ගෝලීය කොවිඩ් වසංගතය තුළ ‘කුළුබඩු අපනයනය’ මගින් ඉහළ ආදායමක් ලැබීම විශාල ජයග්‍රහණයක්

2021 අවසානය වනවිට කුළුඩු අපනයන ආදායම තව දුරටත් ඉහළට

කුළුබඩු වර්ග බොහොමයක් සඳහා පැවති ආනයන සීමා කිරීම දේශීය ඉල්ලුම ඉහළ යාමට ප්‍රබල හේතුවක්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී. හීන්කෙන්ද

කෝවිඩ් වසංගතය හේතුකොටගෙන ගෝලීය ආර්ථිකයට මෙන්ම ලංකාවේ ආර්ථිකයටද විශාල බලපෑම් එල්ල වු අතර රටේ බොහෝ අංශවල කඩා වැටීම් දක්නට ලැබුණ නමුත් කුළුබඩු හෙවත් අපනයන කෘෂිබෝග ක්ෂේත්‍රය පසුගිය 2020 වසරට වඩා ආදායම් ඉපැයීම අතින් සිටින්නේ ඉදිරියෙන්. කොවිඩ් වැනි දරුණු ගෝලීය වසංගතයක් හමුවේ මෙය කුළුබඩු කර්මාන්තය ලැබූ ඉතා විශාල ජයග්‍රහණයක් ’’ යැයි අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

අපනයන ආදායම දෙස බැලීමේදී පසුගිය 2020 වසරේ අපේ මුළු ආදායම රුපියල් මිලියන 72,991.98කි. 2020 වසරේ ජූලි අවසානයට වඩා 2021 වසරේ ජූලි මස අවසානය වනවිට මිලියන 15,877ක් ලංකාව ඉදිරියෙන් පසු වේ. 2021 වසරේ දෙසැම්බර් අවසානය වනවිට මෙම අපනයන ආදායම තව දුරටත් ඉහළ යනු ඇත.  2020 වසරේ සමස්ථ අපනයන පරිමාව මෙට්‍රික් ටොන් 51,986 කි.

මෙම වසංගත තත්ත්වය සමඟ ඇතැම් කුළුබඩුවල වටිනාකම ඉහළ ගොස් තිබේ. කහ, ඉඟුරු, සාදික්කා වැනි කුළුබඩු බෝග ඒ සඳහා කදිම නිදසුන් සපයයි. අපනයන කෘෂිබෝග අතරින් මෙම වසරේ කාගේත් වැඩි අවධානය යොමු වුයේ කහ බෝගය පිළිබඳවයි. රු. 50/- ට තිබූ අමු කහ කිලෝව රුපියල් 350/-  ඉක්මවාද, වියළි කහ කුඩු කිලෝවක් රුපියල් 3000/- ඉක්මවාද ඉහළ ගියේය. (රට තුළ කහ හිඟයක් ඇතිවීමට පසුගිය වසරේ කහ ආනයනය සීමා කිරීම සෘජුව බලපා තිබේ.) කහ ආනයනය සීමා කිරීමට පෙර කහ සඳහා වෙළඳපළේ තිබුණේ අඩු මිලකි. එම නිසාම වගාකරුවන් මේ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකළත් කහ හිඟය සමඟ මිල ඉහළයාම නිසා බොහෝ දෙනෙක් කහ වගා කිරීමට මෙම වසරේ පෙළඹුණහ.

දේශීය කහ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන කහ මෙට්‍රික් ටොන් 60,000 ක අස්වැන්නක් එමඟින් නෙලා ගත හැකිය. එසේ වුවහොත් ඉදිරි 2021 වර්ෂය අවසන් වී 2022 වර්ෂය ලබන විට  ලංකාව කහවලින් ස්වයංපෝෂිත වීමේ ඉලක්කය සපුරාගත හැකි වනු ඇත.

මෙම වසර තුළ ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 3500ක පමණ බිම් ප්‍රමාණයක  කහ වගා කිරීම සිදුවෙමින් පවතී.  ලබන ජනවාරි මස සිට කහ අස්වනු නෙළීම ආරම්භ වන අතර ඉන් මෙට්‍රික් ටොන් 63,000ක අස්වැන්නක් අපේක්ෂා කෙරේ. එසේම ලැබෙන එම බිජ අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 4000ක් / 5000ක් බීජ කහ ලෙස ඉදිරි වසර සඳහා වගා කළ යුතු වේ.  

දේශීය කහ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අවශ්‍ය වන කහ මෙට්‍රික් ටොන් 60,000 ක අස්වැන්නක් එමඟින් නෙලා ගත හැකිය. එසේ වුවහොත් ඉදිරි 2021 වර්ෂය අවසන් වී 2022 වර්ෂය ලබන විට  ලංකාව කහවලින් ස්වයංපෝෂිත වීමේ ඉලක්කය සපුරාගත හැකි වනු ඇත.

මෙම කුළුබඩු ආහාර රසවත් කිරීමට පමණක් නොව ඖෂධ ලෙස කෝවිඩ් රෝගයෙන් වැළකෙන්නට යොදා ගත හැකිවීම එයට හේතුවයි. ඉහත සඳහන් කුළුබඩු බෝග මඟින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරන බවට ආයුර්වේදයේ සඳහන් වේ. එමෙන්ම කහ විශබීජ නාශන ගුණයෙන් යුක්ත බවට විශ්වාසයක් පවතී. එමනිසා කෝවිඩ් රෝගයේ ව්‍යාප්තියත් සමඟ මෙම කුළුබඩු පරිභෝජනය සඳහා තිබු දේශීය ඉල්ලුම මෙන්ම විදේශීය ඉල්ලුමද ඉහළගොස් තිබේ.

“කෝවිඩ් රෝගය ව්‍යාප්තියට අමතරව දේශීයව වගා කළ හැකි කුළුබඩු වර්ග බොහොමයක් සඳහා පැවති ආනයන සීමා කිරීම දේශීය ඉල්ලුම ඉහළයාමට බලපෑ තවත් කාරණයක්. එමෙන්ම විදේශ වෙළඳපළට කුළුබඩු වැඩි වශයෙන් සැපයු ඉන්දියාව වැනි රටවල අපනයන කෘෂි ආර්ථිකය කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ කඩා වැටීමට ලක්වුවත්  වාසනාවකට මෙන් අපේ රටේ එවැනි තත්ත්වයක් ඇති වුයේ නැහැ. අපේ රටේ සුළු පසුබෑමක් ඇති වුණේ පළමු කොවිඩ් රැල්ල හටගත් මාර්තු මාසයේදී පමණයි. විදෙස් රටවල් අපේ අපනයන කෘෂිබෝග විශ්වාසයෙන් යුතුව මිලදී ගත්තා. අපේ කුළුබඩු බෝගවල ඉල්ලුම අඛණ්ඩව තිබුණා. මේ සියළු කාරණා අපනයන කෘෂිබෝග ආදායම ඉහළ නැංවීමට හේතු වුණා” යැයි අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

සාකච්ඡා සටහන –  දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු, මාධ්‍ය හා සන්නිවේදන අංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *