මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා පෞද්ගලික සමාගම් 05කට කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමටත්, ඔවුන්ට කිරි ගව පට්ටි පවත්වාගෙන යෑම සඳහා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු බිම් අක්කර 2771ක් ලබා දීමටත් ඊයේ (06 ) රැස් වූ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
තවද රජයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත්, පශු සම්පත් මණ්ඩලයටත් අයිති දැනට වගා නොකරන මුඩු ඉඩම් වශයෙන් පවතින අක්කර 2771ක් බිලියන 08ක ආයෝජනයක් සඳහා ඊයේ (06) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව කෘෂිකර්ම අමාත්‍යවරයා සදහන් කළේය.
සතුන් 4200 රටට ආනයනය කර එය රටේ ජාතික කිරි නිෂ්පාදනයට දායක කරගැනීමට බලාපොරොත්තු වන බවද වසරකට කිරි ලීටර් මිලියන 22ක් මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකාවේ ජාතික කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 722ක් බවද, දේශීය වශයෙන් නිෂ්පාදනය කරනුයේ ඉන් කිරි ලීටර් මිලියන 422ක් බවද, එනම් 40%ක ප්මාරණයක් වන අතර 60%ක් කිරි පිටි මෙරටට ආනයනය සිදුකරන බවද අමාත්‍යවරයා කීවේය.
ශ්‍රී ලංකාවට දිනකට ඇමරිකානු ඩොලර් මිලියනයක කිරිපිටි ආනයනය කරන බවත්, වසරකට කිරිපිටි ආනයනය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 365ක් වැයවන බවත් සඳහන් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනාධිපතිතුමා විසින් සෞභාග්‍යයේ දැක්මෙහි යැපුම් ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයකට යා යුතු බව පැහැදිලිව සදහන්ව ඇතැයිද කෘෂිකර්ම අමාත්‍යංශය වශයෙන් එක් පැත්තකින් රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ල නිෂ්පාදනය කිරීමේ 2025 වැඩපිළිවෙළ සිදුකරගෙන යන බවයි.
එහි පියවරක් වශයෙන් දැනට ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරි පිටි වෙනුවට මෙම රටේ කිරි නිෂ්පාදනය කිරීම සඳහා අදාළ පෞද්ගලික සමාගම් වලට අවස්ථාව ලබාදී ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
දැනට ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත්, පශු සම්පත් අමාත්‍යංශයටත් අයිති භාවිතයට නොගන්නා මුඩු ඉඩම් හදුනාගනිමින් මෙලෙස ඉඩම් ලබාදීම සිදුකර ඇති බව ඔහු කියා සිටියේය.
සතුන් 10,000ක් සිටින ගව ගාලකට එක දිනකට ටොන් 45ක තණකොළ අවශ්‍ය බවද, මෙතෙක් කල් මෙරට කිරි නිෂ්පාදනය අඩු වීමට මූලික හේතුව වූයේ සතුන්ට අවශ්‍ය කෑම නොමැතිකම බැවින් සතුන් ආනයනය කරනවා සේම සතුන්ට අවශ්‍ය ආහාර ටික සකස් කරගැනීමට රජය විසින් මෙලෙස ඉඩම් ලබාදීම සිදුකළ බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.
ලෝකයේ කිසිදු රටක් කිරිපිටි පානය නොකරන බවත්, ඔවුන් සියල්ලන්ම කිරිපිටි භාවිතයෙන් ඈත්වී ඒ වෙනුවට දියර කිරි පානයට හුරුවී ඇති බවද පැවසූ කෘෂිකර්ම අමාතයවරයා, දියර කිරි පෝෂ්‍යදායී ආහාරවේලක් බව කීය.
මෙරට පමණක් තවමත් පිටිකිරි භාවිතය සිදුවන බවද ඒ නිසා රට දියර කිරි වලින් ස්වයංපෝෂිත කිරීම රජයේ අරමුණ බවද කී කෘෂිකර්ම අමාත්‍යවරයා එහි පළමු අදියර වශයෙන් රජය කිසිදු ආයෝජනයක් සිදු නොකර පෞද්ගලික අංශයෙන් 100%ක්, එනම් රුපියල් මිලියන 8275ක් වියදම් කරන පරිදි වැඩසටහනට මුලපිරූ බව ද කියා සිටියේය.
මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා විදේශීය ආයෝජකයෙක් සහ දේශීය ආයෝජකයන් 04 දෙනෙකු සිටින බවද, මෙම සියලු දෙනාම එකතුවී සතුන් 4200 ආනයනය කර වසර 05ක් ඇතුළත සතුන් ප්‍රමාණය 25,000 දක්වා වැඩි කරගැනීමට අපේක්ෂිත බවද ඒ සදහා පසුගිය 06 වැනිදා කැබිනට් අනුමැතිය හිමිවුණු බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩි දුරටත් පැවසුවේය.