පරිසර අමාත්‍යංශයේ ව්‍යාපෘති අංශය මගින් ජාතික පරිසර ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කළ බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවැසීය.
මේ අනුව රජයක් හෝ අමාත්‍යවරයා වෙනස් වන විට වෙනස් නොවන ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බවත් පරිසරයේ ආරක්ෂාව උදෙසා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරනු ලබන්නේ ප්‍රථම වතාවට බවත් අනිල් ජාසිංහ මහතා කීවේය.
ආණ්ඩු මාරුවෙද්දී හා ඇමතිවරුන් මාරු වෙද්දී පවා ප්‍රතිපත්ති වෙනස්කරනු ලබන්නේ ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම හේතුවෙන් බව කී පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ප්‍රතිපත්තිය සැකසීමේ දී පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පරිසරය සඳහා උනන්දුවක් දක්වන පරිසර සංවිධාන, පරිසරවේදීන් මෙන්ම පරිසර මාධ්‍යවේදීන්ගෙන් ද, වෙනත් විද්වතුන්ගෙන්ද අදහස් යෝජනා ලබා ගන්නා බවත් ජාසිංහ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අනිල් ජාසිංහ මහතා, ‘‘මෙම වසර අවසන් වීමට ප්‍රථම ජාතික පාරිසරික ප්‍රතිපත්තිය කෙටුම්පත් කර අවසන් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව අදාළ සියලු පාර්ශ්වයන්ගේ ෙ අදහස් විමසා ජාතික ප්‍රතිපත්තිය සකස් කරනවා. මෙවැනි තත්ත්වයක් මත ජාතික පරිසර ප්‍රතිපත්තියක් සම්පාදනය කළ පසු ඊට කිසිවෙකුට විරුද්ධ විය නොහැකියි‘‘
‘‘ජාතික සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සම්පත් ලබා ගැනීමේ දී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පාරිසරික හානියක් සිදුවන බවට ඇති චෝදනාවට ද මෙම ප්‍රතිපත්තිය මගින් නිසි පිළිතුරු ලැබේවි. ඒ වගේම පරිසර පද්ධතීන්ට හානි නොවන අයුරින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත්, ඒ සඳහා අවශ්‍ය ස්වාභාවික සම්පත් ලබා ගැනීමේ දී දැනට තිබෙන සීමිත සම්පත් කළමණාකරණය කර ගනිමින් අනාගතයටත් අවශ්‍ය පරිදි සැලසුම් කිරීමත් මෙම ජාතික පරිසර ප්‍රතිපත්ති මගන් ඉටුකර ගත හැකි වේවි‘ යැයි ද පරිසර අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේය.