රසායනික පොහොර ගැන ‘කෘෂිකර්ම ඇමැති සහ සෞඛ්‍ය ඇමැතිනිය’ හෙළි කළ රහස්

කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ දේශපාලනීකරණය නොකර ඒ ජනහිතකාමී වැඩපිළිවෙළට සහාය දෙන්නැයි තමා විපක්ෂයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෘෂිකර්ම ඇමතිවරයා මෙම ඉල්ලීම කළේ අද (08) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ සභාවේ කටයුතු ආරම්භයේදී අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක් කරමිනි .

මෙහිදී කාබනික ගොවිතැනට රට යොමු කිරීමට රජය ගෙන ඇති පියවර ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ රටේ කිසිදු පොහොර හිඟයක් නැති බවත් සමහර කූට වෙළඳුන් පොහොර සඟවාගෙන සිටින බවත්ය.

“දැනටත් මෙට්‍රික්ටොන් 40,000ක් තියෙනවා. මේ තීන්දුවත් එක්ක පොහොර හැංගුවා. වැඩි මිලට විකුණුවා. එළවළු සඳහා පොහොර දෙන්නේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන්,”යැයි අමාත්‍යවරයා පැවසුවේය.

ගොවිජනතාවට අවශ්‍ය තරම් පොහොර ගබඩාවල තිබෙන බව කී අමාත්‍යවරයා ඊළඟ මහ කන්නයට අවශ්‍ය පොහොර ගොවි ජනතාවට ලබාදෙන බවත් ඒ ගැන ඔවුන් බිය නොවිය යුතු බවත් කීවේය.

රටේ රසායනික පොහොර භාවිතය සියයට 300කින් වැඩි වී ඇතත් පොහොර භාවිතය වැඩිවීමට සාපේක්ෂව අස්වැන්න වැඩිවී නැති බවත් රසායනික පොහොර අවභාවිත වන තත්ත්වයක් දැකගත හැකි බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.

මේ අතර රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා වාර්ෂිකව පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට 239,000ක් මෙරටින් බිහිවන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙළි කළාය.

අද (08) පාර්ලිමේන්තුවේ පැවැති රටේ වත්මන් තත්වය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයේ දී මේ බව ප්‍රකාශ කළ අමාත්‍යවරිය වැඩි දුරටත් මෙසේ ද පැවසුවාය.

‘‘රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 75,000ක් සහ වකුඩගු රෝගීන් 164,000ක් පමණ වාර්තා වෙනවා. මේ පිරිසෙන් වකුගඩු රෝගීන් වසරකදී 6000ක් සහ පිළිකා රෝගීන් දිනකට 54 දෙනෙකුද මියයනවා. එපමණක් නොවෙයි වාර්ෂිකව පිළිකා රෝගීන්ගේ 30,000ක පමණ වර්ධනයක් වාර්තා වෙනවා. මේ පිළිකා සහ වකුගඩු රෝගවලට හේතුව රසායනික පොහොර සහ විස කෘෂි රසායන ද්‍රව්‍ය බව වෛද්‍ය විශේෂඥයන් සනාථ කර තිබෙනවා‘‘ යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *