කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රථම වතාවට ස්ථාපිත කෙරෙන දත්ත ගබඩාවට දිවයින පුරා කෘෂිකර්මයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ටත් කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීණ්ටත් ටැබ් පරිගණක 10,000 ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂි රක්ෂණ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂි රක්ෂණ මණ්ඩලය යටතේ ඇති ආයතන දායකත්වය ලබා දී ඇත.
මෙම දත්ත පද්ධතිය සකස් කිරීමෙන් පසු කෘෂිකර්ම සත්ත්ව නිෂ්පාදන හා ආර්ථික මධ්‍යස්ථාන යන ක්ෂේත්‍රයන්හි සිදුවන දූෂණ, වංචා, හොරකම හා නාස්තිය වැලකෙන බවත් එමගින් වාර්ෂිකව රුපියල් මිලියන පන්සියයක් පමණ ඉතිරි කර ගත හැකි බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
එළඹෙන දෙසැම්බර් මාසය වනවිට මෙම දත්ත පද්ධතියේ 50%ක කටයුතු නිම කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම දත්ත පද්ධතිය ක්‍රියාවට නැංවීමෙන් පසු දිවයිනේ කෘෂිකර්ම සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඒ මොහොතේ පවතින තොරතුරු ක්ෂණිකව අනාවරණය කර ගත හැකි බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම වැඩපිළිවෙලට කෘ.ප.නි.ස නිලධාරීන් හා අදාළ සියලු නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද සුදානම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.