ශ්‍රී ලංකාව තුළ තවත් සංවේදී පරිසර පද්ධති හතරක් ‘සංවේදී පරිසර කලාප‘ වශයෙන් නම් කර ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මානෑව, ගඟේවාඩිය, එළුවන්කුළම හා ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව මෙම සංවේදී පරිසර කලාප හඳුනාගෙන ඇත.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශෙයේ ජෛව විවිධත්ව ඒකකය මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ද පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේය.
මෙරට සංවේදී පරිසර කලාප හඳුනාගැනීමේ හා ඒවා සංවේදී පරිසර පද්ධතීන් ලෙස නම් කිරීමේ වැඩපිළිවෙළක් පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙන බව ද අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
‘‘මින් පෙර හඳුනාගත් සංවේදී පරිසර කලාප නිල වශයෙන් ගැසට් කර නම් කර නොතිබීම නිසා සංවර්ධන ව්‍යාපෘති වලදී එම පද්ධතීන්ට හානි සිදුවූ අවස්ථා අපි දැක්කා. නව වැඩපිළිවෙළ යටතේ සංවේදී පරිසර කලාප හඳුනාගෙන සංරක්ෂණය කිරීමට පියවර ගන්නවා. එවිට කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ ලැබෙන්නේ නැහැ. ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසරයට සිදුවන හානි වළක්වා ගනිමින් එම සංවර්ධන ව්‍යාපෘති සැළසුම් කිරීමට පහසු කිරීම මෙම වැඩ පිළිවෙළෙහි අරමුණයි‘‘