ශ්‍රී ලාංකික ඉවුම් පිහුම් කලාව තුළ කහ කුඩු වලට අත් වන්නේ ඉතා ඉහළ ස්ථානයක් වන අතර, එය ඉතා ප්‍රබල රස කාරකයක් මෙන්ම මහඟු ඖෂධයක් ද වේ. එමෙන්ම එයට ආවේනික රසය සහ වර්ණය අහාර රුචිය වැඩි කිරීම සඳහා හේතු වේ.
2019 වසරේ දෙසැම්බර් මාසයේ සිට, කහ ආනයනය තහනම් කිරීමත් සමග ලංකාවේ බොහෝ ප්‍රදේශවල කහ වගාව මහා පරිමානයෙන් මෙන්ම ගෙවතු වගාවක් ලෙසටද ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ වල ව්‍යාප්ත විය.
මෙම තීරණය දේශීය කහ නිෂ්පාදනය ඉහළ නංවා ගොවින් ගේ අත මිට සරු කර, ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම වස විසෙන් තොර ගුණාත්මක කහ අපේ ආහාර සඳහා එකතුකර සෞඛ්ය සම්පන්න ජීවිතයකට හුරු කිරීමටද හේතුවක් විය.
කහ වගාවේදී ගුණාත්මක බවින් පිරිපුන් ඉහළ අස්වැන්නක් ලබාගැනීම, මහා පරිමාණයෙන් වගා කරන ගොවි මහතාගේ සිට පාත්ති කිහිපයක් තම ගෙවත්තේ හෝ පඳුරු කිහිපයක් බඳුන්ගත වගාවක් ලෙස කරන ගෘහනියන්ගේද අරමුණ වෙයි. නමුත් මේ සඳහා ඇති බාධකයන් අතර පළිබෝධක හානී හෙවත් කෘමි සතුන්ගේ හානි ප්‍රමුඛස්ථානය ගනියි.
කහ වගාවේදී අපට හමුවන පළිබෝධකයින් වර්ධක අවධියේදී සහ රෛසෝම හටගන්නා අවධියේදී ලෙසට වෙන් වෙන් ලෙසට හඳුනා ගත හැකි අතර නිසි අවධියේදී පළිබෝධක හානීන් පාලනය කල යුත්තේ කෙසේද යන වග ඔබ දැනුවත් වීම ඉතා වැදගත් වෙයි.
1. වර්ධක අවධියේදී හමුවන පළිබෝධකයන්
i. කඳ විදින්නා- Shoot Borer – Dichocrocis punctaferalis

කහ වගාවේ වර්ධක අවධියේදී බහුලවම ඇතිවන මෙම හානිය සමනල ගෝත්‍රයට අයත් සලඹ වර්ගයක් නිසා ඇති වේ . පහසුවෙන් හඳුනාගත හැකි මෙම පරිණත සතුන්ගේ පියාපත් යුගලම රන්වන් කහ පැහැති වන අතර කළු පැහැති කුඩා පැල්ලම් රාශියක් දැකගත හැකියි.
බොහෝවිට රාත්‍රී කාලයේදී පියාසර කරන මෙම සතුන් කහ වගාවේ කඳන් මත බිත්තර ඇලවීම සිදු කරයි. මෙම බිත්තර වලින් පිටතට එන කීටයන් හෙවත් පනුවන් මෘදු පටක සිඳුරු කර කඳ තුළට ගමන් කර ඇතුළත කා දැමීම ආරම්භ කරයි. කීටයන් කඳ තුළට ඇතුලු වී, ඇතුළත
කොටස් ආහාරයට ගැනිම නිසා ජලය හා පෝෂක ද්‍රව්‍ය ඉහළට ගමන් කිරිම අපහසු වන බැවින් කහ පාට වී දල්ල මැරී යාම සිදුවේ. මෙසේ ඇතුළත කොටස් කා දමමින් උපරිම වර්ධනයට ලඟා වන විට කඳ මත රවුම් සිදුරක් සාදයි.
කීටයන් කද තුළ සිටින විට මෙම සිදුරු වලින් අපද්‍රව්‍ය එළියට පැමිණීම දක්නට පුඑවනි. ඉන්පසු කෝෂ ගත අවස්ථාවට පැමිණ නැවත පරිනත සලඹයන් බවට පත් වී පළමුව සාදාගත් සිදුරෙන් පරිසරය වෙත නැවත එකතු වෙයි.
කහ වගාකරුවන්ට පහසුවෙන්ම මෙම හානිය හඳුනාගත හැකි වන අතර නිරන්තර සුපරික්ෂකාරි බව මේ සඳහා ඉතා වැදගත්. ඔබේ කහ වගාවේ දල්ල හෙවත් ලපටි ගොබය කහ පැහැ වී මැරී යාම සහ එම ගොබය කෙලවරින් ඉහළ එසවූ විට පහසුවෙන් ගැලවී අතට පැමිණීම මෙම හානියේ ප්‍රධානම ලක්ෂණයි. මෙය “මල හදවත” ලෙස හඳුන්වයි.
එමෙන්ම ලපටි ගොබය මැරී ගිය කඳ කොටස හොඳින් නිරීක්ෂණය කල විට රවුම් සිදුරක් ද දකින්නට හැකිය. සමහර අවස්ථාවල මෙම සිදුරු තුළින් පටක කා දැමූ පණුවා ගේ අපද්‍රව්‍ය පිටතට පැමිණීමද දකින්නට හැකිය.

හානිය පාලනය කිරීම
- වගාව නිතර පරීක්ෂා කර මුල් අවස්ථාවේදීම හානිය හදුනා ගන්න.
- කෙෂ්ත්‍රය පිරිසිදුව සහ අධික තෙත් බවින් තොරව තබා ගන්න.
- නයිට්‍රජන් පොහොර අධික ලෙස දැමීමෙන් වළකින්න. නයිට්‍රජන් පොහොර අධිකවීම තුළින් වර්ධනය වැඩි වී කඳ සිනිඳු සහ මෘදු බවට පත් වන අතර, පහසුවෙන්ම කීටයන්ට සිඳුරු කල හැකිවේ.
- මළ ගොබ සහ සිදුරු සහිත කහ පාට වී මැරී යන පඳුරු ගලවා, ගිනි තබා විනාශ කරන්න. පඳුරක සිදුරු සහිත කඳන් එකක් හෝ කීපයක් දක්නට ලැබේ නම්, එම කඳන් කපා ගිනි තබා විනාශ කරන්න. සති 2කට වරක් මෙම සිදුරු සහිත කඳන් කපා ගිනි තබා විනාශ කිරීම සිදු කළ යුතුය.
- එමෙන්ම ආලෝක උගුලක් රාත්‍රී කාලයේදී ක්ෂේත්‍රය තුළ තැබීමෙන් පරිනත සලඹයන් ඒ වෙතට ඇදී ඒම නිසා සතුන් එකතු කර විනාශ කිරීමේ හැකියාවද ඇත.
- ඔබට පහසුවේ සපයා ගත හැකි අමු ද්‍රව්‍ය මගින් සකස් කරගත් කෘමි විකර්ෂක භාවිතයෙන් මෙම සලඹයන් ක්ෂේත්‍රය වෙත පැමිණීම වැළක්වී හැකියි. මේ සඳහා කොහොඹ කොළ සහ බිජ, අනෝදා බිජ, මදුරුතලා කොළ, කරඳ කොළ සහ බිජ බහුලවම භාවිත කරනු ලැබේ.
ii කොළ කන දලඹුවන් – Leaf eating caterpilers

කොළ කන දළඹුවන්ගේ හානියද කහ වගාවේ වර්ධක අවධියේදී බහුලව දැකගත හැකි අතර මේ සඳහා හේතුවන්නේ සමනලුන් විශේෂ කිහිපයක් සහ එක් සලඹ විශේෂයකි. ඒ අතර පත්‍ර හකුළුවන දලඹුවා (Leaf roller – Udaspes folus), සේනා දලඹුවා ( Armyworm – Spodopera sp. ) සහ සුදු සමනල දලඹුවා (Leucoma salicis) ප්‍රධාන තැනක් ගනියි.
මෙම කෘමින් පත්‍ර මත බිත්තර දැමීමෙන් පසු බිහිවන කීටයන් හෙවත් දලඹුවන් පත්‍ර පටක කා දමමින් තම වර්ධනය සිදුකර ගනියි. කා දමන ලද පත්‍ර පටක කොටසෙහි ඉතිරි වන්නේ පිටතින් පිහිටන සිවියක් බඳු ස්ථරය පමණි. මුලික අවස්ථාවේදී මෙය සුදු පැහැයට දිස්වෙයි. එය ක්‍රමයෙන් දුඹුරු පැහැයට හැරි පසුව දිරාපත් වීම සිදුවන නිසා එම හානිය සිදු වූ ස්ථානය සිදුරක් ලෙස දිස් වෙයි.
කොළ කන දලඹුවන්ගේ හානිය වළක්වා ගැනීම.
- හිමිදිරි උදෑසනම ඔබේ වගාව පරික්ෂා කරන්න. තද හිරු එළිය වැටීමට පෙර දළඹුවන් පත්‍ර මතුපිට කා දමමින් සිටිනු ඔබට දකින්නට පුළුවන්. එවිට අතින් එකතුකර විනාශ කිරීම තුළින් හානිය පාලනය කළ හැකියි.
- කහ වගාවේ තැනින් තැන කුරුල්ලන් සඳහා බත් සහ ධාන්‍ය බිජ සහිත කුඩා ආහාර බඳුන් කිහිපයක් තබන්න. මෙම බඳුන් තුළ ඇති ආහාර කෑමට කුරුල්ලන් පැමිණෙන අතර, වගාවේ පත්‍ර මත සිටින දළඹුවන් ආහාරයට ගැනීමටද හැකියාව ලැබේ. මෙසේ පුරුද්දක් ලෙස දිනපතා කුඩා කුරුල්ලන් පැමිණීම ඔබේ වගාවේ කොළ කන දලඹුවන්ගේ හානිය වලක්වා ගැනීමට හොඳ විසඳුමක් සපයාවි.
- ගෙදර ලිපෙන් ඉවත් කරන අළු වගාවේ පත්‍ර මතට ඉසිමෙන්ද කොළ කන දලඹුවන්ගේ හානිය අඩුකර ගත හැකිවේ.
- එමෙන්ම පෙරදී සඳහන් කරන ලද කෘමි විකර්ෂක වගාවේ තැනින් තැන එල්ලා තැබීම හෝ පවුඩර් ලෙස සකස් කර ඉසීම හෝ ජල නිස්සාරක ලෙස සකස් කර පත්‍ර මතට ඉසිමෙන්ද හානිය වළක්වාගැනීමේ හැකියාව ඇත.
iii. කම්බිලි පණුවන් – White grub- Anomala sp.
කලාතුරකින් ක්ෂේත්‍රය තුළ, වර්ධක අවධියේදී ඇතිවන හානියක් වෙයි. Anomala sp නම් වූ කුරුමිණි වර්ගයේ පරිණත ගැහැණු සතුන් විසින් දිරායමින් පවතින කාබනික ද්‍රව්‍ය තුළ හෝ කාබනික ද්‍රව්‍ය අධික වූ තෙත් පස තුළ බිත්තර දමනු ලබන අතර එමගින් බිහිවන කීටයන් කහ වගාවේ රෛසෝම හෙවත් අල කා දැමීම සිදු කරන අතර වර්ධනය වන කඳ පොළවට ආසන්නයේදී කා දැමීමද සිදු කරයි. මේ නිසා වර්ධන වන කඳ කඩා වැටීම සිදුවේ. ඉන්පසු කඳන් මැරී යයි.
හානිය වළක්වා ගැනීම
- පාංශු තෙතමනය අවම කර ක්ෂේත්‍රයේ පස වියළිව තබන්න.
- අධික ලෙස කාබනික පොහොර පසට යෙදීමෙන් වළකින්න
- කාබනික ද්‍රව්‍ය පසට දීමට පෙර හොඳින් පරික්ෂාකර බලන්න. කම්බිලි පණුවන් ( කීටයන්) සිටියි නම් ඉවත්කර ගිනි තබා විනාශ කරන්න.
- කාබනික ද්‍රව්‍ය සකස් කිරීමේදී කොහොඹ බිජ,අනෝදා බිජ සහ පැඟිරි කුලයේ ශාඛ පත්‍ර හැකි සෑම විටම එකතු කරන්න
- මෙම කුරුමිණියන් පහන් සඳහා ඇදී එන බැවින් හානිය පවතින ක්ෂේත්‍ර තුල රාත්‍රී කාලයට ආලෝක උගුල් අටවා තබන්න. එමගින් සතුන් එකතුකර විනාශ කරන්න.
iv. පැල මැක්කන් සහ මයිටාවන්ගේ හානිය
ඉතා අඩු හානියක් කහ වගාවන් සඳහා ඇතිකරයි. පත්‍ර යටි පැත්තේ සිට යුෂ උරා බිම සිදු කරයි. මේ නිසා පත්‍රයේ කොළ වර්ණය අඩුවී සුදු පැහැයට හුරු කහ පැහැයට හැරෙයි. කෘමි ගහනය ඉතා වැඩි වුවහොත් පත්‍ර සියල්ලම සුදු පැහැයට හැරී වේලි මැරී යයි. මුලික අවස්ථාවේදීම කෘමි සතුන් සහිත පත්‍ර කපා විනාශ කිරීම තුලින් හානිය පහසුවෙන්ම පාලනය කල හැකිය.
2. රෛසෝම හටගන්නා අවධියේදී හමුවන පළිබෝධකයන්
i. කොරපොතු කෘමීන්- Rhizome Scales – Aspidiella hartii
කහ අල හටගැනීමත් සමග සමගම ක්ෂේත්‍රය තුළ කොරපොතු කෘමීන්ගේ හානියද ඇති වෙයි. දුඹුරු පැහැයට හුරු කොරපොතු කෘමින් රෛසෝම හෙවත් අල මතුපිට සමූහ ලෙස ඇලී සිටිමින් නොසෙල්වී යුෂ උරා බීම සිදු කරයි. මේ නිසා අල විජලනයට පත්වී ඇකිලී මෑලි වී යයි. පඳුරු කහ පාට වීම බහුලවම දකින්නට ඇති ලක්ෂණය වන අතර ක්‍රමයෙන් සම්පුර්ණ පඳුරම වියලී, මැරී යාම සිදුවේ. මෙය කහ අස්වැන්න අඩුවීමට ඍජුවම බලපායි.
මෙම කොරපොතු කෘමින් සහිත අල බිජ ලෙස යොදා ගැනීම සුදුසු නොවේ. එසේ බිජ සඳහා යොදාගත් විට වර්ධක අංකුර අසලට එකතු වී යුෂ උරා බීම නිසා පැළ ඇතිවීම ඉතා දුර්වල මට්ටමක පවතින අතර හටගත්තා වූ පඳුරෙහි ලා කහ පැහැති වර්ණයක් දිස්වෙයි. එමෙන්ම එම පඳුරුවල ඇතිවන කඳන් සංඛ්‍යාව අඩුවීම මෙන්ම වර්ධනය බාල වීමද දැකගතහැකි වේ.

හානිය පාලනය කිරීම සඳහා
- සිටුවීමට නීරෝගී බීජ අල තෝරාගන්න.
- බිම් සකස් කිරීමේදී පස් හොඳින් ජීවානුහරණය කරන්න.
- අධික ලෙස නයිට්‍රජන් පොහොර යෙදීම හා පාංශු තෙතමනය අධික වීම සුදුසු නොවේ. . නයිට්‍රජන් පොහොර අධිකවීම තුළින් වර්ධනය වැඩි වී කහ අල සිනිඳු සහ මෘදු බවට පත් වන අතර, පාංශු ජලය අධික වීම රෛසෝම පටක තුළ තවදුරටත් එම තත්වය වැඩි කිරීමට හේතුවක් වේ. මේ නිසා පහසුවෙන්ම කොරපොතු කෘමීන්ට යුෂ උරා බිම සිදු කළ හැකිවේ.
- ක්ෂේත්‍රය තුළදී කෘමි හානිය ඇති දැයි තහවුරු කර ගැනීම සදහා කහ වී මැරී යන කහ පඳුරු උදුරා ,අල හොදින් නිරීක්ෂණය කරන්න.
- හානිය වැළදුනු පඳුරු ගලවා ක්ෂේත්‍රයෙන් ඉවත් කර ගිනි තබා විනාශ කරන්න. එම ස්ථානයේ හොදින් පස පෙරලා හිරු එලියට හොදින් නිරාවරණ කරන්න.
- පසට කොළ පොහොර යෙදීමේදී කොහොඹ සහ වැටමාර කොළ වැඩි වශයෙන් භාවිතා කරන්න.
- ගබඩා කර තබා ඇති කහ අල සදහාද මෙම කොරපොතු කෘමීන්ගේ හානිය තිබෙන්නට පුඑවන්. එම නිසා නීරෝගී වගාවකින් ලබා ගන්නා ලද බීජ අල ක්ෂේත්‍රයේ සිටු විම සදහා තෝරගැනීම ඉතා වැදගත්ය
- එක් කන්නයකදී කෘමි හානියට ලක්වූ ක්ෂේත්‍රය, ඊළග කන්නයේ වගාව සදහා භාවිතා නොකරන්න. බෝග මාරුව සදහා යොමුවන්න.
ii. අල මැස්සා – Rhizome Fly – Mimegralla coeruleifrons

ගෙමැස්සාගේ ගෝත්‍රයට අයත් මෙම කෘමී විශේෂය ‘බොරු කකුල් මැස්සා’ ( Stilt Legged Flies) ලෙස හඳුන්වන අතර . සිහින් දිගු ශරීරයක් සමග දිගු පාද යුගල් දෙකකින් සමන්විත වේ. පටු දිගු විනිවිද පෙනෙන පියාපත් යුගලක් දරමින් වේගයෙන් ඉගිල යන මෙම මැස්සන් උපරිම ක්‍රියාකාරි බවක් පෙන්වයි. මෙම පරිණත මැස්සාගේ ගැහැණු සතුන් විසින්, කහ හෝ ඉඟුරු කඳන් ආසන්නයේ තෙත සහිත පස තුල බිත්තර දමන අතර, එම බිත්තර වලින් බිහිවන කීටයන් කඳන් සිදුරු කර ඇතුළු වී අල හෙවත් රෛසෝම ඇතුළට ගමන් කර අභ්‍යන්තර පටක කා දමමින් වර්ධනය වෙයි
මුලික අවස්ථාවේදී අල මැස්සාගේ හානිය හඳුනා ගැනීම තරමක් අපහසු වන අතර, ඇසට පෙනෙන කිසිඳු හානිකර ලක්ෂණයක් කහ පඳුරු පත්‍ර මත හෝ කඳ මතුපිට නොපෙන්වයි. නමුත් පසුව කහ පඳුරුවල පහල පත්‍ර මතින් කහ පාට ආරම්භ වී ක්‍රමයෙන් සම්පුර්ණ පඳුරම කහ පැහැ වී මැරී යයි. මෙම මැරී ගිය කඳ කොටසක් අතින් අල්ලා ඉහළට අදින විට ඉතා පහසුවෙන් ඔබේ අතට ගැලවී එනවානම්, එය අල මැස්සාගේ හානිය විය හැකියි.

තවදුරටත් මෙම හානිය තහවුරු කර ගැනීම සඳහා එම පඳුරේ අල ගලවා හොඳින් නිරීක්ෂණයකල යුතුය. එවිට අල මතුපිට කුඩා සිදුරු ද , ඇතුලත පටක කා දමමින් සිටින සුදු පැහැති පනුවන් ද දැකගත හැකි වේ. අල හොඳින් මෝරන අවස්ථාවේ වුවද, මෙම පනුවන් මෙන්ම කෝෂ ගත අවස්ථාවද රෛසෝම ඇතුලත දකින්නට පුළුවන්. මෙම කෝෂ ගත අවස්ථාව පසුකර පරිනත කෘමින් බවට පත් වී ඔවුන් විසින්ම සාදා ගන්නා ලද කුඩා සිඳුරු තුලින් බාහිර පරිසරයට එකතු වේ.
සමහරවිට මෙම හානියට ලක් වූ අල ඇතුලත මදය කොටස් සියල්ලම කා දමා, කෙඳි පමණක් ඉතුරු වී තිබෙන අතර අල කුණුවීමද ආරම්භ වී තිබෙනු දැකගත හැකියි.
හානිය පැතිරීම වැළැක්වීමට
- ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගන්න.
- වල් මර්ධනය නිසි පරිදි සිදු කරන්න.
- පසේ ජල මට්ටම අවම වන ලෙස තබා ගන්න. ජලය රඳා පැවතීම මෙම කෘමීන්ට ඉතා හිතකර වෙයි.
- ක්ෂේත්‍රය තුළදී අල මැස්සාගේ හානිය ඇති වූයේ නම් එම අල තුළ මෙම කෘමියාගේ පිලා හෙවත් කෝෂ ගත අවස්ථා තිබෙන්නට පුඑවන් . මෙම අල ක්ෂේත්‍රයේ පැල කළ විට නැවත එම කෝෂ ගත අවස්ථාව මගින් කෘමි හානිය ඇති විය හැකිය. එමනිසා ක්ෂේත්‍රයේදී අල මැස්සාගේ හානියට ලක් නොවූ කහ වගාවකින් බීජ අල තෝරාගන්න. එමෙන්ම එම අස්වැන්න බිජ අල සඳහා විකිණීම සිදු නොකරන්න.
- කහ වගාවක පඳුරු කහ පාට වීම පවතින්නේ නම්,එම පඳුරු උදුරා හොදින් නිරීක්ෂණය කරන්න. අල මතුපිට කුඩා සිදුරු තිබීම, අල ඇතුළත සුදු / ක්‍රීම් පැහැති පනුවන් සිටීම සමගම අල කුණුවීම යන ලක්ෂණ වලින් එකක් හෝ නිර්ක්ෂණය වේ නම් එම පඳුරු ගලවා රෛසෝම සමගම ගිනි තබා විනාශ කරන්න.
- මැරී ගිය සියලුම පඳුරු ගලවා අලත් සමගම ගිනි තබා විනාශ කරන්න.
- එමෙන්ම අස්වනු නෙළීමෙන් පසු කෘමී හානිය සහිත වූ කහ අල පසු කාලීනව භාවිතයට ගැනීම සඳහා ගබඩා කිරීම නොකළ යුතුයි. එසේ ගබඩා කර තැබීමෙන් කෝෂගත අවස්ථාවේ සිටින අල මැස්සන් කාලයත් සමග පරිනත කෘමින් බවට පත් වී පරසරයට එකතු වෙයි. මෙය ඊළඟ කන්නයේදී කෘමි හානිය ඇතිවීමේ හැකියාවට තව දුරටත් වර්ධනය කරනු ඇත.
කෘෂි රසායන ද්‍රව්‍ය ඉසීම අවම වන අවස්ථාවේදී පරිසරය තුළ බොහෝ හිතකර කෘමින් ගේ ගහනය වැඩිවීම සිදු වේ. මෙම හිතකර සතුන් අතර පරපෝෂිතයන් මෙන්ම විලෝපිකයන්ද සිටින අතර එම සතුන්ගේ ගහනය වැඩිවීම තුළින් කහ වගාවේ පළිබෝධකයන් පාලනය ස්වාභාවිකවම සිදු වෙයි. මේ සඳහා ඔබේ දායකත්වය ලබාදීම පරිසර හිතකාමී පළිබෝධ පාලන ක්‍රම අනුගමනය කිරීම තුළින් ලබා දිය හැකි අතර එය ඔබේ වගකීම මෙන්ම ඔබේ යුතුකම ද වෙයි.

දමයන්ති සමරසිංහ – අධ්‍යක්‍ෂ (විශේෂ පර්යේෂණ),
මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මාතලේ