“ශ්‍රීලංකාආයෝජනසංසදය–2021” දෙවනදිනසමාරම්භකඋත්සවයේදීඅග්‍රාමාත්‍යමහින්දරාජපක්ෂමහතාවිසින්සිදුකළ කතාව
නව පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළඟ අවුරුදු පහක් තුළදී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ශනය කර ගැනීමටත් අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව, අද වන විටත්, නව පනතක් තුළින් අප ස්ථාපනය කර තිබෙනවා. ඒ හරහා කොවිඩ් වසංගත මධ්‍යයේ වුවද, අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරවීමට අපට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා‘‘ යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) “ශ්‍රී ලංකා ආයෝජන සංසදය -2021” දෙවන දින සමාරම්භක උත්සවයේදී කළ දේශනයේදීය. එම සම්පූර්ණ කතාන පහත පළ වේ.
ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් වෙළඳපොළ සහ ලංකා වාණිජ මණ්ඩලය යන ආයතන එකමුතුව සංවිධානය කර ඇති, අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන මෙම සංසදයට සහභාගී විමට ලැබීම අපට සතුටකි. එය ඉතා කාලෝචිත පියවරක් වශයෙන්ද අපි දකිනවා.
2006 සිට 2014 දක්වා වසර 9ක කාලය තුළදී අප රට සංවර්ධනය වු වේගය පිළිබඳව ඔබතුමන්ලා හොඳින් දන්නවා.
ඒ කාලයේදී විවිධ අභියෝග මධ්‍යයේ වුවත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 79 දක්වා ඉතා ශීඝ්‍රයෙන් වැඩි කර ගන්නට අපට හැකි වුණා.
එහෙත්, ඊට පසු 2015 සිට 2019 වසර 5 තුළදී, අප රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වුයේ ඇමරිකානු ඩොලර් බිලියන 82 දක්වා පමණයි. ඒ නිසා, අප රටේ ආර්ථික ප්‍රතිලාභ වර්ධනය වීම අඩාල වුනා. අලුත් ව්‍යාපෘතීන් ආරම්භ කිරීම නතර වුනා.
2020 වසරේදී, අප නැවත රජය භාරගත් පසුව, මුළු ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්නට සිදු වුනා. රටේ ජනතාව කොවිඩ් උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 66ක් තිස්සේ මුළු රටම වසා තැබීමටත් අපට සිදු වුනා. මුළු ව්‍යාපාර ක්‍ෂේත්‍රයම දැඩි අභියෝග වලට මුහුණ දුන්නා.
ඒ බලපෑම් නිසා, මුළු ලෝකයේම සිදු වු ආකාරයට අප රටද පසු බෑමකට ලක් වෙමින්, 2020 වසරේදී, සියයට 3.6කින් ආර්ථිකය සංකෝචනය වුනා. ඒ නිසා, අප රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා අඩුවුනා. එසේ වුනත්, ජන ජීවිතය සතුටුදායක මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යාමට අප රජයට හැකි වුනා.
මිත්‍රවරුනි, රටක් හැටියට මෙම බැරෑරුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩබිමක් බවට පත් කරන්නට අපට දැන් අවශ්‍යයි. අපි දැනටමත් මාර්ග කිලෝමීටර් ලක්ෂය, “සැමට ජලය”, නව අධිවේගී මාර්ග ඉඳිකිරිම් වැනි රටපුරා ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘති හරහා ආර්ථිකමය පිබිඳීමක් ඇති කර ගෙන යනවා.
ජනතාව අතර නැවත මුදල් පරිහරණය කරවීම හරහා ව්‍යාපාරික කටයුතු ගොඩනංවනවා. ව්‍යාපාර පහසුවෙන් කර ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරගෙන යනවා. හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික කලාපය තුළින්, නව කර්මාන්ත ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දෙනවා. රට පුරා ඖෂධ ඇතුළු අලුත් කර්මාන්ත කලාප දැනටමත් ඉඳිකරනවා.
කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය කඩිනමින් දියත් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. රටේ සාර්ව ආර්ථික සාධක යහපත් මාවතකට යොමු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව, අප රට නැවත සියයට 6ක පමණ වර්ධන වේගයක් ඉක්මවා යන මාවතකට අපි දැන් යොමු වෙමින් සිටිනවා.
මිත්‍රවරුනි, ශ්‍රී ලංකාවේ වර්ධන වේගය වේගවත් කළ යුතු බව අපි හැමෝම පිළිගන්නවා. ඒ සඳහා ප්‍රාග්ධන ආයෝජන (capital investment) සැලකිය යුතු ලෙස පුළුල් කිරිම අවශ්‍යයයි. යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම සඳහා වැඩි ආයෝජනයක් අවශ්‍ය බවද අපි දන්නවා. මේ සඳහා රජයේ ප්‍රාග්ධන වියදම් වැඩසටහන් අඛණ්ඩව සිදු කිරිමට අපි බලාපොරොත්තු වනවා. ඒ අතරම, ආයෝජන ඉහළ නැංවීමේ ක්‍රියාවලියේදී රජය විශාල කාර්යභාරයක් ඉටු කිරීමටද බලාපොරොත්තු වනවා.
ඒ අනුව, 2020 නොවැම්බර මාසයේදී අප විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවසාන අයවැය තුළින්, බෝට්ටු සෑදීම, බන්ධිත ගුදම්, අක්වෙරළ ව්‍යාපාර වලට අදාළ ගුදම් සහ පුනර්–ජනනීය බලශක්තිය වැනි තෝරාගත් අංශවල ආයෝජකයින්ට නව බදු නිදහස් කිරීම්, මූල්‍ය සහ මූල්‍ය නොවන දිරිගැන්වීම් යනාදිය අප හඳුන්වා දුන්නා. ඒවා සියල්ලම ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අප දැන් කටයුතු කරගෙන යනවා.
ඒ අතරම, නව පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළඟ අවුරුදු 5 තුළදී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ශණය කර ගැනීමටත් අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව, අද වන විටත්, නව පනතක් තුළින් අප ස්ථාපනය කර තිබෙනවා. ඒ හරහා කොවිඩ් වසංගත මධ්‍යයේ වුවද, අප රටේ හැරවුම්ලක්ෂයක් සනිටුහන් කරවීමට අපට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. නව පනත යටතේ, එක කවුළුවකින් සියලුම සේවාවන් ආයෝජකයාට ලබාගැනීමට හැකිවන නිසා, අපේ බලාපොරොත්තුව වන්නේ ලෝකයේම ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට දිරිමත් කිරිමයි.
මිත්‍රවරුනි, වර්ථමානයේදී ණය ගන්නවා වෙනුවට, ණය-නොවන විදේශ විනිමය ගලා ඒම් අපි ඉලක්ක කල යුතුයි. ඒ සඳහා, විවිධ මෙවලම් සහ වැඩසටහන් අපි ක්‍රියාත්මක කල යුතුයි. මේවා අතරින්, පුද්ගලික කොටස් (Private Equity) අලෙවිය, කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත සුරැකුම්පත් (listed securities) වර්ධනය කිරීම, ණය උපකරණ (Debt instruments) කාර්යක්ෂම කිරීම, නව ව්‍යාපාර ප්‍රාග්ධනය (Venture Capital) ජනප්‍රිය කිරීම යනාදි වැඩසටහන් වලට අප මුල් තැනක් ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන්, නව ව්‍යාපාර සඳහා විදේශයන්ගෙන් කෙරෙන ආයෝජන සඳහා පසුබිම අපි දැනටමත් සකස් කරමින් සිටිනවා.
මේ අතර, වසංගතය මධ්‍යයේ වුවද කොළඹ කොටස් වෙළඳපොළේ මෑතකාලීන ක්‍රියාකාරීත්වය ගැන සතුටුවිය හැකියි.
මිත්‍රවරුනි, පුද්ගලික අංශයේ ආයෝජකයින්ට උනන්දුවක් දැක්විය හැකි නිශ්චිත ආයෝජන අවස්ථා ගණනාවක් ගැන මා දැනටමත් විස්තර කලා. ඒවායින් බොහොමයක් මෙම ආයෝජන සමුළුව තුළ ඉස්මතු කෙරෙන බවත් මට පෙනෙනවා. මෙම සංසදයට සහභාගී වන අදාළ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන අතර සම්බන්ධයක් ඇති ආයෝජන අවස්ථා කඩිනමින් සිදු කරවීමට ඔබ සියලු දෙනාටම අවස්ථා උදාවනු ඇතැයිද අප විශ්වාස කරනවා.