කුරුඳු අස්වනු නෙළන තාක්ෂණය නිවැරදිව දැනගන්න

වැසි කාලය ආරම්භයත් සමඟ කුරුඳු ගස්වල අලුතින් දළු හටගන්නවා. මේ දළු, ටික දවසක් යනකොට ක්‍රමයෙන් කොළ පාටට හැරෙනවා. මෙම අවස්ථාවේදී පොතු ගැලවීම පහසු වන නිසා අස්වනු නෙළීමට සුදුසුම අවධිය මේ අවස්ථාවයි. අපි කවුරුත් දන්නවා, කුරුඳු ගසේ අලුත් දළු හෝ මල් හෝ ගෙඩි ඇති කාලවල දී පොතු ගැලවීම අපහසුවන බව. කෙසේ වෙතත් පොත්ත වියළීම වළක්වා ගැනීම සඳහා අස්වනු නෙළීමේදී වියළි කාලය මඟහැර කුරුඳු කැපීම මඟින් කුරුඳු පොතු ගැලවීම පහසු වනවා.

අස්වනු නෙළන අවස්ථාව හඳුනාගැනීම

අලුතින් කුරුඳු වගාවක් කරලා අවුරුදු දෙක හමාරකින්- තුනකින් විතර පලවෙනි සැරේට කුරුඳු අස්වැන්න ලබා ගන්න පුළුවන්. එහිදී කුරුඳු පඳුරේ දැකිය හැකි ලක්ෂණ වන්නේ ගහේ පිටත සුඹුල සම්පුර්ණන්ම දුඹුරු පාට වෙලා තිබීම. (ජායාරුප අංක 02 ) එවැනි ප්‍රමාණවත් පරිදි මේරූ කඳන් තෝරලා කැපිය යුතුවෙනවා. අස්වනු නෙලා ගත හැකි තත්ත්වයේ පවතින කඳන් පහකට එකක් බැගින් නොකපා ඉතිරි කළ යුතුයි. එලෙස ඉතුරු කළ කුරුඳු ගස් මගින් තමයි පඳුරේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරලනවා වගේම ඊළග අස්වනු නෙළීමට යොදාගත හැකිවනවා.

දවසේ අස්වනු නෙළීමට සුදුසු කාලය

දවසේ හිමිදිරි උදයේම කුරුඳු කපන්න ඕන. නැත්නම් හිරු එළිය වැටීමත් සමග කුරුඳු ගස් වියලීමට ලක්වෙනවා. එහෙම වුණොත් ඔබට කුරුඳු පොත්ත වෙන්කර ගලවා ගැනීම අපහසු වෙනවා.

අස්වනු නෙළන වාර සංඛ්‍යාව

හොඳ පාලන තත්ත්ව යටතේ වසරකට දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් අස්වනු නෙළා ගන්න පුළුවන්. අස්වනු නෙළීම් දෙකක් අතර කාලාන්තරය වැඩි වීමෙන් ඔබට කිසිදු වාසියක් වන්නේ නැහැ. ඔබට වන්නේ අවාසියක් පමණයි. කාලයත් සමග, කුරුඳු කඳන් මේරීම නිසා දැව ප්‍රතිශතය වැඩි වුවත් පොත්තේ බරෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදු වෙන්නෙත් නැහැ. ඒ වගේම සිහින් කුරුඳු තැලීමේ හැකියාවද අඩු වෙනවා. මෙනිසා ඔබගේ ආදායම අඩු වෙන්න හේතුවක් වෙනවා. කොහොම වුණත් අවුරුද්ද පුරාම අඛණ්ඩව කුරුඳු තලන විදියට කටයුතු සිදු කිරීම තමයි දැන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ. එහිදී අස්වනු නෙළීම වසර පුරාම සිදුකළ හැකි වීම තුළින් වසර පුරාම ආදායම ලබාගත හැකිවෙනවා.

 අස්වනු නෙළීමේ දී අනුගමනය කළයුතු ක්‍රියා පිළිවෙත්

තැලුම් පරීක්ෂාවෙන් අනතුරුව අස්වනු නෙළීම සිදුකිරීම වඩාත් සුදුසු යි. පොළොවේ ඉඳලා අඟල් දෙකහමාරක් ඉහළින් පඳුර ඇතුළට ආනතිය අංශක 45 වන ලෙස තියුණුවට මැද ගත් පිරිසිදු කැත්තකින් කපන්න ඕන. එහෙම කැපුවම තමයි කුරුඳු පඳුරේ පැතිරීම එළියට සිදු වන්නේත් (ජායාරුප අංක 04), අලුත් රිකිලි ඇතිවීමෙන් ගස නොමැරී පවතින්නේත්.

කුරුඳු අස්වැන්න ප්‍රමාණය

වගාවේ වයස, පස, දේශගුණය, ප්‍රවේණි දර්ශ සහ භාවිතා කරන වගා පාලන ක්‍රම අනුව ලැබෙන කුරුඳු අස්වැන්න පුළුල් ලෙස වෙනස් වෙන්න පුළුවන්. ලංකාවේ දැනට පවතින සාමාන්‍ය කුරුඳු කූරු අස්වැන්න වර්ෂයකදී අක්කරයට කිලෝ ග්‍රෑම් 220ක් විතර වෙනවා. එය ප්‍රමාණවත් අස්වැන්නක් නම් නෙවෙයි. නමුත් මනා පාලන තත්ත්ව යටතේ මෙම අස්වැන්න අක්කරයට කිලෝ ග්‍රෑම් 400ක් දක්වා වැඩි කරගන්න පුළුවන්. මෙහිදී නිසි වෙලාවට, නිවැරදිව වගා නඩත්තුව කිරීම තමයි අවශ්‍ය වන්නේ. උසස් කුරුඳු ප්‍රභේද, උදාහරණයක් විදියට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී තිබෙන “ශ්‍රී විජය” හා “ශ්‍රී ගැමුණු” නව ප්‍රභේද භාවිතා කිරීම සහ යහපත් කෘෂිකාර්මික ක්‍රම අනුගමනය කිරීම මගින් මෙය අක්කරයට කිලෝ ග්‍රෑම් 600ක් දක්වා වැඩි කළ හැකියි. පොතු අස්වැන්නට අමතරව එක වසරකට අක්කරයකින් කුරුඳු කොළ අස්වැන්න කිලෝ ග්‍රෑම් 4000ක් පමණ ලබාගන්නත් පුළුවන්. මෙම කොළ අස්වැන්න යොදාගෙන කොළ තෙල් නිස්සාරණය කිරීමෙන් අමතර ආදායමක් ලබාගන්නටද ඔබට අවස්ථාව තියෙනවා.

කුරුඳු අස්වැන්න ඇස්තමේන්තු කිරීම (Yield Estimation)

තමන්ගේ කුරුඳු වගාවෙන් දල වශයෙන් කොපමණ වියළි පොතු ප්‍රමාණයක් ලබාගන්න පුලුවන්ද කියලා කල්තියා ඇස්තමේන්තු කිරීම වගාකරුවකුට ඉතා වැදගත්. මෙය ඔබට පහසුවෙන් කරගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් කුරුඳු කෝටුවක බරෙන් 5-6% ක් වියළි පොතු තියෙනවා. ඔබ පළමුවෙන්ම ඔබේ වගාවෙන් අහඹු විදියට (තැනින් තැනින්) කුරුඳු පඳුරු 10ක් පමණ තෝරාගන්න. ඉන්පසුව ඒ පඳුරු 10 තුල අස්වනු ලෙස කපාගත හැකි කුරුඳු කෝටු කොපමණ තිබේදැයි ගණන් කර බලන්න. මේ ගණන 10න් බෙදීමෙන් එක් පඳුරක තිබෙන අස්වනු ලෙස ලබාගත හැකි සාමාන්‍ය කෝටු ගණන දැනගන්න පුළුවන්. මේ සංඛ්‍යාව වගාවේ තිබෙන මුළු පඳුරු ගණනින් වැඩිකිරීමෙන් ඔබට අස්වනු ලෙස ලබාගත හැකි මුළු කුරුඳු කෝටු ප්‍රමාණය දැනගන්න පුළුවන්. ඊ ළගට ඔබ කළ යුත්තේ අහඹු ලෙස තෝරාගත් පඳුරු වලින් අහඹු ලෙස කෝටු 10-20 ක් පමණ කපා ගැනීමයි. ඒවායේ කොළ සහ ළපටි කොටස් ඉවත්කර එහි බර කිරාගන්න. එමගින් ඔබට එක කෝටුවක සාමාන්‍ය බර දැන ගන්න පුළුවන්. ඒ බරෙන් මුළු කෝටු සංඛ්‍යාව වැඩි කිරීමෙන් අස්වනු ලෙස ලබාගත හැකි මුළු කෝටු බර දැනගන්න පුළුවන්. මෙසේ ලබාගත් මුළු කෝටු බරෙන් විස්සෙන් පංගුවක් එනම් 5 % ක් ඔබට ලබාගත හැකි වියළි කුරුඳු පොතු බරට දළ වශයෙන් සමාන වෙනවා.

  • පඳුරු දහයේ ඇති අස්වනු ලෙස කපාගත හැකි මුළු කෝටු ගණන 30ක් නම්,
  • එම නිසා එක් පඳුරක ඇති අස්වනු ලෙස කපාගත හැකි සාමාන්‍ය කෝටු ගණන=30/10=3
  • ඉඩමේ වපසරිය අක්කර 1ක් නම්, එහි ඇති පඳුරු සංඛ්‍යාව=3600
  • එම ඉඩමෙන් අස්වනු ලෙස කපා ගත හැකි මුළු කෝටු ගණන=3*3600
  • කපා ගත් කෝටු දහයේ මුළු බර=10 kg ක් නම්,
  • එම නිසා එක කෝටුවක සාමාන්‍ය බර= 10/10 (kg)=1kg
  • අක්කරයක ඉඩමකින් ලබාගතහැකි මුළු කෝටු බර= 3*3600* 1 (kg)
  • මුළු කෝටු බරෙන් විස්සෙන් පංගුවක් එනම් 5 % ක් ඔබට ලබාගත හැකි වියළි කුරුඳු පොතු බරට දළ වශයෙන් සමාන වෙනවා.
  • එම නිසා අක්කරයක ඉඩමකින් ලබාගත හැකි වියලි පොතු බර= (3*3600*1)/ 20 (kg)                                                                    = අක්කරයට කිලෝ 540

සටහන – අචිනි විජේවීර, සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) පසු අස්වනු තාක්ෂණ අංශය ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය පලොල්පිටිය, තිහගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *