වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ වන නියෝග අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
එම නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා සී. බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (21) රැස්වූ වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟතාවය පළ විය. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය 2021 අගෝස්තු 19 දින නිකුත් කොට තිබුණි.
මෙම ගැසට් පත්‍රය මගින් හිලෑ ඇතුන්ගේ සුභසාධනය සඳහා නව නියෝග මාලාවක් හඳුන්වා දීම, හිලෑ ඇතුන් ලියාපදිංචියේදී සිදුවිය හැකි අක්‍රමිකතා මග හැරිම සඳහා නව තාක්‍ෂණය හඳුන්වා දීම, හිලෑ ඇතුන් සම්බන්ධ අධිකරණ කටයුතු පහසු කිරීම යනාදි අරමුණු ඉටුකරගැනීම අපේක්ෂාව වන බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසා සිටියේ ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා ප්‍රායෝගික අත්හදා බැලීමකින් පසු සකස් කර ඇති ප්‍රතිපත්තිය මගින් මෙතෙක් පැවති ගැටුම් සමනය වී ඇති බවත් ඒ සදහා වැය වූ වියදම ඉතා අඩු මට්ටමක පවතින බවත් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම මගින් මෙම අලි මිනිස් ගැටුම බොහෝ දුරට සමනය කළ හැකි බවත්ය.
එයට පිළිතුරු දක්වමින්, වනජීවී හා වන සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසා සිටියේ එම ප්‍රතිපත්ති දැනට ක්‍රියාත්මක වන බවත් ඒ පිළිබඳව වැඩි දුරටත් කටයුතු කරනු ලබන බවත්ය.
මෙහිදී කුඹුක්කන පැල තවාන සඳහා අලි වැටක් ඉදිකිරිම පිළිබඳව කනක හේරත් මහතා විමසා සිටි අතර, අලි වැට සඳහා එනජයිසර් නොමැති වීමේ ගැටලුව පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය. ඒ අනුව මේ පිළිබඳව වැඩි දුර කරුණු දැක්වීමක් සඳහා ඊළඟ කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය කැඳවීමට කටයුතු කරන ලෙස සී. බී. රත්නායක මහතා උපදෙස් ලබා දුන්නේය.
මෙම කාරක සභා රැස්වීමට වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු විමලවීර දිසානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.