ‘කාබනික ගොවිතැන‘ (Organic Farming) යන යෙදුම පිළිබඳ අන්‍යෝන්‍ය හෝ පොදු අවබෝධයක් ඇති කළ යුතුය. එහි වර්තමාන නිර්වචනවලින් අදහස් වන්නේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ රජයේ නිලධාරීන් මෙන්ම විද්වතුන් දක්වා වූ බොහෝ අය මෙම සංකල්පය විවිධාකාරයෙන් අර්ථකථනය කරන බවයි.

එසේම කෘෂිකර්මාන්තයේ සියලු අදියරයන්හි දියුණුවට අදාළව ප්‍රතිපත්ති හා සැලසුම් සැකසීමේදී මෙකී විවිධ නිර්ණායක විවිධාකාරයෙන් බල පැවැත්වෙන බව හැඟවේ. කෙසේ වුවද මෙරට තුළ ‘‘තිරසාර කෘෂිකර්මාන්තය‘‘ (Sustainable Agriculture) පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් ස්ථාපිත කළ හැකි වන්නේ පැහැදිලි දර්ශක සහ තක්සේරු කිරීමේ ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම ඔස්සේ පමණි.

එකී කරුණු කෙසේ වුවද කාබනික ගොවිතැන ගොවීන්ගේ ජීවන රටාවට වැදගත් කාර්යභාරයක් ඉටුකරන පද්ධතියක් ලෙස අර්ථ දැක්විය හැකිය. කෘෂිකාර්මික පාරිසරික සමතුලිතතාවයක් පවත්වා ගැනීම අරමුණු කරගත් සියළු වර්ගවල නිෂ්පාදන හා ගොවිපළ කළමනාකරණය මෙයට ඇතුළත් වන අතර ගොවීන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය නංගවාගැනීම සඳහා මූල්‍යමය හා සමාජයීය වශයෙන් ස්වයංපෝෂිත විය හැකි ආකාරයක් එමගින් සහතික කරයි.

එහෙයින් ‘ස්වාභාවික ගොවිතැන‘, ‘ඒකාබද්ධ ගොවිතැන‘ සහ ‘කාබනික ගොවිතැන‘ ආදී ලෙසින් මෙම සන්දර්භය තුළ තිරසාර කෘෂිකර්මාන්තය නිර්වචනයේ සෑම අංශයක්ම පාහේ ආවරණය වන බව පැහැදිලිවේ. එනමුත් එය තරමක් පුළුල් වැහැරීමට ලක්ව ඇත. කෙසේ වුවද කාබනික ගොවිතැන පහසුවෙන් ක්‍රියාත්මක කළ හැක්කේ කුඩා පරිමාණ ගොවිබිම් ආශ්‍රිතවය. මෙම සංකල්පය මහා පරිමාණ ගොවිතැනට ආදේශකරගත හැකි ආකාරය කෙසේද යන්න අප ගලපාගත යුතුවේ.

කෙසේ වුවද වත්මන් රාජ්‍ය නායකත්වය විසින් කාබනික පොහොර භාවිතය හා කාබනික ගොවිතැන කෙරෙහි වූ දිශානතියකට ගොවිජනතාව පෙළගැස්වීම ඔස්සේ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහිකිරීමේ අභිලාශය ප්‍රකාශකර තිබිම අගය කළ යුතු ක්‍රියාවකි. කුමන තත්ත්වයක් යටතේ හෝ රජයක් ලෙස කෘෂිකාර්මික පද්ධතිය ප්‍රතිව්‍යුහගත කිරීමට රාජ්‍ය නායකත්වය සැලසුම් කර ඇතිබව ජනමාධ්‍ය ඔස්සේ වරින්වර ප්‍රකාශ වන එතුමාගේ අදහස් වලින් පිළිබිඹුවේ.

කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ගොවියාගේ ආදායම පහත වැටුණහොත් එය ප්‍රතිපූරණය කිරීමට වැය බර දැරීමට ද  රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා විසින්ම යෝජනා කර තිබීම මෙහි ඇති සාධනීය ලක්ෂණයකි.  

කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ගොවියාගේ ආදායම පහත වැටුණහොත් එය ප්‍රතිපූරණය කිරීමට වැය බර දැරීමට ද  රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බව ජනාධිපතිවරයා විසින්ම යෝජනා කර තිබීම මෙහි ඇති සාධනීය ලක්ෂණයකි.  

මෙහිදී විශාල කෘෂි ව්‍යාපාර හා කාබනික පොහොර නිෂ්පාදන කර්මාන්ත කෙරෙහි අවධානය යොමු කරන ‘ප්‍රධාන  ධාරාවේ’ ක්‍රමෝපායයන් පිළිබඳ විශ්වසනීය සංකල්පයක් දැකගත හැකි අතරම සුළු පරිමාණ ගොවීන්ගේ අවශ්‍යතාවයන්ද අවබෝධකරගෙන මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යොමුවන සමබර ව්‍යායාමයක් පිළිබඳ දැක්මක් ඇති බවද විද්‍යාමාන වේ.

සරලව පවසන්නේනම් මෙරට කුඩා පරිමාණ ගොවින්ගේ අරමුණු සඳහා ක්‍රියාත්මක කළ යුතු තිරසාර කෘෂිකර්මාන්තය පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් ඒ ඔස්සේ අනුගමනය කිරීමට ඉඩකඩ විවරව පවතී. තිරසාර කෘෂිකර්මාන්තයක් යටතේ සමස්ත පද්ධතියම ආවරණය වන හෙයින් විශාල කෘෂි හා වැවිලි ව්‍යාපාරවලට ඔවුන්ගේ කටයුතු වඩාත් සාර්ථකව කිරීමට හැකියාව උදාවේ. ඒ උදෙසා සහායවීමට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යාප්ති සේවකයින් සහ ගොවීන් මෙන්ම වගාකරුවන්හට ද තිරසාර කෘෂිකාර්මික අදහස් හා භාවිතයන් පිළිබඳ වැඩි දැනුමක් ලබා දීම අවශ්‍ය බව පැහැදිලිවේ.

ඒ උදෙසා ප්‍රාථමික වශයෙන් කාබනික ගොවිතැන පිළිබඳ වෘත්තීයමය ඉගැන්වීම හා පර්යේෂණ සම්බන්ධයෙන් වර්තමානයේ බොහෝ අවධානය යොමු වී ඇති හෙයින් ගොවීන්, වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් හට මෙය බලපාන්නේ කෙසේද යන්න එකිනෙකා අතර අවබෝධය ගොඩනැංවීම ද මෙහි වැදගත් අංශයක් බව පැහැදිලිවේ.

මෙහිදී වඩා වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැක්කේ කෘෂිකාර්මික වෘත්තීය අධ්‍යාපනය ක්ෂේත්‍රයටයි. එහිදි එම ක්ෂේත්‍රය ප්‍රධාන අභියෝග තුනකට මුහුණපානු ඇත. එනම් පළමුව තිරසාර කෘෂිකාර්මික ඉගැන්වීම යටතේ කාබනික ගොවිතැනට අදාළවම පුහුණුව ලබාගත හැකි යටිතල පහසුකම් සහිත ස්ථාන හඳුනා  ගැනීම හා වඩාත් උචිත ප්‍රායෝගික විෂයමාලා සංවර්ධනයකර පවත්වාගෙන යාම පෙන්වා දිය හැකිවේ.

දෙවනුව තිරසාර කෘෂිකාර්මික වැඩසටහන් සහ විෂයමාලා නව අවශ්‍යතා වඩා හොඳින් තක්සේරු කිරීමට අදාළව වැඩිදියුණු කළ ක්‍රමවේද භාවිතය අත්‍යවශ්‍ය වන අතර ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණයන් සඳහා මග පෙන්වීම උදෙසා නිර්දේශ ගොඩනගාගත යුතුවේ.

තෙවනුව, ගොවීන්ගේ ජීවිත වැඩිදියුණු කරන අතරම තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සඳහා වඩාත් දැනුවත් තේරීමක් කිරීමට ප්‍රායෝගික හා ව්‍යවහාරික දායකත්වයක් ලබා දීමට පුහුණුකාරකයින්ගේ හැකියාවන් ශක්තිමත් කළ යුතුයි.

මේ උදෙසා අවම වශයෙන් පසුගිය දශක තුන තුළ මෙරට වෘත්තීය අධ්‍යයන ආයතන ආශ්‍රීතව සිදුකරන ලද කෘෂිකාර්මික වැඩසටහන් හා විෂයමාලා සංවර්ධන කටයුතු පිළිබඳ තොරතුරු සවිස්තරාත්මක විශ්ලේෂණය කර බැලීම  අවශ්‍ය වේ. මේ ඔස්සේ කෘෂිකර්මාන්තයේ තිරසර සංවර්ධනය උදෙසා මෙතෙක් ඒවායින් ලැබි ඇති දායකත්වය හඳුනාගත හැකි අතර ආහාර නිෂ්පාදනය සහ සුරක්‍ෂිතතාවයට අදාළ වන පරිදි එම  න්‍යායයන් සහ භාවිතයන් පිළිබඳව ගොවිජනතාව හා පුහුණුලාභීන් යොමු වූයේ කුමන ආකාරයෙන්ද යන්න අවබෝධකරගත හැකිවේ.

කෙසේ වෙතත් කෘෂිකර්මාන්තයේ තවදුරටත් නියැලෙන රටක් ලෙසින් තිරසාර කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හා භාවිතයන් වැඩිදියුණු කිරීම සඳහා පිරවිය යුතු හිඩැස් තක්සේරු කරගැනීමට එමගින් හැකියාව උදාවනු ඇත.

එමෙන්ම මෙරට කෘෂිකාර්මික වෘත්තීය අධ්‍යාපනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ නිසි විශ්ලේෂණයක් සිදු කිරීම සඳහා ප්‍රවේශ විය හැකි හෝ සංස්ලේෂණය කළ දත්ත තිබේද යන්න විමසා බැලීමත් කාලෝචිතවේ. විෂය මූලික දත්ත එක්රැස් කිරීම යනු රටේ තිරසාර කෘෂිකාර්මික අධ්‍යාපනය පිළිබඳ වඩාත් නිවැරදි, ආනුභවික හා ශක්තිමත් දෘෂ්ටියක් ලබා ගැනීම සඳහා රජයේ ආයතනවලට දායක විය හැකි සහ සහයෝගයෙන් කටයුතු කළ හැකි කාර්යයකි.

කාබනික ගොවිතැන උදෙසා ගොවි ප්‍රජාව පරිවර්තනය කිරීම සඳහා වඩා හොඳ දැනුමක් සහ සත්‍ය තොරතුරු පදනම් කරගත් සැලසුම් උදෙසා එය වැදගත්වේ. එමෙන්ම එයට අමතරව ඒ ඔස්සේ තිරසාර කෘෂිකර්මික නිෂ්පාදන සමාජ රටාවක්  බවට පරිවර්තනයවීම සාක්ෂාත් කර ගැනීමට ඇති බාධක හඳුනාගැනීමට හැකියාව උදාකෙරේ.

රජය කාබනික ගොවිතැන ග්‍රාමීය ජනතාවගේ ජීවන රටාව හා ආර්ථික ශක්තිය නංවාලීමේ මාර්ගයක් ලෙස දකී. ඒ අනුව හරිත විප්ලවයෙන් පසුව විකල්පයක් ලෙස කාබනික ගොවිතැන ප්‍රවර්ධනය  කිරීමට රජයේ ඉහළම තැනින් සෘජුවම යෝජනා කරන ලද පියවර රැසක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී. කෙසේ වෙතත් රජයේ මෙම සංකල්පය ඔස්සේ කෘෂිකාර්මික ප්‍රබෝධයක් කෙටිකාලීනව අත්පත්කර කර ගත නොහැකිවිය හැක. එසේ වුවද මෙම ප්‍රතිපත්තිය තිරසාර කෘෂිකර්මාන්තයේ සංකල්ප හා ප්‍රවේශයන් ඉදිරියට ගෙනයාම සහ දිගු කාලීනව ගොවි බිම්හි වෙනසක් ඇති කිරීම සඳහා හොඳම භාවිතයන් ක්‍රියාත්මක කිරීම සඳහා වැදගත් වනු ඇත.

කාබනික ගොවිතැන පිළිබඳ ඉගැන්වීම් හා පර්යේෂණ දිරිගැන්වීමේ සැලසුමක් අනුවම සකස් කළ යුතුවන්නේ එවැනි පසුබිමක් යටතේයි. මෙම ගැටළුව පිළිගෙන වඩා තිරසාර කෘෂි ආර්ථික සමාජයක් බිහිකිරීමට උපකාර කිරීමේදී කාබනික ගොවිතැනේ වැදගත්කම පිළිබඳව උචිත ඉගෙනුම් ක්‍රමවේදයන්ට ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකා සහ දැනුම කළමනාකරණය ඇතුළත් කළ යුතුවේ. කාබනික ගොවිතැන හා සම්බන්ධ වැඩසටහන් සඳහා නව පහසුකම් සහ දිරිගැන්වීම් වැනි වෙනත් යාන්ත්‍රණ මේ සදහා වැඩිදුරටත් උපකාර කරගත හැකිවේ.

කෘෂිකර්මාන්තය ඉතා අසීරු හා දුෂ්කර කාර්යයක් ලෙස සලකන පොදු මානසිකත්වයක් වත්මන් වැඩිහිටි සහ තරුණ ප්‍රජාව අතර මතවාදීයව මුල් බැසගෙන ඇත. අඩු ශ්‍රමයක් හා අඩු යෙදවුම් අවශ්‍ය නමුත් ඉහළ ප්‍රතිලාභ ලබා ගත හැකි නව්‍ය කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම හෝ ආහාර සැකසුම් පිළිබඳ මොවුන් දැනුවත් කරමින් හොඳම භාවිතයන් පිළිබඳ උදාහරණ බෙදා ගැනීම ඔස්සේ මෙකී මානසිකත්වය වෙනස් කිරීමට හැකියාව පවතී.

එමෙන්ම කාබනික ගොවිතැන ක්‍රියාවට නැංවීමට බාධා කරන නීති හා රෙගුලාසි ප්‍රතිසංස්කරණය කළ යුතු අතර මේ සඳහා රාජ්‍ය යාන්ත්‍රණය තුල සිටින නිලධාරීන්ගේ නම්‍යශීලී පරිපාලන ව්‍යුහයක්  ගොඩනැගීමද අවශ්‍ය වේ.

බොහෝ අවස්ථාවන්හීදී රජය  සහ රාජ්‍ය ආයතන විසින් වරින්වර කෘෂිකාර්මික සංවර්ධන ප්‍රතිපත්ති සකස් කර ඇති නමුත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට සහ ඒවායේ බලපෑම තක්සේරු කිරීමට සුදුසු ක්‍රමවේදයන් නොමැතිවීම ඔස්සේ ඒවා අකර්මන්‍ය වූ ආකාරය මෑත කාලීන ඉතිහාසය අපට පැහැදිලි කරයි. එවැනි කණගාටුදායක තත්ත්වයන්ගෙන් අපි බැහැර විය යුත්තෙමු.

සුදුසු තක්සේරුවක් හෝ ඇගයීමක් සහිත ප්‍රායෝගික ව්‍යාපෘති වලදී කෘෂිකාර්මික ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව්‍යාප්ති සේවාවන් විසින් නිර්පාක්ෂිකව මෙයට වඩා දැනුවත්ව අවබෝධයෙන් කටයුතු කළයුතු වන්නේ එබැවිනි.

කෙසේ වුවද තිරසාර කෘෂිකර්මාන්තයේ පුළුල් සංවර්ධනය වළක්වාලන දේශීය වශයෙන් තවත් බොහෝ හේතු සාධක ගැටළු පවතී. විශේෂයෙන්ම කාබනික ගොවිතැනට අදාළ කාබනික පොහොර ප්‍රමාණවත් ලෙස රට තුළ නිෂ්පාදන කළ හැක්කක්ද යන්න බහුතරයකගේ තර්කයයි.

දෙවැන්න වන්නේ කාබනික පොහොර පමණක්ම භාවිතාකර සෑම වගාවක්ම කළ හැකිද යන්නයි. ඊළග තර්කය වන්නේ ප්‍රවේගකාරී ජනගහන වර්ධනයට අවශ්‍ය ප්‍රමාණයට ආහාර බෝග නිෂ්පාදනයක් කාබනික ගොවිතැන යටතේ කළ හැකිද යන්නයි.

අවසාන තර්කය වන්නේ ස්වාභාවික කාලගුණික හා දේශගුණික විපර්යාස හමුවේ කෘමි හා රෝග පළිබෝධ මර්දනය කළ හැකිද යන්නයි. තාර්කික වශයෙන් මේවායෙහි යථාර්ථයක් පෙන්නුම් කළද අප වටහාගත යුත්තේ  රසායනික පොහොර හා රසායනික පළිබෝධනාශක නිෂ්පාදනයට පෙර ගොවිතැන් කළේ කෙසේද යන්නයි. යම්කිසි වැඩක් නොකරන හා නොකිරීමට අනුබල දෙන අයහට මෙවැනි අදහස් ජනගත කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව අප මෙහිදී අමතක නොකළ යුතුය.

මෙහිදී පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ, ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ හා  මධ්‍යම පරිසර අධිකාරියේ මග පෙන්වීම ඔස්සේ ප්‍රාදේශීය සභා , නගර සභා සහ මහනගර සභා බල ප්‍රදේශයන්හි දෛනිකව රැස්වන කසළ විධිමත් ආකාරයට වර්ගීකරණය බැහැර කිරීමට ප්‍රජාව උනන්දු කරවිය හැක. ඒ අනුව දිරන අපද්‍රව්‍ය නිසි පරිදි කළමනාකරණය කිරීම තුළින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට හා නොදිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට යොමුකරවීමට එම ආයතන ඔස්සේ මේ උදෙසා ඉමහත් කාර්ය භාරයක් ඉටුකලහැකිබව පෙන්වා දිය හැකිය.

දැනටමත් සමහර ප්‍රාදේශීය සභා මෙන්ම පුද්ගලික ව්‍යවසායකයින් මෙයට නැඹුරුව සිටීම අගය කළ යුතුවේ. එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදන කටයුතු සදහා දායක කරගත හැකි කුඩා හා මධය්‍යම පරිමාණ යන්ත්‍ර නිපදවීම සදහා ඉදිරිපත්වන නිර්මාණ ශිල්පීන්හට අවශ්‍ය ප්‍රාග්ධනය හා තාක්ෂණය සැපයීමටද ක්‍රමවේදයන් හඳුන්වාදීම මෙම කාර්යයන් වඩාත් ප්‍රවේගවත් කිරීමට හේතුකාරක වනු ඇත.  

එසේම සත්ත්ව පාලන ගොවිල ආශ්‍රීතව බැහැරලන කුකුල් පොහොර, ගොම පොහොර, එළු පොහොර  මෙන්ම විශේෂයෙන්ම වවුල්ලු රංචුපිටින් ලගින මාර ගස්, පුළුන් ගස් හා කුඹුක් ගස්  ආදිය ආශ්‍රිතව එම සතුන්ගේ වසුරු මිශ්‍ර දිරා ගිය කොළ රොඩු මෙන්ම වැව් හා ජල මාර්ග වසාගෙන ඇති ජපන් ජබර වැනි ජලජ ශාඛ මෙන්ම මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා ආශ්‍රිතව බැහැරලන මත්ස්‍ය කොටස් වගා කටයුතු සදහා උචිත පරිදි පොහොරක් ලෙස සකසා භාවිතයට ගැනීමට තාක්ෂණික හා විද්‍යාත්මක දැනුමින් ගොවීන් සන්නද්ධ කිරීම අදාළ අංශයන්හි වගකීම බව පෙන්වා දිය හැකිය.

මෙවැනි ව්‍යාපෘති ප්‍රාදේශීය වශයෙන් අවම ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න හැකිවීම මෙහිලා විශේෂත්වයකි. එසේම කාබනික පොහොර Organic fertilizer නිෂ්පාදනය මෙන්ම ශාඛ පත්‍ර,මල්, බීජ, බල්බ හා මැලියම් ඇසුරෙන් කාබනික පළිබෝධනාශක Organic pesticides නිපදවීම සඳහා ද අවශ්‍ය පරීක්ෂනාගාර පහසුකම් ප්‍රාද්ශීය වශයෙන් හෝ ස්ථාපිත කිරීමත් ඒ උදෙසා දිරිගැන්වීම් ක්‍රමවේද හඳුන්වාදීමත් කළහැක.

මෙම ව්‍යායාමය දිගු කාලින ආයෝජනයක් වන අතරම අනාගතයේදී අපට රටට මහත් වාසිදායක ප්‍රතිඵල උදාකර දෙනු නොඅනුමානය. කාබනික පොහොරක් ලෙස කොම්පෝස්ට් පසට එක්කිරීම ඔස්සේ දිගුකාලීනව පස ගොඩනඟා බෝග පෝෂණය කිරීමට හැකියාව පවතී. ඒ අනුව කාබනික ද්‍රව්‍යවලින් පස පොහොසත් වන අතරම ක්ෂුද්‍රජීවී ජීවීන් විසින් ස්වභාවිකව එම ද්‍රව්‍ය ජීර්ණයට ලක්කර සරු පසක් කාලීනව ගොඩනගනු ඇත.

කෙසේ වුවද කාබනික පොහොර ඵලදායී හා පරිසර හිතකාමී ලෙස භාවිතා කිරීම සඳහා ගොවීන් මෙන්ම වගාකරුවන් පසෙහි pH අගය සහ පෝෂක තත්ත්වය පරීක්ෂාකර බලා එම පොහොර පසට එක් කිරීමට සුදුසුකම් සහිත ආයතන වෙතින් උපදෙස් පැතීම වඩා යෝග්‍යවේ.

කෙසේ වුවද දේශීය වුවත් විදේශීය වුවත් ගොවිතැනට යොදාගන්නා කාබනික නිෂ්පාදන උදෙසා ප්‍රමිතිකරණ හා නිර්දේශකරණ ක්‍රියාදාමයක් පුළුල් ලෙස ස්ථාපිත කළ යුතුවේ. ඒ සමගින්ම රටතුළ මෙම කර්තව්‍යයන්හි කාර්ය සාධනය නියාමනය කිරීම සහ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම සඳහා ඵලදායී තක්සේරුකරණ සහ පරීක්ෂණ පද්ධතියක අවශ්‍යතාවය ද ඉස්මතුවනු ඇත. ඒ උදෙසා ප්‍රාදේශීය වශයෙන් හෝ කෘෂි දේශගුණික කලාප වශයෙන් හෝ වඩා හොඳ නියාමන හා ඇගයීම් පද්ධතියක් සංවර්ධනය කිරීමට හා ක්‍රියාත්මක කිරීම සඳහා රජයට තාක්ෂණික දැනුම හා සහාය ලබා දිය හැකි පුද්ගලයින් ගොවියන් අතර ද සිටින බව අප අමතක නොකළ යුතුවේ.

උත්සව හෝ සැණකෙළි වලින් බැහැරව ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් උදෙසා මෙරටට වඩා හිතැති රජයේ කාලීන ව්‍යායාමය ඉදිරියට ගෙනයාමට ලාංකික පුරවැසියන් වශයෙන් පෙළගැසීම අප සැමගේම වගකීමක් කරගත යුතුවේ.

එම්.එම්.පාලිත මහින්ද මුණසිංහ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ අඹේපුස්සවල්පිට හා හෝමාගම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය ත්‍රිත්වයෙහි වසර 30 ක් ගොවිපල් යාන්ත්‍රික උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇත. 2018 වසරේදී රජයේ සේවයෙන් ඉල්ලා විශ්‍රාම යන ලදී.

අනතුරුව පෞද්ගලික අංශයේ ආහාර නිෂ්පාදන ආයතනයක් වන  ‘ පිකල් හවුස් ප්‍රඩක්ට්ස් (ප්‍රයිවට්) ලිමිටඩ්හි තත්ත්ව පාලන නිලධාරියෙකු ලෙස වසර එකහමාරක් මම සේවය කළෙමි. වසර 2000 සිට මේ දක්වාම ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්මික තාක්ෂණ දෙපාර්තමේන්තුවේඇක්වයිනාස් විශ්ව විද්‍යාල ආයතනයේ වැවිලි කළමණාකරන පීඨයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘෂිකර්ම හා පරිසර දෙපාර්තමේන්තුවේ සම්පත්දායකයෙකු ලෙස සේවය ඉටුකරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *