Dabulla Market : යාපනේ මිදී වලට ඉහළ ඉල්ලුමක් : එළවළු මිලත් පහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 06 දින අලුයම හතරට විවෘත කිරීමත් සමග එළවළු ලැබීම අලෙවි වීම සහ මිල විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ පවසති.

පෙරදින එළවළු තොග විශාල වශයෙන් ලැබීමත් සමග දිවයිනේ නන් දෙසින් පැමිණි වෙළෙන්දන් එම එළවළු තොග රැගෙන යෑමත් සමග මෙදින ලැබෙන එළවළු සඳහා මිල පහත ගොස් ඇති බව ඔවුහු පවසති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පෙරදා අලෙවි වූ එළවළු තොග  මිලට සාපේක්ෂව 40%කින් පමණ අඩු වීමක් දක්නට තිබේ. කෙසේ වෙතත් ආර්ථික මධ්‍යස්ථානය තුළ පලතුරු වර්ග වැඩි වශයෙන් මෙදින ලැබී තිබීම විශේෂත්වයකි.

කෙසෙල් සහ මිදි ඒ අතර වෙයි. යාපනය අර්ධද්වීපයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් මෙදින මිදි තොග ලැබී තිබීම විශේෂත්වයක් වන අතර හොඳ තත්වයේ පවතින මිදි කිලෝවක් රුපියල් 300ක මිලකට අලෙවි වෙද්දී මධ්‍යම ප්‍රමාණයේ මිදී කිලෝවක තොග මිල වූයේ රුපියල් 200ක් බව වෙළෙන්දෝ පවසති.

පිටස්තර දේශවලින් පැමිණි වෙළෙන්දන් යාපනයේ මිදී  මිලදී ගැනීම සඳහා වැඩි උනන්දුවක් දක්වමින් ඇති බවත්  කිලෝව රුපියල් 200 බැගින් බොහෝ වෙළඳුන් යාපනයෙන් මිදි රැගෙන යන අයුරු ද දඹුල්ලේ දී දැක ගැනීමට හැකිවිය.

එළවළු මිල මෙන්ම පලතුරු බොහොමයක මිල ද මෙදින පහත වැටි තිබුණු අතර වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවීම ඊට හේතුව බව වෙළෙන්දෝ කියති.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *