පාරිසරික ගොවිතැන – ප්‍රජා සෞඛ්‍යාරක්ෂාවට හා පරිසරය රැකුමට විකල්පයක්

මෙරට පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතා සපුරාලීම සහා ප්‍රමාණවත් තරම් ආහාර බෝග දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගැනීමට තවමත් බැරිවීම විශාලතම අභියෝගය බවට විවාදයක් නොමැත. මෙම අභියෝගය ජය ගැනීම සහා විවිධ වැඩසටහන්, සැලසුම් හා ක්‍රමෝපායන් පසුගිය දශක කිහිපය පුරා ක්‍රියාත්මක කර ඇති අතර තවමත් ඇතැම් ඒවා ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම සියලු වැඩසටහන් හා සැලසුම් අතරේ අප තවමත් සිටින්නේ ගොවියා යනු කවරෙක්ද ?, ගොවිතැන යනු කුමක්ද ? සහ ගොවිතැන උදෙසා අප තෝරාගත යුත්තේ කුමන මාවතක්ද යන්න නිශ්චය කරගත නොහැකි තැනකයි.

ප්‍රතිපත්ති සම්පාදකයින් හා ඒවා ක්‍රියාවට නංවන්නන් බොහෝ ජනතාව පෝෂණය කිරීම යන්නෙන් අදහස් කරන්නේ හැකි ලෙස ආහාර ප්‍රමාණයක් රට තුළ නිෂ්පාදනය කිරීම හෝ බැරි නම් ආනයනයකර බෙදාහැරීමයි. එහෙත් මෙම සරල විශ්ලේෂණය දේශීය වශයෙන් අවශ්‍ය ආහාර බෝග නිෂ්පාදනය පිළිබඳ මූලික කරුණුවලින් බැහැරවේ. ඇත්ත වශයෙන්ම, දේශීය ආර්ථිකය පෝෂණය කිරීම සඳහා වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ වරම ගොඩනැ‍ගෙනුයේ ගොවිතැනට අදාළව ඉටුකර ගතහැකි ප්‍රතිපත්ති සහ භාවිතයන් යුක්ති සහගත කිරීම ඔස්සේ පමණි.ෙ

මෙය යම්තරමකට හෝ සාක්ෂාත් කර ගැනීම සඳහා පාරිසරික ගොවිතැනෙහි Ecological farming  නිරත වෙමින් කාබනික පොහොර භාවිතය උදෙසා ප්‍රජාව නැඹුරුකරවීමට මෙරට රාජ්‍ය නායකත්වය විසින්ම අවධාරණය කරගෙන ඇත්තේ කාලෝචිත තිරසාර හැඟීමක් පෙරදැරි කරගෙන බව පසක්වේ.

කාබනික ගොවිතැන Organic Farming හෝ ජෛව විද්‍යාත්මක ගොවිතැන Biological Agriculture ලෙසින් ද අර්ථ ගන්වන්නා වූ පාරිසරික ගොවිතැන උදෙසා පදනම් වී ඇත්තේ රසායනික පොහොර, පළිබෝධනාශක ද්‍රව්‍ය සහ ජානමය වශයෙන් වෙනස් කරන ලද කිසිදු බෝගයක් හෝ ජීවියෙකු උපයෝගීකර නොගෙන ස්වාභාවික සම්පත් වලින් ස්වදේශීය බෝග වගාවන් නඩත්තු කර ගැනීමේ ව්‍යායාමයයි.

මේ ආකාරයෙන් අනාදිමත් කාලයක සිට අපේ පැරැන්නන් වඩාත් සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර බෝග අස්වනු රැස්කරගත් බව ග්‍රන්ථාරූඩ ඉතිහාස මූලාශ්‍ර සනාථ කරයි. එසේම ඉන් බැහැරව ඔවූහු අවම පාරිසරික බලපෑමක් ඇති කරමින් පරිසරයේ ඉහළ තිරසාර බවක් ගොඩනැගීමට දායකවී ඇති බවද පැහැදිලිවේ.

කාබනිකව වගා කළ ලොකු ලූණූ වගාවක් – ඡායාරූපය – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

කාබනික ගොවිතැන

දැන් බොහෝ දෙනෙකු කතා කරන කාබනික ගොවිතැනෙහි Organic Agriculture  මූලික අපේක්ෂාව වන්නේ ද පුරවැසියන්ගේ සෞඛ්‍යය සුරක්ෂා කිරීම උදෙසා වස විසෙන් තොරවූ ආහාර බෝග අස්වනු උත්පාදනය කරගැනීමයි. දෙවනුව, රසායනික පොහොර හා බෝග සෞඛ්‍යාරක්ෂක ද්‍රව්‍ය උදෙසා විශාල වශයෙන් වැයවන විදේශ විනිමය ඉතිරිකර ගැනීමයි.  එහි ද්විතියික අංග ලෙස අරමුණු කරගෙන ඇත්තේ ජෛව පද්ධතියේ ස්වාභාවික ජීවන චක්‍රය රැකගැනීම, විශාල පෝෂණ හා සංස්කෘතික වටිනාකමක් ඇති දේශීය බෝග වර්ග අතුරුදහන්වීම වළකා ගැනීම සහ පෝෂණ ඌනතාවයෙන් විනාශවන වගා කළ හැකි පස පුනර්ජනනය කර ගැනීමයි.

ඒ අනුව පළිබෝධනාශක, කෘමිනාශක, ප්‍රතිජීවක, කෘත්‍රිම පොහොර, ආකලන සහ කල්තබා ගන්නා ද්‍රව්‍ය වලින් තොර බැවින් පාරිසරික ගොවිතැන යටතේ උපදවා ගන්නා බෝග නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බව පැවසිය හැකිය. එමෙන්ම රසායනික ද්‍රව්‍ය අතුරින් බොහොමයක්  ගොවිබිමේ අහිතකර පළිබෝධකයන් මෙන්ම හිතකර කෘමි සතුන් ද තුරන්කර දමයි. ආසන්නතම වායුගෝලය ද මතුපිට හා භූගත ජලය සම්පත ද දූෂණය කරයි. රෝගවලට එරෙහිව සටන් කිරීමට හැකි බෝග තුළ ඇති හැකියාවන් අකර්මණ්‍ය කරයි.

එමෙන්ම ආහාර බෝග නිෂ්පාදනය උදෙසා බහුලව භාවිතාකරන රසායනික පළිබෝධනාශක සිය ගණනක ඉතා ක්ෂුද්‍ර ශේෂ අප දිනපතා අනුභව කරන ආහාරවල අන්තර්ගතවන බව පෝෂණවේදීන් හා පර්යේෂකයින් විසින් දැන් සනාථ කරගෙන තිබේ. එපමණක් නොව විවිධ විද්‍යාත්මක අධ්‍යයන වලින් පෙන්නුම් කරන්නේ පිළිකා, අසාත්මිකතා සහ ඇදුම වැනි ඇතැම් ව්‍යාධීන් කෙරෙහි පළිබෝධනාශක උත්තේජනයක් ඇති කරන බවයි.

ඒ අනුව ගොවිතැනෙහි හා ඊට සමගාමී කටයුතුවල නිරතවන පුද්ගලයින් විසින් රසායනික පළිබෝධනාශක භාවිතය හේතුවෙන් ඒවා ස්පර්ශයෙන් හා ආඝ්‍රානය වීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට සෘජුවම අහිතකර බලපෑම් එල්ල කරන බව පැවසිය හැකිය. විශේෂයෙන් අප රට තුළද මෑතක්වන තුරුම පළිබෝධනාශක භාවිතය දුර්වල ලෙස නියාමනය කර පැවතීම එයට හිතකර තත්ත්වයක් නිර්මාණයකර තිබුණි. අනෙක් අතට යුරෝපා රටවල් විසින් මෙතෙක් සඟවාගෙන සිට හෙළිදරව් වූ තොරතුරු මගින් සනාථවී ඇත්තේ ද ග්ලයිෆොසේට් වැනි ඇතැම් ද්‍රව්‍යවල විෂ අධික බවයි.

පාරිසරික ගොවිතැන යටතේ රැස්කර ගන්නා බෝග නිෂ්පාදනයන්හි  වැඩි පෝෂ්‍යදායී ගුණයක් වාර්තා වන්නේ ඒවායේ විටමින්, අත්‍යවශ්‍ය ඛනිජ, ප්‍රතිඔක්සිකාරක, කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන ඉහළ මට්ටමක් පවතින හේතුවෙනි. එම බෝගයන්හි හෘදයාබාධ, ඔස්ටියෝපොරෝසිස්, ඉරුවාරදය, අසාත්මිකතා, අධි ක්‍රියාකාරිත්වය, පාකින්සන් වැනි සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකි කෘත්‍රිම ආකලන අඩංගු නොවේ.

ස්වාභාවික පරිසරයට අනුගත වෙමින් එහි රිද්මයට ගරු කරමින් සහ කෘෂි රසායන භාවිතයෙන් තොරව වගා කරන ජීව විද්‍යාත්මක නිෂ්පාදන සමබර හා පෝෂ්‍ය පදාර්ථ වලින් පොහොසත් වන බව පෝෂණවේදීන්ගේ නවතම වාර්තා පෙන්වා දෙයි. අනෙක් අතට එම අධ්‍යයනයන් පෙන්වා දී ඇත්තේ අපගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා යළි වේගවත් කාබනික වගාවකට හා ආහාර නිෂ්පාදනයකට අවතීර්ණ විය යුතු බවයි.

පරිසරයට අනුගතව ක්‍රියාකිරීම පාරිසරික ගොවිතැනෙහි සුවිශේෂී ලක්ෂණයකි. ඒ අනුව බෝග වගා කරන පරිසරය සංරක්ෂණයට නිරායාසයෙන්ම ගොවීන් සහභාගීවන අතර ඉඩම්, ජලය සහ වාතය දූෂණය වීමද ඉන් වැළකේ. එමෙන්ම එය වායු දූෂණය අඩුකරයි. කාබන් ඩයොක්සයිඩ් අඩු ප්‍රමාණයක් වියෝජනය කරයි. හරිතාගාර ආචරණය වළක්වයි. දූෂිත අපද්‍රව්‍ය ජනනය නොකරන හෙයින් පාරිසරික ගොවිතැන මිනිසා මෙන්ම සියළුම ජීවීන්හට හිතකර පරිසර තත්ත්වයක් ගොඩනගා දෙයි. එමෙන්ම බෝග නිෂ්පාදනය උදෙසා පුනර්ජනනීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට  හා සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා හැකියාව උදාකෙරේ.

පාරිසරික ගොවිතැනෙහි නිරතවන ගොවීන් ස්වාභාවික තත්ත්වයන් යටතේ සාරවත් පසක් ගොඩනගා ගැනීම උදෙසා සුදුසු පෝෂ්‍ය පදාර්ථ භාවිතා කිරීමෙන්, පසෙහි ව්‍යුහය වැඩිදියුණු කිරීමෙන් සහ ජලය ඵලදායී ලෙස කළමනාකරණය කිරීමෙන් ඔවුන් එය වඩාත් යහපත් කිරීමටත්, පාංශු ඛාදනයවීමේ අවදානම අවම කිරීමටත් උත්සාහ කරයි. මෙම සියලුම ක්‍රියාදාම මගින් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පාරිසරික ගොවිතැනට ප්‍රබල භූමිකාවක් ඉටු කළ හැකි බව විද්‍යාත්මක අධ්‍යයනයන් ගණනාවකින් තහවුරු කරගෙන තිබේ.

පාරම්පරික ගොවිතැන් ක්‍රම හා නවීන කෘෂිකාර්මික තාක්‍ෂණය යොදා ගනිමින් සෞඛ්‍යයට හා උසස් තත්ත්වයේ ආහාර බෝග නිෂ්පාදනය කරගැනීමේදී පරිසරයට හානියක් සිදු නොවේ. මේ උදෙසා නාමික වශයෙන් වඩාත් ජනප්‍රිය ක්‍රම කිහිපයකි. බොහෝ පාරිසරික ගොවිතැන් ක්‍රම මගින් එකම ගොවි බිම්වල බෝග විවිධාංගීකරණය යටතේ විවිධ බෝග වගා කිරීම සඳහා යොදා ගනියි. සෑම ශාක විශේෂයක්ම පසෙන් විවිධ පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර පසට ඇතැම් ද්‍රව්‍ය නිකුත් කරයි. මෙම ක්‍රමය රසායනික පොහොර භාවිතා නොකර පසෙහි සාරවත් බව ප්‍රවර්ධනය කිරීමට හේතුකාරකවේ.

මීට අමතරව, විවිධ බෝග වගා කිරීමෙන් ජෛව විවිධත්වය උත්තේජනය කරන කෘමී සතුන් හා ක්ෂුද්‍ර ජීවීන් ආකර්ෂණය කරයි. කුඩා ප්‍රමාණයේ ගොවිපලවල්හි බර යන්ත්‍රෝපකරණ නොමැතිව බෝග වගාවන් නඩත්තු කිරීමට කුඩා යන්ත්‍රෝපකරණ හා අත් උපකරණ වඩා පහසු යොදැගත හැකි බැවින් පාරිසරික ගොවිතැන සඳහා වඩාත් පහසුවෙන් ඉක්මනින් යොමුවිය හැකිය. එමෙන්ම කුඩා ගොවිපලවල්වලදී බෝග මාරුව වඩාත් ඵලදායී වේ. මෙම ක්‍රමය මගින් ජෛව විවිධත්වය තවදුරටත් ඉහළ නංවාගත හැකිවේ.

කාබනික වගාවේ ජාත්‍යන්තර භාවිතය

මෙරට බොහෝ දේශපාලනික හා අන්තර් ජාතික ස්වේච්ඡා සංවිධානයන්හි දේශීය  තැරුව්කරුවන් කාබනික වගාවට ගොවි ප්‍රජාව යොමුවීම වැලැක්විමට කටයුතු කළද ලෝකයේ වෙනත් රටවල් එහි වටිනාකම අත්විඳිමින් සිටිති. උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාව හෙක්ටයාර් මිලියන 29 කට අධිකව පාරිසරික ගොවිතැන යටතේ කාබනික පොහොර භාවිතාකර බෝග වගා කරන බව වාර්තා කරයි. ආර්ජන්ටිනාව ඒ සඳහා හෙක්ටයාර මිලියන 7.6 ක් යොමුකර ගෙන ඇත.  චීනය පාරිසරික ගොවිතැන සඳහා හෙක්ටයාර මිලියන 5.6 කට වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇති අතර ආහාර සුරක්ෂිතතාව, කාබනික බෝග අපනයන හා රැකියා නියුක්තිය සඳහා ඒ ඔස්සේ වැදගත් ප්‍රතිලාභ මේවනවිට අත්පත්කරගෙන තිබේ. එක්සත් ජනපදය හෙක්ටයාර මිලියන 4 ක් පමණ කාබනික වගා කටයුතු මත ගොවිතැනේ පිරිවැය අඩු කිරීමට සහ ගොවි නිෂ්පාදන ඉහළ නැංවීමට බලාපොරොත්තුවෙයි. පාරිසරික ගොවිතැන උදෙසා නතු කළ හෙක්ටයාර් මිලියන 2.6 ක් ඉතාලිය සතුව ඇති අතර මෙම ගොවිතැන් ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතාලි රජය විසින් ගොවීන්ට මූල්‍ය ආධාර සැපයීමට ද කටයුතු කරයි. ජර්මනිය හෙක්ටයාර් මිලියන 2 ක් පමණ කාබනික පොහොර යොදා ගනිමින් බෝග වගා කරයි. ඒ උදෙසා තමන්ගේම ප්‍රමිතීන් වර්ධනය කර ගෙන ඇති අතර එය යුරෝපා සංගමයේ ස්ථාපිත ප්‍රමිතීන්ට වඩා බෙහෙවින් ධනාත්මක බව වාර්තාවේ. උරුගුවේ සහ එක්සත් රාජධානියේ හෙක්ටයාර් මිලියන 1.5 කට අධිකව පාරිසරික කෘෂිකර්මාන්තයට අනුගතවෙමින් කාබනික පොහොර භාවිතා කරමින් ගොවිතැනෙහි නිරතව සිටිති. එමෙන්ම මේවන විට ලෝකයේ විශාලතම කාබනික ආහාර වෙළඳපොල විභවයන් පවතින රටවල් ලෙස එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, ජපානය ඩෙන්මාර්කය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව හා චීනය පෙරමග ගෙන ඇත.  එබැවින් කාබනික ගොවිතැන ඔස්සේ පාරිසරික කෘෂිකර්මාන්තයකට අවතීර්ණවීම අප රටට නුසුදුසු වන්නේ කෙසේද?

අනාගත ගැළවුම්කරු පාරිසරික ගොවිතැනද ?

කෙසේ වුවද දේශගුණික විපර්යාස, පාරිසරික අසමතුලිතතා සහ ජාතියට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් උදෙසා පාරිසරික ගොවිතැන Ecological Agriculture දැන් දැන් මෙරට ජනතාවට ද ආමන්ත්‍රණය කරන බව පැහැදිලිවේ. මෙහිදී විවිධ පාරිසරික අර්බුදයන් යටතේ වුවද කාබනික ගොවිතැන ඔස්සේ කුඩා හා මධ්‍යම පරිමාණ ගොවි ඉඩම් ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්තිමය තීරණය දිරිගැන්වීම් උදෙසා පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ අව්‍යාජ ආයෝජන දායකත්වය අවශ්‍යම වේ.  

හුදෙක් එය කොම්පෝස්ට් නිෂ්පාදනය හෝ බෙදාහැරීම පමණක් නොවිය යුතුය. ඒ ඔස්සේ රෝග හා පළිබෝධ පාලනය උදෙසා ජෛව උපක්‍රම උපයෝගීකර ගැනීම, ග්‍රාමීය ආර්ථිකයන් පුනර්ජීවනය කිරීම සහ බෝග නිෂ්පාදන අලෙවි ජාලය පාලනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුවේ. ඒ අනුව අපට ජාතිය පෝෂණය කිරීමට සහ අනාගත පරම්පරාවන්ට ස්වාභාවික සම්පත් රැකදීමට අවශ්‍ය තරම් කටයුතු කළ හැකිවේ. මේ උදෙසා දැනටමත් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළව කටයුතු කරන නිළධාරීන් තුළ පාරිසරික ගොවිතැන හා කාබනික වගාව ගැන අභිප්‍රේරණයක් ඇති කළ යුතුවේ. දෙවනුව, දැනට රජයේ හා අර්ධ රාජ්‍ය ආයතන යටතේ ක්‍රියාත්මකවන සියලුම කෘෂිකාර්මික වෘත්තීය පුහුණු පාඨමාලා Vocational Agricultural Training Courses සඳහා පාරිසරික කෘෂිකර්මාන්තය පිළිබඳව විෂයානුබද්ධ කරුණු කඩිනමින් ඇතුළත් කිරීමට ක්‍රියා කළ යුතුවේ. තෙවනුව, ගොවිතැනට යොමුවන පිරිස දැනුවත් කිරීමට අවශ්‍ය වෘත්තීය නිපුණතාවයෙන් හෙබි e-කෘෂිකර්ම ව්‍යාප්ති හා සන්නිවේදන ක්ෂේත්‍ර බලකායක් සහ ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුවේය යන්න අපගේ හැඟීමයි. 

මෙම කරුණු කාරණා කෙසේ වුවද මෙරට ජනතාව තිරසාරව පෝෂණය කිරීමට වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන් උදෙසා ආහාර නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය පාරිසරික සම්පත් ආරක්ෂා කිරීම අවශ්‍ය වේ. රට තුළින් විද්‍යමානවන සාක්ෂි වලින් පෙනී යන්නේ විවිධාංගීකරණය වූ කාබනික ගොවිතැන් කලාවක් හෙවත් පාරිසරික ගොවිතැනක් උදෙසා යොමුවීමේ වැදගත්කමයි.

දේශගුණික විපර්යාස, පාංශු ඛාදනය, ජල හිඟය සහ ජෛව විවිධත්වය පිරිහීම වැනි අපගේ අනාගත සුරක්ෂිතතාවයට තර්ජනයක් වන පාරිසරික අභියෝගයන්ට වඩාත් ඵලදායී ප්‍රතිචාරයකි එය. එමෙන්ම සෞඛ්‍යාරක්ෂක ආහාර සඳහා ජෛවපද්ධති පදනම් කරගත් ප්‍රවේශයක් ලෙසින්ද පාරිසරික ගොවිතැන යහපත් සමාජ සංවර්ධනයකට මග පාදනු ඇත. මේ උදෙසා රාජ්‍ය ආයතන හෝ නිලධාරීන් සක්‍රිය ලෙස දායකත්වයක් දැක්වීමට මැළිවන්නේනම්, කළයුතු වන්නේ ගොවිතැන සදහා ඇති සියලුම ආයතන විසුරුවා හැර කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පිහිටුවා ඇති හමුදා සේනාංකයකට එකී සම්පත් පවරා දීම පමණි.

කෙටියෙන් පවසන්නේනම් එක්කෝ රජයේ නිලධාරීන් ගොවි ජනතාව සමඟින් ගොවි හමුදාවක් ලෙස එක්සත්ව කටයුතු කළ යුතුය. නැතිනම් ත්‍රිවිධ හමුදාවේ එක් සේනාංකය බැගින් ගෙන සංයුක්ත ගොවි හමුදාවක් Compound Military Farm Brigade  ලෙසට සක්‍රීය කර කෘෂිකර්මාන්තය ගොඩනැගිය යුතුවේ.

එම්.එම්. පාලිත මහින්ද මුණසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *