විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට විවෘතයි

අද (24) සහ හෙට (25) යන දෙදින තුළ දිවයිනේ සියලුම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේ තොග වෙළෙඳාම සඳහා පමණක් මෙම දින දෙක තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි.

ගොවීන්ට සිය අස්වැන්න අද සහ හෙට යන දෙදින තුළ ආර්ථික මධයස්ථාන වෙත රැගෙන ඒමට හැකියාව පවතින බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේය.

මේ අතර කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කර ඇත්තේ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳුන් සඳහා අද (24) දිනයේ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවයි.

‘‘ජංගම වෙළෙදාම සදහා අවසර ලබා දුන්නත් කිසිම ජංගම වෙළෙන්දෙකුට මාර්ග අසල තබාගෙන වෙළෙඳාම් කිරීමට අවසර හිමිවන්නේ නැහැ. තමන්ට නියමිත ප්‍රදේශයෙන් බැහැරව වෙළෙඳාම් කටයුතුවල යෙදෙනෙ වෙළෙඳුන් සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන අතර ම වැඩි මිලට සහ අඩු බරට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් වැටලීම සඳහා පියවර ගෙන තිබෙනවා‘ යැයි කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේය

මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (24) දින අලුයම හතරට විවෘත කිරීම්ත් සමග අති විශාල ගොවීන් පිරිසක් තම අස්වනු අලෙවි කිරීම් සඳහා රැගෙන තිබුණු අතර එළවළු මිලදී ගැනීම සඳහා ද දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විශාල ව්‍යාපාරිකයන් පිරිසක් පැමිණ සිටින බව අප දඹුල්ල වාර්තාකරු සදහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙනදාට වඩා සියයට 40 කින් පමණ මිල පහත් වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ සඳහන් කළහ.

උඩරට ප්‍රදේශය වලින් ලැබෙන කැරට්, බීට් ,මාළු මිරිස් ,ආදී එළවළු කිලෝ එක්ක තොග මිල රුපියල් 90 සිට 180 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි වන බවත් පහත රට එළවලු වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල් ,වට්ටක්කා ,දඹල, බණ්ඩක්කා, වැටකොලු ආදී එළවළු වර්ග කිලෝ එකක තොග මිල රුපියල් 50 -110 දක්වා වූ විවිධ මිල පරාසයක් යටතේ තොග මිල යකට අලෙවි වන බවද ව්‍යාපාරිකයෝ සදහන් කළහ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට වසා දමන ලෙස බොහෝ පිරිසක් යෝජනා කළ ද ගොවීන්ගේ නිෂ්පාදන පිළිබඳව නිසි අවබෝධයකින් තොරව එවැනි ප්‍රකාශ කළ බවත් එම ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *