ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක්

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බැවින් එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ඊයේ (25) 2021- 2030 දක්වා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දෙනු ලැබීය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීම සඳහා ජපාන රජය මගින් එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහන, IETC- Technology for Environment, Environment Stratagies සහ පරිසර අමාත්‍යාංශය යන ආයතන විසින් අනුග්‍රහය දක්වන ලදී.

මෑත කාලය තුළ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ දී පවතින අවිදිමත් බව සැලකිල්ලට ගනිමින් ඉදිරි දස වසර තුළ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ මෙමගින් යෝජනා කර තිබේ. විශේෂයෙන් 3R සංකල්පය අනුගමනය කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම (Reduce), නැවත භාවිතා කිරීම (Re- Use) හා ප්‍රතිචක්‍රියකරණය ( Recycling) යන ක්‍රියා පිළිවෙත තුළින් පරිසරයට එක් කෙරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මෙහි අරමුණ වේ.

‘‘අපේ රටට වාර්ෂිකව ප්ලාස්ටික් අමුද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කරනවා. එමෙන්ම අපේ රටේ දෛනිකව නාගරික ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 10,768ක් ජනනය වෙනවා. එමෙන්ම පළාත් පාලන ආයතනවලින් දිනකට ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3458ක් එකතු කරනවා. ඒ අනුව දිනපතා අප රටේ බැහැර කරන ඝන අපද්‍රව්‍යවලින් 50%ක් එකතු නොකර පරිසරයට බැහැර කරනු ලබන බව පෙනී යනවා. මෙම බරපතළ පාරිසරික ගැටලුව විසඳීම සඳහා දැනටමත් පියවර රැසක් ගෙන තිබෙනවා‘‘ යැයි මෙම ක්‍රියාකාරි සැලැස්ම අමාත්‍යවරයාට බාර දෙමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

මෙහිදී අදහස් පළ කළ පරිසර අමාත්‍ය, මහින්ද අමරවීර මහතා, ‘අප රටේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා පියවර රැසක් මේ වනවිටත් පරිසර අමාත්‍යාංශය විසින් ගෙන තිබෙනවා. ඒ අනුව පරිසරයට වැඩිපුරම එකතු වෙන නොදිරණ ප්ලාස්ටික් හා පොලිතීන් උපයෝගී කර ගනිමින් නිපදවන ලබන නිෂ්පාදන රැසක් මේ වනවිට නිෂ්පාදනය, අලෙවිය හා බෙදාහැරීම තහනම් කර තිබෙනවා. පසුගිය මාර්තු 31 සිට සැෂේ පැකට් ඇතුළු ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන 05ක් තහනම් කළා. එමෙන්ම පසුගිය අගෝස්තු 01 දින සිට නොදිරණ ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය මුළුමනින්ම තහනම් කළා. එමෙන්ම ෂොපිං බෑග් ඇතුළු තවත් නිෂ්පාදන 08ක් තහනම් කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට දැනටමත්
ඉදිරිපත් කර තිබෙනවා. මෙම දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම මගින් යෝජනා කර තිබෙන කරුණු සියල්ලම ක්‍රියාත්මක කරමින් මේ රට ගිළ ගනිමින් තිබෙන පොලිතීන් හා ප්ලාස්ටික් වසංගතයට තිරසාර විසඳුමක් ලබා දීමට පරිසර අමාත්‍යාංශය විසින් පියවර ගන්නවා‘ යැයි ද සඳහන් කළේය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *