පොලිතීන් සහ ලන්ච්ෂීට් තහනමේ ඇත්ත කතාව

ඉන්දියාව හා බංග්ලාදේශය විසින් සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් බැහැර කිරීම නිසා කිලෝමීටර් 65000ක මළ මුහුදක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිර්මාණය වෙමින් පවතින බව 2020 ජාතික විගණන දෙපාර්තමේන්තුව කළ පාරිසරික විගණන වාර්තාවේ සඳහන් විය.

නාරා ආයතනය විසින් 2018 දී නෝර්වේ විශේෂ නෞකාවක් වන ආචාර්ය ෆ්‍රිඩ්ජෝෆ් නැන්සන් පර්යේෂණ යාත්‍රාව (Dr. Fridtjof Nansen Research Vessel) මඟින් සාගරයේ සිදු කරන ලද ගවේෂණයක් මඟින් මෙම තොරතුරු අනාවරණය කර තිබිණි.

මෙවැනි තත්ත්වයක් උද්ගත වීමට හේතුව නම් එම සාගර කලාපය මුළුමනින්ම ප්ලාස්ටික් හා පොලිතීන්වලින් ගහන වීමය. කොටින්ම කිවහොත් එම කලාපයේ කිසිදු සාගර ජීවියකුට ජීවත් විය නොහැකි තත්ත්වයක් මෙන්ම ජීවින් බිහිවීම සඳහා කිසිදු අයුරකින් සුදුසු නොමැති තත්ත්වයක් උද්ගත වෙමින් පවතින බව අනාවරණය විය.

අන්තර් ජාතික පරිසර සංවිධාන පෙන්වා දෙනු ලබන්නේ වර්ෂ 2050 වන විට ලොව සියලු සාගරවල ජීවත්වන සාගර ජීවීන්ට වඩා සාගරයේ ඇති පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතින බවය. මෑතක දී පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබූ ශ්‍රී ලාංකික රණවිරු රොෂාන් අබේසුන්දර මහතා කළ ප්‍රකශ කළේ ඔහුට පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනීමේ දී බාධා එල්ල වූයේ මුහුදු රැලිවලින් හෝ දරුණු සාගර ජීවින්ගෙන් නොව වේගවත් මුහුදු රැල්ල හා ගසාගෙන ආ ප්ලාස්ටික් බෝතල්, ලන්ච්ෂීට් හා ෂොපිං බෑග් බවයි. ඒවා තමන්ගේ මුහුණේ පවා වැදුණු බව ඔහු කීවේය.

අපේ රටේ මේ වනවිට සිදුවන පොලිතීන් හා ප්ලාස්ටික් අධි භාවිතය මඟින් පරිසරයට එල්ල වී ඇති තර්ජනය අසීමාන්තිකය. මෑතක දී අපේ මුහුදු සීමාවේ දී ගිලී ගිය “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ තිබී මුහුදු වෙරළට ගසා ගෙන පැමිණි ප්ලාස්ටික් පැලට් ප්‍රමාණය ටොන් 1400ක් පමණ වේ. ඒවා මේ වනවිට කන්ටේනර 45කට ආසන්න ප්‍රමාණයක ගබඩා කර වත්තල ප්‍රදේශයේ ඉඩමක රඳවා ඇත. මෙතෙක් සාගරයට එක් වූ විශාලතම ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගය මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා ප්‍රකාශ කරනු ලැබීය.

මේ සම්බන්ධව පරිසර අමාත්‍යාංශය සිදු කරන ලද සොයා බැලීමේ දී හෙළිදරව් වූ කාරණය වූයේ ඒවා මේ රටේ ප්‍රධාන ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන සමාගම් 02 කට මාස තුනක් සඳහා අවශ්‍ය ප්‍රමාණය බවය. කෙසේ වුවද මෙවැනි මහා පරිමාණයේ ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන ආයතන 08 ක් පමණ අපේ රටේ පවතී. එමනිසා ඔවුන් මෙරටට ආනයනය කරන ප්ලාස්ටික් ප්‍රමාණය කෙතෙක්දැයි මෙතෙක් අනාවරණය කර ගත නොහැකිය. එහෙත් මධ්‍යම පරිසර අධිකාරියට අනුව මෙරටට වාර්ෂිකව ආනයනය කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතීන්වල වටිනාකම රුපියල් බිලියන 58 කි.

ප්ලාස්ටික් භාවිතය අවම කරලීම සඳහා අන්තර් ජාතික පාරිසරික නිර්වචනයන්ට අනුව අනුගමනය කරන උපාය මාර්ග තුනක් වේ.

එනම් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, (Reduce) නැවත නැවත පාවිච්චි කිරීම (Re-use) හා ප්‍රතිචක්‍රීයකරණයයි (Recycling ) යන 3R concept මේ සඳහා අනුගමනය කරනු ලබයි.

අපේ රටේ ද ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා මෙම පියවර අනුගමනය කළ ද දිනෙන් දින අප රටේ පොලිතීන් ප්ලාස්ටික් භාවිතය ඉහළ යමින් පවතී. පරිසර අමාත්‍යාංශය පසුගිය මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන 05 ක් තහනම් කළේය. සැෂේ පැකට් ඇතුළු නිෂ්පාදන 05 ක් ඊට ඇතුළත්ය. ඒ අනුව එක්වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතීන් හා ප්ලාස්ටික්, පෙට් බෝතල් PET bottles (PolyEthylene Terepthalate), මයික්‍රෝණ 20ට අඩු ලන්ච් ෂීට්, සැෂේ පැකට් (ආහාර හා ඖෂධ නොවන), කොට්න් බඩ් (වෛද්‍ය කටයුතු සඳහා යොදා නොගන්නා), හා සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ ද ඊට අයත් වේ.

ලන්ච්ෂීට්වලින් සිදුවන හානිය

ලන්ච්ෂීට් යනු පෙට්‍රෝලියම් අතුරු නිෂ්පාදනයකි. අපේ රටේ වාර්ෂික ලන්ච්ෂීට් භාවිතය මිලියන 5400 ඉක්මවයි. මිලියන 21 වන අපේ රටේ ජනගහනයෙන් දිනකට පරිසරයට බැහැර කරන ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 12- 15 දක්වා ප්‍රමාණයකි.

ලන්ච්ෂීට් යනු අඩු වටිනාකම් ඇති එමෙන්ම එක්වරක් පමණක් පාවිච්චි කරන ද්‍රව්‍යයකි. මේ නිසා භාවිත කරන ලන්ච්ෂීට් කිසිදු ආකාරයකින් ප්‍රතිචක්‍රියකරණයට ලක් නොකරයි. එමනිසා ඒවා සියයට 100 ක්ම පරිසරයට බැහැර කෙරේ.

ලන්ච්ෂීට් පමණක් නොව පරිසරයට අපරීක්ෂාකාරී ලෙස බැහැර කරන සියලු පොලිතීන් හා ප්ලාස්ටික් අවසානයේ එක් වන්නේ ජල මූලාශ්‍රවලටය. එමෙන්ම ලන්ච්ෂීට් පරිසරයට බැහැර කිරීම තුළ සිදුවන පාරිසරික හානිය මෙන්ම මානව සෞඛ්‍යයට එල්ල කරන බලපෑම ද සුළු පටු නැත.

සාමාන්‍ය යෙන් ලන්ච්ෂීට් දිරාපත් වීමට විශාල කාලයක් ගත වේ. අඩු තරමින් වසර 10ක හෝ 20ක පමණ කාලයක් ගත වුණ ද, ඒවායින් ඉතිරි වන මයික්‍රොප්ලාස්ටික් අංශු වසර සිය ගණනක් ජලයේ මෙන්ම පසෙහි ද අන්තර්ගත වේ. අවසානයේ ඒවා ආහාර මඟින් මිනිස් සිරුරට ඇතුළු වේ. ගොඩබිම පරිසරයට බැහැර කරන ලන්ච්ෂීට් මෙන්ම සාගරයට බැහැර කරන ලන්ච්ෂීට් මඟින් සත්ත්ව හා ශාකවල පැවැත්මට විශාල තර්ජනයක් එල්ල කරයි. සාගරයේ පාවී යන ලන්ච්ෂීට්, ජෙලිෆිෂ් යැයි රැවටී අනිකුත් මසුන් විසින් ඒවා ආහාරයට ගැනීම නිසා මරණයට පත් වූ අවස්ථා වාර්තා වේ.

මරණයට පත් වූ විශාල මෝරකුගේ උදරය පරීක්ෂා කිරීමේ දී ලන්ච්ෂීට් හා ෂොපිං බෑග් විශාල ප්‍රමාණයක් තිබී හමුවීම ඊට හොඳම නිදසුනකි. එමෙන්ම ගොඩබිම සිටින සතුන් ලන්ච්ෂීට් ආහාරයට ගැනීම නිසා මරණයට පත් වු අවස්ථා ද බහුලය.

විශේෂයෙන් ඇතැම් ප්‍රාදේශීය සභා මඟින් කැළිකසළ බැහැර කරනු ලබන්නේ වනසතුන් ගැවසෙන ප්‍රදේශවලටය. එම කැළිකසළවල ඇති ලන්ච්ෂීට් මෙන්ම ෂොපිං බෑග් ආහාරයට ගැනීම නිසා වන අලි, ගවයින්, මුවන්, මෙන්ම පක්ෂීන් ද මරණයට පත් වූ අවස්ථා බහුලය.

සෞඛ්‍යමය තර්ජනය

මේ වනවිට අපේ රටේ බරපතළම රෝග තත්ත්වයක් වන්නේ පිළිකා රෝගයයි. මහරගම අපේක්ෂා රෝහලේ දත්ත අනුව දිනකට අලුතින් හඳුනා ගන්නා පිළිකා රෝගීන් සංඛ්‍යාව 80ක් බව වාර්තා වේ. එමෙන්ම දෛනිකව පිළිකා නිසා මරණයට පත්වන රෝගීන් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබේ.

අප කවුරුත් අවධානය යොමු නොකළද ලන්ච්ෂීට් මෙන්ම පොලිතීන් හා ප්ලාස්ටික් යනු උග්‍ර පිළිකාකාරකයකි. එමෙන්ම සාපල්‍යතාව අඩු කිරීම, ශ්වසන රෝග, මෙන්ම මොළයේ අඩු වර්ධනය වැනි රෝග රැසකට පොලිතීන් හා ප්ලාස්ටික් හේතු වන බව තහවුරු වී තිබේ.

කිසිවකුගේ හෝ අවධානයට යොමු නොවන කාරණය නම් ලන්ච්ෂීට්වල අඩංගු සුදු පැහැති කුඩු විශේෂය කුමක්ද? යන්නයි. ලන්ච්ෂීට් එකට ඇළීම වැළැක්වීම සඳහා භාවිත කරන මෙම පවුඩර් විශේෂය උග්‍ර පිළිකාකාරකයක් බවට සැක කරනු ලබයි. ලන්ච්ෂීට් භාවිත කරන කිසිවෙක් හෝ ඒවා සෝදා පිරිසිදු කර භාවිතයට නොගනී. එමනිසා ආහාර සමඟ මෙම කුඩු විශේෂය මිශ්‍රවන අතර එය ආහාර සමග ශරීරගත වේ. මේනිසා එමඟින් පිළිකාව පමණක් නොව ආමාශය හා අන්තරාසර්ග ග්‍රන්ථි ආශ්‍රිත රෝග ද බහුල වීමට ඇති හැකියාව සුළුපටු නැත.

ලන්ච්ෂීට් ලෝකයේ කිසිදු රටක භාවිත කරන්නේ නැත. එයට හේතුව දිරාපත් නොවන ලන්ච්ෂීට් භාවිතයෙන් පරිසරයට සිදුවන අතිශය අනර්ථකාරීබවය. නමුත්, ඒ අතින් අපි වාර්තාවක් තබා ඇත්තේ ලෝකයේ ලන්ච්ෂීට් භාවිතා කරන එකම රට ශ්‍රී ලංකාව වශයෙනි.

ලන්ච්ෂීට් වෙනුවට විකල්ප

දිරාපත් නොවන ලන්ච්ෂීට් තහනම නිසා ඊට විකල්පය කුමක්දැයි බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයකි. නමුත් අපි සාධාරණව විමසා බලන්නේ නම් ලන්ච්ෂීට් භාවිතයට පෙර අපේ රටේ ආහාර ඔතන ලද්දේ කෙසේද යන්නයි. බොහෝ දෙනෙක් තම සේවා ස්ථානයට යනවිට බත් පාර්සලයක් රැගෙන ගියහ.

එසේත් නැත්නම් ඒ සඳහා කිසියම් පෙට්ටියක් භාවිතා කළහ.

අපි අතීතය දෙස ආවර්ජනය කළහොත් ආහාර රැගෙන යාමේ දී තල්කොළ, පොල්කොළ හා පන්වලින් වියන ලද පෙට්ටි ආහාර රැගෙන යාම සඳහා භාවිත කළෝය. එසේම බත් මුල් බැඳීමේ දී ගින්නෙහි තවන ලද කෙසෙල් කොළ හෝ නෙළුම් කොළ ඒ සඳහා යොදා ගත්හ. මෙම නිෂ්පාදන සඳහා අප සතුව පැවැති දේශීය කර්මාන්තය මුළුමනින්ම බිඳ වැටුණේ ලන්ච්ෂීට් භාවිතය නිසාය. එහෙයින් ලන්ච්ෂීට් භාවිතය තහනම් කිරීම තුළ නැවතත් පරිසර හිතකාමී මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා පිටිවහලක් වන දේශීය කර්මාන්ත යළිත් ඔසවා තැබීමට අපිට හැකි වනු ඇත.

පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත විවිධ නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්ලාස්ටික් රුපියල් බිලියන 58 ක් පමණ වැය කර අපේ රටට ආනයනය කෙරෙන බව අපි මුලින්ම පැවසීමු. මෙසේ ආනයනය කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතීන් සියල්ලම අවසානයේ එක් වන්නේ අපගේ පරිසර පද්ධතියට වීම ඛේදනීය තත්ත්වයකි.

විශේෂයෙන් ලන්ච්ෂීට් භාවිතය වළක්වාලීම සඳහා ගනු ලැබූ තීරණයේ දී හැකිතරම් විකල්ප හඳුන්වා දීමට අවධානය යොමු කෙරිණි. ඒ අනුව දිරාපත්වන ලන්ච්ෂීට් නිෂ්පාදනය සඳහා දැනටමත් සමාගම් 08ක් පමණ එක් වී තිබේ. එමෙන්ම තවත් සමාගම් කිහිපයක් ඉදිරියේ දී මෙම කර්තව්‍යයට එක්වීමට නියමිතය.

හරිත ශ්‍රී ලංකාවක් වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් අපි හැම විටම පරිසර හිතකාමී නිෂ්පාදන භාවිතයට යොමු විය යුතුය. නමුත් භාවිතයේ පහසුව සඳහා මිනිසා විසින් ළඟාකර ගන්නා ලද පොලිතීන් හා ප්ලාස්ටික් වර්තමානයේ දී මිනිසාගේ සොහොන් වළ නිර්මාණය කර ඇත.

අපේ රටේ බැහැර කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතීන්වලින් ප්‍රතිචක්‍රීයකරණය කරනු ලබන්නේ සියයට 07ක් පමණ ප්‍රමාණයකි. ඒ අතරින් ලන්ච්ෂීට් හා ෂොපිං බෑග්වලින් සියයට 100ක්ම පරිසරයට බැහැර කරන අතර සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනවලින් සියයට 93ක් ම පරිසරයට බැහැර කරනු ලබයි. මෙසේ බැහැර කරන ප්ලාස්ටික් හා පොලිතීන්වලින් කොටසක් සාගරයට එක් වන අතර තවත් කොටසක් මිනිසුන් විසින් ගිනි තබා විනාශ කරයි.

මිනිසුන් විසින් නොදන්නාකම හා නොසැලකිලිමත්කම හේතුවෙන් පොලිතීන් හා ප්ලාස්ටික් ගිනිතබා විනාශ කළ ද එහි ප්‍රතිඵලය අතිශයින් භයානකය. ප්ලාස්ටික් දහනය කිරීම නිසා නිපදවන ෆියුරන් හා ඩයොක්සීන් වායූන් මිනිස් සෞඛ්‍යයට අතිශය අහිතකරය. විශේෂයෙන්ම මේ නිසා ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග බහුලවීම මෙන්ම වෙනත් රෝග තත්ත්වයන් ද ඇති වන බව පැහැදිලිය.

ප්ලාස්ටික් දහනය

එමනිසා මහජනතාව විසින් මතක තබා ගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ කිසිදු අයුරකින් එක්රැස්වන පොලිතීන් හා ප්ලාස්ටික් ගිනි තබා විනාශ නොකළ යුතු බවයි. එමඟින් සිදුවන වායු දූෂණය සාමාන්‍ය පරිසර දූෂණයට වඩා බලපෑමක් එල්ල කරයි.

මේ සම්බන්ධව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ මෙවැනි අදහසකි.

“ඉදිරි කාලය තුළ තවත් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන 08 ක් තහනම් කිරීම සඳහා කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව එක්වරක් පමණක් පාවිච්චි කරන ප්ලාස්ටික් හැඳි, කෝප්ප, ගෑරුප්පු හා පිඟන් හා ආහාර කළතන, කෘත්‍රිම ප්ලාස්ටික් තෘණ ඇතිරිලි, පොලිතීන්වලින් නිෂ්පාදිත මල්මාලා, යෝගට් හැඳි, නොදිරණ ලන්ච්ෂීට්, යනාදියත් ඇතුළත්. ඒ වගේම මේ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව දැනටමත් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරල තියෙනවා.”

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව හරිත ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීම අරමුණයි. ඒ යටතේ කාබනික ගොවිතැන හඳුන්වා දීම, පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන අකර්මණ්‍ය කිරීම, විදුලිබලයෙන් ක්‍රියා කරන වාහන භාවිතය ප්‍රචලිත කිරීම, සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය විදුලි බලය මඟින් සපුරා ගැනීම මෙන්ම පාසැල් හා ළදරු පාසල් ගොඩනැගිලිවල වහල සඳහා ඇස්බැස්ටස් භාවිතය තහනම් කිරීම ආදි යෝජනා රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිතය.

2021අගෝස්තු මස 01 දින සිට පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවි කිරීම තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. “මෙම තහනම ක්‍රියාත්මක වීමේ දී රජය පාර්ශ්වයෙන් අපේ මැදිහත් වීම ලබා දෙනවා මෙන්ම මහජනතාවට ද එහි විශාල වගකීමක් තිබෙනවා” යැයිද අමාත්‍යවරයා සඳහන් කරයි. ඉදිරියේ දී තහනම් කිරීමට යෝජිත පොලිතීන් හා ප්ලාස්ටික් ලැයිස්තුවට දිරාපත් නොවන ලන්ච්ෂීට් ඊට ඇතුළත් කර තිබුණත් ඒ සඳහා යළි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හෝ ගැසට් පත්‍රයක් පළ කිරීම අවශ්‍ය වන්නේ නැත. එයට හේතුව වන්නේ 2017 දී එවකට පරිසර ඇමැති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නොදිරන ලන්ච්ෂීට් තහනම් කරමින් ගැසට් පත්‍රයක් පළ කර ඇති නිසාය. එම ගැසට් පත්‍රය බල ගැන්වීම සිදු කළ හැකිය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඒ පිළිබඳ පවසන්නේ මෙවැනි අදහසකි.

“හරිත ශ්‍රී ලංකාවක් සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩ පිළිවෙළට අනුව මෙම පොලිතීන් හා ප්ලාස්ටික් අවම කිරීමේ වැඩ පිළීවෙළ ක්‍රියාත්මකයි. මේ රටේ ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළ ද ඒවා සාර්ථක වුණේ නැහැ. ඇතැම් ක්‍රියාමාර්ග අතරමඟ ඇන හිටියා. එම නිසා එම සියලු අත්දැකීම් උපයෝගී කර ගැනීම මඟින් සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය මත අදියරෙන් අදියර මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් අවම කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා සමස්ත ජන කණ්ඩායම්වල කැපවීම හා සහයෝගය අත්‍යවශ්‍යයි”

ලන්ච්ෂීට් තහනම නිසා ඇති විය හැකි ගැටලු මේ සම්බන්ධව දැනට මතභේදාත්මක අදහස් ඉදිරිපත් වී නැත. බොහෝ අංශවලින් ඉදිරිපත්ව තිබෙන්නේ මේ සම්බන්ධව ධනාත්මක කරුණු පැහැදිලි කිරීම්ය. එම නිසා මෙම වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට නම්, සියලුම ජනතාවගේ සහයෝගය ඊට ලැබිය යුතුය. මෙහි ප්‍රතිලාභ ගණනය කළ හැක්කේ රුපියල් ශතවලින් නොව අනාගත පරපුරට පොලිතීන් හා ප්ලාස්ටික්වලින් තොර මිහිතලයක් පරිත්‍යාග කිරීම මඟිනි.

ධර්ම වන්නිනායක විසින් දිනමිණ පුවත්පතට සම්පාදිත ලිපියකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *