පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්කවල අතරමැදි වී තොග ගබඩා වටලයි

නීති විරෝධි ගබඩාවල වී කිලෝ ලක්ෂ 15 1/2කටත් සීල්

බියර් සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් වශයෙන් සැපයීමේ අරමුණින් අම්පාර දිස්ත්‍රික්කයේ ගබඩා කර තිබූ සහල් කිලෝ ලක්ෂ 3.5ක ප්‍රමාණයක් සොයා ගැනීමට පාරිභෝගික සේවා අධිකාරිය සමත් වූ බව එහි විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා පැවසීය.

පොළොන්නරුව, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්වල පිහිටි, ලියාපදිංචි නොකළ වී ගබඩා පරීක්ෂා කිරීමට ඊයේ (26) කළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බව ද ඔහු සදහන් කළේය.

බියර් කර්මාන්තය සඳහා යෙදවීමට ගබඩා කර තිබූ මේ සහල් තොගයට මුද්‍රා තැබීමට අධිකාරිය පියවර ගෙන තිබේ

නීති විරෝධී ලෙස වී තොග රැස් කළ ගබඩාවකට පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් සීල් තබන අයුරු

මේ මෙහෙයුමට අනුව පෙරේදා (25) කළ වැටලීම්වලදී නීති විරෝධී ලෙස වී කිලෝ ලක්ෂ 40ක් පමණ ගබඩා කර තිබූ ස්ථානවලට මුද්‍රා තැබීමට ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් පියවර ගෙන ඇත.‍

මේ පිළිබඳ අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර මහතා මෙසේ පැවසුවේය, ‘‘2021 ජූනි මස 11 දිනැති අංක 2231/23 දරන අතිවිශේෂ ගැසට්පත්‍රය මඟින් දැනුම් දී ඇති පරිදි ලියාපදිංචි නොවූ වී ගබඩා සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සොයා බැලීම් කරනවා. මේ සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු දිවයින පුරා ක්‍රියාත්මකයි. අතරමැදියන් විසින් ව්‍යාපාරික හෝ පෞද්ගලික අවශ්‍යතාව ඉක්මවා වී තොග රැස් කර තිබෙන ගබඩා මුද්‍රා තබා තැබීමට කටයුතු කර ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නවා‘‘

මෙහෙයුම් කටයුතු අධීක්ෂණය සඳහා පාරිභෝගික කටයුතු පිළබඳ අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක, විධායක අධ්‍යක්ෂ සාලිය සරත් කුමාර යන මහත්වරු සහ ප්‍රධාන කාර්යාලයේ, ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙක් ද පොළොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් සමඟ විමර්ශන කටයුතු සඳහා සහභාගි වූහ.

ඉහත ඡායාරූපය සහ අන්තර්ගතය අතර සම්බන්ධයක් නැත – සංස්කාරක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *