ඊයේ රාත්‍රී 12 සිට ලොකු ලූණු ආනයනය කරනවා නම් ඒ සදහා රුපියල් 40ක බද්දක් පැනවෙන බවත්, දේශීය ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණෙන් රජය මෙම තීන්දුව ගත් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මුදල් අමාත්‍යවරයාට මෙම යෝජනාව ඉදිරිපත් කරමින් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත් බවද, මෙරට ලොකු ලූණු ජාතික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 2,90,000ක් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේය.
මේ වන විට ගොවීන් ලොකු ලූණු ගලවන බවද මෙම මාස දෙකේ ලොකු ලූණු මෙට්‍රික් ටොන් 60,000ක් වෙළදපොළට එන බව ද මෙවැනි අවස්ථාවක ලොකු ලූණු ආනයනයට පියවර ගතහොත් එය දේශීය ගොවියාට ගැටලුවක් වන බව සලකා මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කීවේය.
ඉදිරි මාස දෙකෙහි දේශීය ලොකු ලූණු ගොවීන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බවද, ඔවුන්ගේ නිෂ්පාදන සදහා හොද මිලක් හිමිවන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.