දේශගුණික විපර්යාස සඳහා ජෛව විවිධත්ව අනුගතකිරීමේ ව්‍යාපෘතිය නම් වැඩසටහනක් හරහා පළිබෝධ මර්දනයේ නව මානයක් වෙතටද අවධානය යොමු කරන්නට ගන්නොරුව උද්‍යාන බෝග ආයතනයේ කීට විද්‍යාඥ ප්‍රභාත් නිශාන්ත මහතා පියවර ගෙන තිබේ.
කහතිත් පළඟැටියා’ නමින් හඳුන්වන, කලක සිට මෙරට පොල්ගස් ආශ්‍රිතව සිටි සතෙකුගේ ගහන ඝනත්වය හදිසියේ වැඩිවීම හේතුවෙන්, ජනතාව කලබලයට පත්වෙන අයුරු පසුගියදා දක්නට ලැබුණි. ස්වභාවිකව සිදුවෙන ජෛව පාලනයේ සමතුලිතතාවයෙන් මිදී, කහතිත් පළඟැටියා හදිසියේ බෝවූයේ මයිනන්ගේ ගහනය අඩු බැවින් යයිද ඇතැමුන් ප්‍රකාශ කරන ලදී. ඊට හේතුව ලෙස කියනු ඇසුනේ රිලවුන් වැඩිපුර බෝවීමත්, ඔවුන් විසින් මයිනන්ගේ බිත්තර අනුභව කිරීමත්ය.
නිශ්චිත පර්යේෂණාත්මක තහවුරු කිරීමක් ලැබෙනතුරු මෙවැනි අදහස් විද්‍යාත්මක ක්‍රමය තුල හැඳින්වෙන්නේ ‘කල්පිත’ යනුවෙන්ය. කෙසේ වෙතත් මෙය රසවත් කතාන්තරයක් වන අතර ඒ හරහා වැදගත් පාඩමක්ද අපට කියාදෙයි. එනම් ස්වභාවික සමතුලිතතාවය කිනම් හේතුවක් නිසා හෝ බිඳ වැටුනහොත් එහි අවසන් ප්‍රතිපල වක්‍රාකාරයෙන් අප වෙතටම පැමිණෙනා බවයි. මේ නිසා ගොවිතැන කරද්දී පවා අප පුරුදු විය යුත්තේ පරිසරයේ භාරකරු ලෙස හිතෙන දේ නොකර, කළමනාකරු ලෙස සාධාරණ දේ කිරීමටයි.
කොරෝනා වසංගතය හමුවේ රට රටවල් වසා දමද්දී, නුහුරු නුපුරුදු නිදහසක් ලැබූ වන සතුන් අධිවේගී මාර්ගයන්හි පවා හිරු රැස් නාමින් වැතිර සිටිනවා අප රූපවාහිණියෙන් දුටුවෙමු. වසා දැමූ පේරාදෙණිය උද්භිද උද්‍යානය තුලට පවා, මල්වත්තක් නොව කුරුළු සමනල උයනක් යනුවෙන් හැඳින්විය හැකි තරමට සතුන් රංචු ගැසින.
පිරිසිදු වාතය ඇති නිසා, ඝෝෂාව අඩු නිසා එළිමහනක ඇති නිදහස සොයාගෙන ඔවුන් පැමිණියේ හන්තාන, උඩවත්ත කැලේ, ගන්නොරුව ආදී යාබද කැලෑබද ප්‍රදේශ වල සිටයි. මැවූ සුන්දරත්වයේ සිතුවිලි පමණක් අප තුල ඉතිරිකර තබා මේ වන විටත් ඔවුන් ආපසු ගොසිනි. කෘතිම පරිසර දිවි පෙවතකට පුරුදු වූ අකාරුණික මිනිසා, පරිසරයේ ආධිපත්‍යය අතට ගනිමින් තමා වනසන්නට කුමන හෝ පියවරක් ගනු ඇතැයි වූ සැකය මේ අහිංසක සතුන්ට ඇතිවූවා විය හැකිය.
පරිසර මිතුරු ගොවිතැනක් කල පැරණි ගොවියා වගාව රැකගන්නට යම් අවස්ථාවක සතුන් පලවා හැරියා මෙන්ම, ගොවිතැන වෙත සතුන් කැඳවා ගන්නටද කටයුතු කල අවස්ථාද එමටවේ. පීදෙන ගොයමේ සිටින කෘමීන් අහුලා කන්නට එන කුරුල්ලන්ට ලැගුම් ගන්නට කුඹුර පුරා පොල්පිති සිටුවීම අද වුවත් වෙල් යායන්හි දැකිය හැකිය.

අතීත ගොවියා සතුන් සැක කළේ නැහැ
ගොවිතැන තම ප්‍රධාන ජීවනෝපාය වී තිබුණු අතීත ගොවි සමාජය ගැන නම් එකල සිටි සතුන් මෙතරම් සැක කෙරුවේ නැත. ගොවියා බොහෝවිට පුරුදුවී තිබුනේ තම වගාවට පැමිණෙන සතුන් වැනසීමට නොව පලවා හරිමින් වගාව රැකගැනීමටයි. ඇතැම් විටදී ඔහු කෙතරම් ආචාරශීලී වූවාද කියනවානම් තම අස්වැන්නෙන් කොටසක් කුරුල්ලන්ට කෑම සඳහා නොකපා ඉතුරු කරන්නටද වගබලාගත් අවස්ථා තිබිණ.
දැන් වුවද ඉඳහිට එවැනි අපූර්ව පුවත් වාර්තා නොවන්නේම නොවේ. ආර්ථික අස්වැන්නක් නොලැබෙන තරමට අසාර්ථකවූ කුඹුරු, ගවයින්ට හෝ වන අලින්ට කෑම සඳහා නිදහස් කල තොරතුරු කාලාතුරකින් හෝ වර්තමානයේද ඇත්තේය. පැරණි ගොවියා භාවිතා කල පඹයා, ටකය, ගොක් රැහැන්, දිය හොල්මන, ගිනිමැලය පමණක් නොව රැය පහන් වෙනතුරු ශබ්දනගා කී පැල්කවිය පවා උපකාර වූයේ වගාවට පැමිණෙන සතුන් ආපසු යැවීමට හෝ පැමිණීම වැලක්වීමට මිස ඔවුන්ගේ ජීවිතය පැහැර ගැනීමට නොවේ.
පරිසර මිතුරු ගොවිතැනක් කල පැරණි ගොවියා වගාව රැකගන්නට යම් අවස්ථාවක සතුන් පලවා හැරියා මෙන්ම, ගොවිතැන වෙත සතුන් කැඳවා ගන්නටද කටයුතු කල අවස්ථාද එමටවේ. පීදෙන ගොයමේ සිටින කෘමීන් අහුලා කන්නට එන කුරුල්ලන්ට ලැගුම් ගන්නට කුඹුර පුරා පොල්පිති සිටුවීම අද වුවත් වෙල් යායන්හි දැකිය හැකිය.

කුරුළු මිතුරු ගොවිතැන
කුරුළු පාළුව නමින් බිම් කොටසක් වගාකිරීම මේ ‘කුරුළු මිතුරු ගොවිතැනෙහි‘ උපරිම මට්ටමයි. කුරුළු කොබෙයියන් වෙසෙන වන ලැහැබට මායිම්ව තිබෙන කුඹුරු බිම් තීරුවක් යායේම ගොවීන්ගේ එකඟතාවය ඇතුව කුරුල්ලන් සඳහා වෙන්කෙරේ. යායේ යම් තැනක කුඹුර මඩ කරන්නේද, එම ගොවියා කුරුළු පාලු කොටසේද කොටසක බිම් සකසා යා යුත්තේය. වී වපුරන කෙනෙක් ඇත්නම්, හෙතෙම කුරුළු පාලු කොටසටද වැපිරීමෙන් දායක විය යුතුය. කාටවත් කුරුළු පාලු කොටසට සම්මාදම් නොවී සිටිය නොහැකි වෙන අතර එවැනි මගහැරීමක් ආචාරශීලී පැරණි ගොවියා අතින් කිසිවිටක සිදුවූයේද නැත.
මේ අනුව යාය පුරා වපුරනු ලබන හැම වී වර්ගයක්ම කුරුළු පාලුවේද තිබේ. ඒවා පූදින්නේ විවිධ වයස් වලදී නිසා කුරුල්ලන්ට කෑමට මේ කොටසේ හැමදාමත් වී කරල් ඇත. වනරොදෙන් හිමිදිරියේ පිටවෙන කුරුළු කොබෙයියෝ කුරුළු පාලු කොටසේදී උදෑසන අහර ගනිමින් කිචි බිචිය නගනවාට අමතරව ඊට වඩා රසැති අහරක් ඇත්නම් ඒ වෙතටද යති. එය ඇත්තේ වෙල්යාය පුරා පැතිරීගෙනයි.
රසැති ආහාරය වන්නේ ගොයම් ගසේ මේ වනවිට සිටිනා පනුවන් හා දළඹුවන්ය. දැන් ඉතින් කුරුළු පාළු කොටසක් වෙන්කිරීම නිසා ගොවියා ලද ලාභය ගැන තවත් විස්තර කල යුතු නොවේ. පලිබෝධනාශක නැත. සහලේ නිෂ්පාදන වියදමද ඒ නිසාම අවමය. කෙතරම් සරුවට හැදුනත්, තමාට අයිති ඉසව්වේ අස්වැන්න නෙලනවා හැරෙන්නට කුරුළු කොබෙයියන්ට අයත් කුඹුරු කොටසට අත නොතබන්නට තරම් ගොවියා ආචාරශීලී වේ. කුරුල්ලන්ට පමණක් නොව වන ලැහැබේ සිට අහර සොයා එන සිවුපා සතුන්ට පවා මුලින්ම හමුවන්නේ කුරුළු පාළුව බිම් කඩයි. ඉන් තම අවශ්‍යතාවය සපුරාගන්නා ඔවුන් හැරීයත්දී, ස්වාභාවිකවම ආරක්ෂා වන්නේ ඉන් ඔබ්බෙහි පිහිටි ගොවියාගේ කුඹුරය.

පරිසර මිතුරු ගොවිතැනක්
කෘෂි විද්වතුන් විසින්ද නව මංපෙත් සොයමින් හැකිතාක් උත්සාහ කරන්නේ පරිසර මිතුරු ගොවිතැනක් වෙතට ගොවියාව මෙහෙයවීමටයි. මෑතකදී පැමිණි කහතිත් පළඟැටි පිබිදීම හමුවේ වුවත් පළිබෝධනාශක යොදා රසායනික මර්දනයකට වුවත් කෘෂි විද්වතුන් විසින් ජනතාව එකඟ කරගත්තේ ක්ෂීරපායී සතුන්ට විෂ නොවන රසායනයන් භාවිතා කරන්නටය. එයද හානිය ඇති ස්ථානයන් වෙතට පමණක් ප්‍රතිකාර කරමිනි.
දේශගුණික විපර්යාස සඳහා ජෛව විවිධත්ව අනුගතකිරීමේ ව්‍යාපෘතිය නම් වැඩසටහනක් හරහා පලිබෝධ මර්දනයේ නව මානයක් වෙතටද අවධානය යොමු කරන්නට ගන්නොරුව උද්‍යාන බෝග ආයතනයේ කීට විද්‍යාඥ ප්‍රභාත් නිශාන්ත මහතා පියවර ගෙන තිබේ. වගා බිමෙහි බෝග නොමැති, කන්න අතරමැදි පුරන් කාලසීමාවේදී විවිධ පලිබෝධ කෘමි ප්‍රභේදයන්, තම වාසස්ථානය කරගන්නා වල්පැළෑටි වර්ග හඳුනාගැනීමට මෙහිදී උත්සාහ දරා ඇති අතර ඒ පිළිබඳව විශේෂ තොරතුරු සංග්‍රහයක් මුද්‍රණය කර බෙදාහැරීමටද මේ වන විට හෙතෙම සූදානමිනි.
තම වගාවට ඉදිරියේදී පැමිණිය හැකි පළිබෝධකයින්, වගාවක් රහිත භූමියේ සිටින්නේ කුමන ශාක මතද යන තොරතුරු මේ හරහා කල්වේලා ඇතිව ගොවියාට දැනගත හැකිවේ. මෙය අනාගත සතුරා සිටින තැන කියවෙන බුද්ධි තොරතුරකට සමානය. එම ධාරක ශාක වේලාසනින් ඉවත් කිරීම ඉදිරි පලිබෝධ ගහනය අවම කරගැනීමට මහත් රුකුලකි.
මේ හරහාද වැඩි දියුණු වන්නේ කෘෂි රසායන ද්‍රව්‍යයන්ගෙන් තොර පරිසර මිතුරු ගොවිතැනක්ය. වගාබිමක වැඩිපුර සිටින්නේ ගොවියාට කරදරයක් නොකරන අහිංසක කෘමීන් වන අතර සමස්ත කෘමි ගහනයේ වැඩි කොටසක් වන්නේද ඔවුන්ය. පලිබෝධක සංඛ්‍යාව සුළුතරයකි. එසේ නමුත් කෘෂි රසායන ද්‍රව්‍ය හරහා අප මේ සමස්තයම වනසා දමන්නේය. පුරන් වගාබිමේ තිබෙන විකල්ප වාසස්ථාන අහිමි කිරීමේ පිළිවෙත, අනාගත පරිසර මිතුරු ගොවිතැනක් වෙතට පිවිසුමක් සාදා දෙන්නේ ඒ අයුරෙනි.

සනත් එම්. බණ්ඩාර – සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව, පේරාදෙණිය