එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මෙම දශකය පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ දශකය ලෙස නම් කර තිබෙනවා. විශේෂයෙන් ලෝක ව්‍යාප්තව පවතින පරිසර පද්ධති ආරක්ෂා කිරීම, විනාශ කිරීම නැවැත්වීම, හා නැවත ප්‍රතිස්ථාපනය කිරීම එහි අරමුණයි. එමනිසා අප අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද සුරකිමු ගංගා වැඩසටහන මගින් එක්සත් ජාතින් විසින් දී ඇති ඉලක්ක හා නිර්දේශ අපිට ඉදිරියට ගෙන යාමට හැකි‘‘ යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (22) පරිසර අමාත්‍යාංශයේ පැවැති සූම් සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙහිදී අනිල් ජාසිංහ මහතා මෙසේ ද පැවසීය, ‘‘පරිසර අමාත්‍යාංශය විසින් සංවේදී පරිසර කලාප හඳුනා ගැනීමේ වැඩෙපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. දැනටමත් එවැනි සංවේදී පරිසර කළාප කිහිපයක් අප විසින් නම් කර තිබෙනවා. මානෑව, ගඟේවාඩිය, එළුවන්කුලම හා ගල්නෑව එම සංවේදී පරිසර කලාප හඳුනාගත් ප්‍රදේශයි. එමෙන්ම සුරකිමු ගංගා වැඩ සටහන යටතේ මැණීක් ගඟ සංරක්ෂණය මගින් එම ස්වාභාවික පරිසර පද්ධති ආරක්ෂා වෙනවා. එමෙන්ම කැළණි ගඟ සීතාවක සිට පෑලියගොඩ දක්වා ප්‍රදේශය විශේෂ පරිසර සංරක්ෂණ කලාපයක් වශයෙන් නම් කර එම කළාපය සංවර්ධනය කිරීමට පියවර ගන්නවා.
වත්මන් රජය විසින් අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ පරිසර සංරක්ෂණයට විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2021 වසර අවසන් වනවිට ගෝලීය උණුසුම ඉහළ යාම සෙල්සියස් අංශක 02කට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යාමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අප විශේෂ අවදානයක් යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකාව කියන්නේ විශාල කර්මාන්ත ශාලා ස්ථාපිත කර ඇති රටක් නොවෙයි. එම නිසා අපේ රටෙන් වායු ගෝලයට හරිතාගාර වායු විශාල වශයෙන් විමෝචනයක් සිදුවන්නේ නැහැ. නමුත් අපි ජාත්‍යන්තර වැඩපිළිවෙළට සහයෝගය දක්වමින් කටයුතු කිරීමට ගෙන ඇති තීරණයන් අගය කළ යුතුයි.
එම නිසා කුඩා රටක් වුවත් අපි එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කර තිබෙන පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩ පිළිවෙළට සුරකිමු ගංගා වැඩ සටහන යටතේ මෙන්ම සංවේදී පරිසර පද්ධති හඳුනාගැනීමේ වැඩ පිළිවෙළ යටතේත් විශාල දායකත්වයක් අපි ලබා දෙනවා. එම නිසා සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ගංගා 103 ම සංරක්ෂණය කෙරෙන බැවින් අපේ සමස්ත පරිසර පද්ධතියම ආරක්ෂා කිරීමට අවස්ථාව ලැබෙනවා‘