“කෘෂි නිෂ්පාදන අංශයේ ගැනුම්කරුවෙකු වෙත ළඟා වීමේ කලාව” පිළිබඳ වෙබිනාර් සාකච්ඡාව
යුරෝපා සංගම් වෙලඳපොළේ නිවැරදි ගැනුම්කරු සමඟ සම්බන්ධ විය හැකි හොඳම ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘෂි නිෂ්පාදන අපනයන කරුවන් දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන වෙබිනාර් සාකච්ඡාවක් වන, “කෘෂි නිෂ්පාදන අංශයේ ගැනුම්කරුවෙකු වෙත ළඟා වීමේ කලාව”පසුගිය අගෝස්තු 31 වැනි දින සහභාගීවන්නන් 180 කට අධික සංඛ්‍යාවක් සමඟ පැවැත්විණි.
කාබනික කෘෂි නිෂ්පාදන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් යුරෝපා සංගම් වෙළෙඳපොළ හොඳින් අවබෝධ කර ගැනීම සඳහා අපනයනකරුවන්ට සහාය වීම පිණිස ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, බර්ලින් හි ආනයන ප්‍රවර්ධන අංශය සහ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරන ලද ඉතා සාර්ථක වෙබිනාර් මාලාවේ තෙවැන්න මෙය වේ.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා පිළිගැනීමේ කතාව පවත්වමින්, සම්බන්ධ වීම අතථ්‍ය ලෝකයක් සඳහා සීමා කොට ඇති කොවිඩ්-19 හි වර්තමාන සන්දර්භය තුළ ගැනුම්කරුවන් වෙත ළඟා වීමේදී වෘත්තීයමය ප්‍රවේශයක ඇති වැදගත්කම පිළිබඳව ඉස්මතු කළේය.
වෙළඳපළ බුද්ධිය පිළිබඳ ප්‍රවීණ විශේෂඥ ගුස්ටාවෝ ෆෙරෝ මහතා ඉහළ අන්තර්ක්‍රියාකාරී සංසදය සඳහා සත්කාරකත්වය සපයනු ලද අතර, ජාත්‍යන්තර වෙළෙඳ උපදේශක වැනෙසා කුත් මහත්මිය සමඟ එක්ව තිරසාර ව්‍යාපාරික සබඳතා සඳහා ‘නිවැරදි ගැනුම්කරු’ හඳුනා ගැනීමේ උපාය මාර්ග හා ප්‍රවේශයන් පිළිබඳව සිය ප්‍රවීණතාව බෙදාහදා ගත් අතර, යුරෝපීය ගැනුම්කරුවන් සමඟ යහපත් ව්‍යාපාරික හවුල් ව්‍යාපාරයකට එළඹීමේදී තීරණාත්මක උපාය මාර්ගික සන්නිවේදනයේ වැදගත්කම පිළිබඳව විස්තර කළහ.
මෙම විශේෂඥයින් දෙදෙනා යුරෝපීය වෙළෙඳපොළ ප්‍රවේශ ස්ථාන, තොග/ආනයනකරුවන්ගේ අවශ්‍යතා, ඇසුරුම් කිරීම සහ ලේබල් කිරීම සහ සිල්ලර වෙළෙඳපොළ අවශ්‍යතා පිළිබඳ නවතම තොරතුරු හුවමාරු කර ගත්හ. මෙම සැසිය මඟින් ජර්මනියේ සහ යුරෝපයේ සාමාන්‍ය දත්ත ආරක්ෂණ රෙගුලාසි මඟින් ඇති අභියෝග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර, ඉලක්කගත සමාගම්වල නිවැරදි කේන්ද්‍රස්ථානය කරා ලඟා වීමේ දී එවැනි බාධක මඟහරවා ගත හැකි නව්‍ය විසඳුම් යෝජනා කළේය.
IPD හි සහය ඇතිව ඔහු සාර්ථකව යුරෝපීය වෙළෙඳපොළට ඇතුළු වූයේ කෙසේද යන්න සහ යුරෝපා සංගම් තුළ ගැනුම්කරුවන් සමඟ ගනුදෙනු කිරීමේ ඔහුගේ පළපුරුද්ද පිළිබඳව, විජලනය කළ කාබනික පළතුරු සහ කාබනික කුළු බඩු අපනයනය කරන ශ්‍රී ලාංකික අපනයනකරුවෙකු වන වොර්ගා නැචුරල්ස් හි සභාපති සහ නිර්මාතෘ නිශාන්ත ජයතිලක මහතා විසින් සිද්ධි අධ්‍යයනයක් ඉදිරිපත් කරන ලදී.
බර්ලින් හි ආනයන ප්‍රවර්ධන ආයතනයේ ජාත්‍යන්තර වෙළෙඳ උපදේශක ලින්ඩා මෙන්ස් මහත්මිය විසින් යුරෝපා නියෝජිත ආයතන සමඟ කරන කටයුතුවලදී මුහුණ පෑමට සිදු වන ප්‍රායෝගික ගැටලු පිළිබඳව ශ්‍රී ලාංකික කෘෂි අපනයන කරුවන්ට සිය ගැටලු ඉදිරිපත් කර ගැනීමට සහ පැහැදිලි කර ගැනීමට අවස්ථාව සලසා දුන් විශේෂඥ සංසදය සම්බන්ධීකරණය කළාය.