මෙරට දූෂිතම ගඟ ‘කැළණි ගඟ‘ නවතම සමීක්ෂණයකින් හෙළිවෙයි !

මෙරට ගංගා පද්ධතියෙන් දූෂිතම ජලය සහිත ගංගාව වන්නේ කැලණි ගඟ බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයේදී හෙළිදරව් කර ගෙන තිබේ.

කොළඹ නගරය ආශ්‍රිතව ස්ථාන 797කුත්, ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව ස්ථාන 577කුත් ඇතුළත්ව ස්ථාන 1374කුත් මඟින් කැලණි ගඟට දුෂිත අපද්‍රව්‍ය එක්රැස් වන බවත් ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කය ආශ්‍රිතව කැලණි ගඟ දූෂණය වන ස්ථාන හඳුනා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයේදී මෙම හෙළිදරව් කර ගෙන තිබේ.

‘සුරකිමු ගංගා වැඩසටහන‘ යටතේ කළ සමීක්ෂණයක් අනුව සමස්ත ගංගා පද්ධතිය අපවිත්‍ර කරන ස්ථාන 10,733ක් ඇති බව ද හඳුනාගෙන තිබේ.

මේ කරුණු සැලකිල්ලට ගෙන, පරිසර අමාත්‍යාංශය ආරම්භ කර තිබෙන ‘සුරකිමු ගංගා වැඩසටහන‘ යටතේ කැලණි ගඟ සංරක්ෂණයට ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සුරකිමු ගංගා ව්‍යාපෘතියේ ජාතික කමිටුවට ඊයේ (2) උපදෙස් දී ඇත.

සුරකිමු ගංගා වැඩපිළිවෙළ යටතේ 103ක් වූ මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සිදු කෙරෙන අතර, මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගම්පහ හා කොළඹ පළාත්පාලන ආයතන 12ක නියෝජිතයන් සමඟ කැලණි ගඟ සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ ඇමැතිවරයා ඊයේ (2) පුළුල් ලෙස සාකච්ඡා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *