පොස්පේට් පොහොර බෙදා හැරිමේ ‘නිල බලය රජයේ පොහොර සමාගම් දෙකට

පොස්පේට් පොහොර බෙදා හැරිමේ නිල ඒජන්තවරු ලෙස රාජ්‍ය පොහොර සමාගම් දෙක යොදා ගෙන ගොවි ජනතාවට සාධාරණ මිළකට පොහොර ලබාදිමේ වැඩසටහනක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොස්පේට් පොහොර නිෂ්පාදන සමාගමේ කළමනාකාරිත්වයට අද (07) උපදෙස් දුන්නේය.

පොස්පේට් සමාගමේ ප්‍රගති සමාලෝචනය සදහා පැවැති සාකච්ජාවකදි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන් අතර අලුත් ක්‍රමෝපායන් අනුගමනය කරමින් සමාගමේ ආදායම වැඩිකර ගැනීමට අවධානය යොමු කල යුතු බවද අමාත්‍යවරයා කීවේය.

දැනට අක්‍රීයව ඇති වාරියපොල පොහොර බෙදාහැරිමේ ආයතනයේ සේවකයින් ප්‍රධාන පොහොර නිෂ්පාදනාගාරයට අනුයුක්ත කර එහි කටයුතු කාර්යක්ෂමව පවත්වා ගැනීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සහභාගි වු පොස්පේට් පොහොර  නිෂ්පාදන සමාගමේ සභාපති සූජීව ඉන්ද්‍රජිත් කරුණාසේන මහතා පෙන්වා දුන්නේ මේ වන විට සිය නිෂ්පාදනය මාසිකව දෙගුණයක් දක්වා වැඩිකර ගෙන ඇති  බවය.ඉදිරියේදී රාජ්‍ය ප්‍රතිපත්තියට අනුව කාබනික පොස්පේට් නිෂ්පාදනය සදහා මේ වන විටත් අවශ්‍ය මූලික සැලසුම් සකස් කරමින් සිටින බවද සභාපතිවරයා සදහන් කළේය.

මෙම සාකච්ජාවට පොස්පේට් පොහොර  නිෂ්පාදන සමාගමේ සාමාන්‍යාධිකාරී ඇතුළු ඉහළපෙළේ නිලධාරින් පිරිසක් හා වෘත්තීය සමිති නියෝජිතින් ද සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *