තරුණ කෘෂි ව්‍යවසායක ඔබට: ‘දැනගෙන වවමු – ජීවිතය ජය ගනිමු‘

දැනගෙන ගියොත් කතරගම – නොදැන ගියොත් අරමග කියලා කතාවක් අපි අතරේ තිබෙනවා. ඒක ඇත්තටම ප්‍රායෝගිකත්වය ගැන නිසි වැටහීමක් තිබූ අපේ පැරැන්නෝ බොහොම දුරදිග හිතලා බලලා කියපු කතාවක්. අපි මේ කියන්න යන්නෙත් ඒ වගේම කතාවක්. වෙනස මේ කතා කරන්නේ ‘වගා කිරීම‘ ගැනයි. විශේෂයෙන් තරුණ කෘෂි ව්‍යවසායකයින්ට මේ දැනුම අතිෂයින් වැදගත් විය හැකියි. ඒ නිසා මෙම ලිපිය අවසාන වන තෙක් කියවන්න. මේ ලිපිය සදහා අවශ්‍ය මග පෙන්වීම ලබා දෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන (III), ආර්.කේ.ඩබ්. රන්කෙත්කුඹුර මහතා විසින්.

  • හොඳයි, මට ඉස්සරවෙලාම කියන්න පුළුවන්ද ඇයි අපි වගා කරන්නේ කියලා?

අපි වගා කරන්නේ බොහෝවිට ආහාර සදහා. හැබැයි වගාකරුවන් වගා කරන්නේ ඔව්න්ගේ ආහාර සදහා නෙවෙයි. ටිකක් ඇවිදලා බැලුවොත් තේරෙයි බෝහෝ ඉඩම්වල මොනවා හරි බෝගයක් වගා කරලා තියෙනවා. අපි එක බෝගයක් බැලුවොත්, සමහර ඒවාගෙ හොඳටම අස්වැන්න තියෙනවා. සමහර ඒවගෙ අස්වැන්න ටිකක් තියනවා. සමහර ඒවාගෙ අස්වැන්නක් ඇත්තෙම නෑ.

ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියලා බැලුවොත් තේරෙයි, මේ එක් එක් ගහට අවශ්‍ය දේවල් ලැබිල තියෙන්නේ වෙනස් විදිහට කියලා. බහුතරයක් අය කරන්නේ කොතන හරි වත්තක තියෙන හොඳ පලදාවක් දැක්කම ඒක හදනවා. නැත්නම් තව කෙනෙක් වගා කරනවා කියලා දැක්කම ඒක කරනවා. එහෙම නැත්තං ආධාර දෙනවා කියලා, නොමිලේ දෙනවා කියලා හදනවා. එහෙම හදන බහුතරය ගෙන්, බෝගයෙන් ගන්න පුළුවන් උපරිම අස්වැන්නක් ගන්න ඕන කියලා හිතලා හදන කී දෙනෙක් ඇත්ද?

ඒ වගේම මේ බෝග හරි විදිහටම හදන්නේ කොහොමද කියලා මුල ඉඳන් දැනගෙන, අස්වැන්න නෙළලා, ලස්සනට සකස් කරලා වෙළෙඳපොළට යවලා, හොඳ ආදායමක් ගන්න හැටි දැනගෙන වගා කරන්නේ කී දෙනාද? බොහෝ අය වගා කරන බෝගයෙන් ගන්න පුළුවන් උපරිම අස්වැන්න කොච්චරද කියලා දන්නෙ නෑ. උපරිම අස්වැන්න ගන්න, කරන්න වුවමනා දේ හරියට දන්නෙ නෑ. බොහෝ දෙනෙක් වගා කරලා හැදෙන දේ ගන්නවා මිසක් බෝගයට අවශ්‍ය දේවල් හරියට දීල අපිට අවශ්‍ය දේ ගන්නෙ නෑ. පුරුද්දට හෝ කරන්නන්වාලේ වගා කරනව මිසක් නියම තාක්ෂණය උපයෝගී කරගන්නෙ නෑ.

අපි ඇත්තටම වගා කරන්න ඕනා අරමුණක් ඇතිව, ඉඩමෙන් උපරිම ලාභයක් ගන්න පුළුවන් බෝගය හදුනාගෙන, එයින් ගන්න පුළුවන් උපරිම අස්වැන්නක් ගෙන උපරිම ආදායමක් ගන්න. ඒ සදහා බෝගයට අවශ්‍ය දේවල් දිය යුතුයි. ඒ සදහා සැලැස්මක් තිබිය යුතුයි.

උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු ගම්මිරිස් වගා කරලා ආදායමක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් කියලා. ඉතින් වගාකරු දන්නේ නැත්තං ඒකෙන් ගන්න පුළුවන් උපරිම අස්වැන්න කොච්චර ද කියල, වගාකරුට නිෂ්චිත අරමුණක් නෑ. එතකොට ඔහුට ගන්න වෙන්නෙ හැදෙන දේ විතරයි.

අපි හිතමු  අක්කරයක් ගම්මිරිස් වගා කරලා (වැල් 680ක්) වියලි  500 Kg  (අමු 1500Kg) හැදුව කියල. එකක් රු. 700.00 ගානෙ වික්කොත් රු. 350 000.00ක්. මේ ගාණ ගන්නකොට මෙයා හිතනවා මේක ලොකු ගාණක් කියලා.ඔබටත් එහෙම හිතෙන්න ඇති. ඒ වගේම වටේ පිටේ ඉන්න අනිත් අයත් දකිනවා ලොකු අස්වැන්නක් ගත්තා කියලා. හැබැයි මේ අය දන්නේ නෑ මේකෙන් ගන්න පුළුවන් අස්වැන්න කොච්චරක් වගාකරු නැති කරගෙන තියෙනවා ද කියලා.

අපි කියන්නේ නඩත්තු නරක හොද ගම්මිරිස් වැලකින් වසරකට කිලෝ තුනක් වේලන්න පුළුවන් කියලා. ඒ වගේම සමහර වෙලාවට කිලෝ දහයක් ගන්න වැල් තියෙනවා. තනි උස ගස් වලට ගිය වැලකින් කිලෝ 15-20 ගන්නවා. එකකින් මේ වගේ ගන්න පුළුවන්  නම් අනිත් වැල් වලින් එහෙම ගන්න බැරි වෙන්න විදිහක් නෑ. වැලකින් කිලෝ තුනක් ගත්තොත් වැල් 680කින් 2000Kg විතර වේලන්න පුළුවන්. එතකොට දැන් ගත්තෙ 500 Kg නම්, අවුරුද්දකට 1500 Kgක් මේ වගාකරු අහිමිකරගෙන තියෙනවා.සාමාන්‍යයෙන් අවු. 30-40ක් ගම්මිරිස් වැලකින් අස්වැන්න ගන්න පුළුවන්. එතකොට මේ වගාකරු මේ වගාවෙන් 45 000 Kg (1500 Kg x 30)ක් රු.31 500 000.00 (තුන්කොටි පහලොස් ලක්ෂයක්) අහිමිකර ගන්නවා. මේ මුළු මුදලම වගාකරුගේ ලාභය.

එහෙමනම් අපි ඇත්තටම වගා කරන්න ඕනා අරමුණක් ඇතිව, ඉඩමෙන් උපරිම ලාභයක් ගන්න පුළුවන් බෝගය හදුනාගෙන, එයින් ගන්න පුළුවන් උපරිම අස්වැන්නක් ගෙන උපරිම ආදායමක් ගන්න. ඒ සදහා බෝගයට අවශ්‍ය දේවල් දිය යුතුයි. ඒ සදහා සැලැස්මක් තිබිය යුතුයි.

  • හොදියි. එහෙනම්, වගාවක් කරන්න සැලසුම් කරගන්නේ කොහොමද?

ප්‍රධාන දේ තමයි, තමන්ගේ ඉඩමට, තමන්ගේ ප්‍රදේශයට ගැලපෙන බෝගය මොකක්ද කියලා තීරණය කරන එක. උදාහරණයක් ගත්තොත් ඉඩම තියෙන්නේ නුවරඑළියේ නම් අපිට කුරුඳු වගා කරන්න බෑ. නුවරඑළියේ උච්චත්වයට, දේශගුණයට ගැලපෙන කොපි වගේ භෝගයක් තෝරා ගන්න පුළුවන්.

ඒ වගේම  අධික හෙවන තියෙන ඉඩමක් නම් මේ හෙවන අයින් කරන්නේ නැතුව අපිට කුරුඳු, ගම්මිරිස් වගේ ආලෝකය ප්‍රියකරන බෝගයක් හදන්න බෑ. වැනිලා, කරඳමුංගු වගේ බෝගයක් වවන්න පුළුවන්.

  • තින් මේ දැනුම ගන්නේ කොහොමද?

ඒක තමයි මම ඊලගට කියන්නේ. ඒකට තමයි කෘෂිකාර්මික දැනම ඇති නිලධාරීන් ඉන්නෙ. අපනයන කෘෂි බෝග හදනවනම් අපේ නිළධාරීන්ගෙන් නොමිලේම තාක්ෂණික දැනුම ගන්න පුළුවන්. නොමිලේ දෙන නිසා මිනිසසුන්ට ඒකෙ අගයක් නෑ. ඒ වගේම තමයි දැන් අන්තර් ජාලයෙන් ලේසියෙන්ම දැනුම ගන්න පුළුවන්.

  • ඉතින් ගොවියන්ට අන්තර් ජාලයෙන් දැනුම ගන්න තේරෙන්නෙ නෑනෙ.

   ඔබ හිතන ගොවියා වගා කරන හැටි තමයි මම ඉස්සරවෙලාම කිව්වෙ. මම කියන්නෙ ව්‍යවසායකයෙකුට. වගාකරුවා ව්‍යවසායකයෙක් උනොත් විතරයි මම අර ඉස්සරවෙලා කිව්ව අහිමිකරගන්නා කෝටිගාන, ආදායමක් විදිහට අරගන්නෙ. ව්‍යවසායකයෙක් විදිහට වගා කරල ආදායමක් ගන්නවනම්, වගාව පිළිබද හසල තාක්ෂණික දැනුමක් ලබාගෙන ක්‍රමානුකූලව වගා කල යුතුයි. දන්නවා කියල හිතල වගා කරාට, ගොඩක් අය හරියට දන්නෙ නෑ.

  • ඔබ කීවා සැලැස්මක් තිබිය යුතුයි කියලා  

ඔව්. වගා කරන්න සැලැස්මක් හදා ගන්න ඕනා. ඉඩම සුද්ද කරන්න, පාංශු සංරක්ෂණය කරන්න, වලවල් කපන්න, කාබනික පොහොර නිෂ්පාදනය හෝ ලබා ගැනීම, පැළ සිටවීම, වල් පැළ පාලනය, නඩත්තුව, කප්පාදුව,පොහොර යෙදීම ආදී සියල්ලටම කාලරාමුවක් සකසා ගත යුතු යි.  එතකොට නියම කාලයට වගා කරගන්න පුළුවන් වෙනවා. වැස්ස ආරම්භයත් සමගම වගාව ආරම්භ කලොත් සාර්ථකව වැ‌ඩෙන ප්‍රතිශතය වැඩියි.

ඒ වගේම තමයි ඉඩම සැලැසුම් කරගත යුතුයි. ඉඩමේ උපරිම ඵලදායිතාවයක් ලබා ගැනීමට ප්‍රධාන බෝගය සමග සාර්ථකව වගාකල හැකි අතුරු බෝග ඇත්නම් ඒවා සිටවන ආකාරය සැලසුම් කළ යුතුයි. වැටට පුවක් වැනි ආර්ථික බෝගයක් යෙදීමට සැලසුම් කළ හැකියි. ඒවගේම ගල් බහුල කොටසක් තියෙනවා නම් එතන ප්‍රයෝජනයට ගත හැකි සුදුසු ආර්ථික බෝගයක් (සාදික්කා වැනි) වගා කිරීමට සැලසුම් කළ හැකියි.

  • ඔබ හිතන විදිහට ඊළගට කරන්න ඕන වැදගත්ම දේවල් මොනවාද?.

ඊලග එක තමයි ඉඩම සකස් කරන එක. බෝගයට ගැලපෙන විදියට ඉඩම සකස් කරන්න ඕන. උදාහරණයක් විදිහට, ගම්මිරිස්  හෝ කුරුඳු හදනවනං ඒවා ආලෝකය ප්‍රිය කරන බෝග නිසා, සෙවන සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන. හැබැයි බහුතරයක් කරන්නේ අපිට ඕන ගස්  ඉතුරු කරනවා. බාගෙට හැදුන ගස්වල අතු කපල ගස ඉතුරු කරනවා. ඉතින් වගාකරල මාස 6-8 යනකොට අර අතු හැදිලා හොදටම සෙවන. ගහට වැලට ඕන ආලෝකය හම්බ වෙන්නේ නෑ. ඒ අතු කපන්න සෑහෙන මුදලක් යනවා. අතු වැටිල වගාවත් විනාශ වෙනවා. එතකොට අස්වැන්න අඩුයි.වියදම වැඩියි. ඒ නිසා නිසි පරිදි ඉඩම හැදුවොත් සාර්ථක වගාවක් හදාගන්න පුළුවන්.

ඒ වගේම තමයි හා පාංශු සංරක්ෂණ ක්‍රම. ඉතින් මේ සඳහා කාණු දාන්න, ගල්වැටි දාන්න, නෙත්ති කාණු හදන්න, දෙවැටි හදාගන්න වෙනවා. මේ වගේ පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න ඕන. අපි හිතමු කුරුඳු වගා කරනවා කියලා. මෙයින් අවුරුදු 80-90ක් අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් මේ අවුරුදු 80-90ටම  ඉඩමට ගල්වැටියක් දාන්න ඕන එක පාරයි. කාණුවක් කපන්න වෙන්නෙ එක පාරයි. හැබැයි මේ යන වියදම ගැන හිතලා ගොඩක් අය මේක හරියට කරන්නෙ නෑ. මතුපිට තියෙන සාරවත් පස් තට්ටුව ඉවත් වුනාම අවුරුදු 80-90ක්ම ගන්න අස්වැන්න ප්‍රමානය අඩුවන බව දන්නෙ නෑ. හිතෙන්නෙ නෑ.

ඊළග එක තමයි වල කපන එක.ඒ ඒ බෝගයට ගැලපෙන වලේ ප්‍රමාණයක් තියෙනවා. අපි කියන්නේ නියමිත ප්‍රමානයට වල කපල, කාබනික පොහොර කූඩයක් දෙකක් අරගෙන මතුපිට පස් එක්ක කලවම් කරල වල පුරවන්න කියලා. මෙකත් කරන්න වෙන්නෙ එක සැරයයි. ඒත් වගාකරුවන්ගෙන් කීදෙනෙක් මේක කරනවද?

ගම්මිරිස් හදනවා නම්, ආධාරකය ඉතාම වැදගත්. මේ මත  තමයි මුළු වගාවම රැදිල තියෙන්නේ. ඉතින් නියමිත ප්‍රමානයෙන් ආධාරකය හිටවන්න කිවුවට ගොඩාක් වගා කරුවන්, තියෙන කෝටු හිටවනවා. මේකෙ වටිනාකම දන්නෙ නෑ.

ඊලග එක තමයි පැළ/දඩු.  හොඳම රෝපණ ද්‍රව්‍ය (පැළ/දඩු) සිටවන්න  ඕන. ගම්මිරිස් අවුරුදු හතලිහක් විතර ආදායමක් ගන්න හදන්නේ. කුරුඳු අවුරුදු 80-90ක් ආදායමක ගන්න පුළුවන්. අපි හොඳ පැලයක් හැදුවේ නැත්නම් අපිට ඒ කාලය පුරාම අස්වැන්න නැති වෙනවා හෝ අඩු වෙනවා. අපිට ගන්න පුළුවන් උපරිම අස්වැන්න ගන්න නම්, ඉතා ඉහල ගුණාත්මයෙන් යුක්ත පැළ තෝරගන්න අපි දැනගන්න ඕන. උදාහරණයක් ගත්තොත් වගාකරුවා දන්නේ නත්නම් කොළ දෙකක් තියෙන පැළයද ද කොළ තුනත් තියෙන පැළයද කොළ පහක් තියෙන පැළයද හොඳ කියලා, තවාන් කරු දෙන පැළය අරගෙන යනවා. ඉතින් මේකේ ලෙඩ තියෙනවද ලෙඩ නැද්ද, මොනවද තියෙන ලෙඩ කියලා දන්නේ නෑ. ගම්මිරිස් හදන කෙනෙක් නං පැළ 100ක් ගන්නකොට වයිරස් පැල දහයක් තිබ්බොත් එම මුළු වගාවම ඒකෙන් ඉවරවෙන්න පුළුවන්.

  • මම හිතුවෙ ව්‍යවසායකයෙකු විදිහට වගා කරන්න නම් ලොකු ලොකු දේවල් කරන්න ඇති කියලා. නමුත් ඔබ කියන්නේ ඉතාම සරල කාරණා ටික්ක නේද?

ඔව්. ඔබ ඉතාමත් නිවරැදියි. නිවසක් හදනකොට ශක්තිමත් අත්තිවාරමක් දැම්මෙ නැත්නම් වෙන්නෙ මොකක්ද කියල ඔබට කියන්න ඕන නෑනෙ. අපනයන බෝගත් අවුරුදු ගානක් අස්වැන්න ගන්න පුළුවන් නිසා වගාවේ මුල වරද්ද ගත්තොත් ඉවරයි.  මේ ඉතාම සරල කාරණා ටික කරන්නෙ නැතුව පාඩු කරගන්න ගාන කෝටි ගානක්.මේ ටික හරියට කරල තිබුනොත් ඊලගට කරන්න තියෙන්නෙ නිවරැදිව නඩත්තු කරන එක විතරයි. ඒකට යන වියදම හා කාලය ඉතා අඩුයි. නිවරැදිව වගා කලේ නැත්නම් නඩත්තු වියදම වැඩියි. ආදායම අඩුයි.

  • වගා කරන්න ඉඩමක් තියෙන තරුණ කෘෂි ව්‍යවසායකයන්ට ඔබට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?

ව්‍යවසායකයෙක් කියන්නේ අවම කාලයක්, ශ්‍රමක්, මුදලක් වැය කර උපරිම ලාභයක් ලබන්න ව්‍යාපාරයක් කරන කෙනෙක්.  ශ්‍රී ලංකාවේ අපනයන බෝග සියල්ලටම වාගේ ලෝක වෙළදපොලේ හොද ඉල්ලුමක් හා මිලක් තියෙනවා. මේ ඉල්ලුම වාර්ෂිකව ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒ නිසා අපනයන බෝග වගා කිරීමට ආයෝජනය කරල ඉතා ඉහළ ස්ථිර ආදායමක් වාර්ෂිකව ලබා ගන්න පුළුවන් විදිහට ඉඩම හදාගන්න පුළුවන්. ඒවගේම තමයි, අපනයන බෝග වගා කරන්න, නඩත්තු කරන්න ලොකු වියදමක් යන්නෙ නෑ. වෙනත් රැකියාවක් කරන ගමන් උනත් අමතර අදායමක් ගන්න පුළුවන්. හරියට හදා ගත්තොත් අවුරුද්දකට සැරයක් වටිනා මැණිකක් හම්බවෙනවා වගේ තමයි.  ලොකුගානක් එකවර ගන්න පුළුවන්.

  • දැන්නම් මටත් හිතෙනව වගා කරන්න.ඒත් මට තියෙන්නෙ පුංචි ඉඩමක් නෙ. මගෙ වගේ පුංචි ඉඩමක් තියෙන අයට ආදායමක් ගන්න අපනයන බෝග වලින් බැරිද?

ඇයි බැරි වෙන්නේ, ඔබේ ඉඩමට අවුව වැටෙනවනම්, වතුර තියෙනවනම් හදන්නකෝ වැට වටේට පුවක් ටිකක්. රට පුවක් ටිකක් හැදුවොත් අවුරුද්ද පුරාම ගෙඩි තියෙනවා. හරියට හැදුවොත් හොද ගානක් ගන්න පුළුවන්. ගම්මිරිස් වැල් 3-4ක්, වැනිලා වැල් ටිකක් හදාගන්නකෝ. භූමිය හරියට කළමනාකරණය කලොත්, සෑහෙන ආදායමක් ගන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන්. දැන් බලන්න ගෙදරට වෙලා ඉන්න කොල්ලො කෙල්ලො. ඩේටා කාඩ් එක ගන්නෙත් දෙමාපියන්ගෙන්නෙ. හරියට ගම්මිරිස් වැල් 3-4ක් හදාගත්තනම් අවුරුද්දටම හරියන ඩේටා ටික ඒකෙන් ගන්න පුළුවන්නෙ. හැබැයි වැදගත් වෙන්නෙ හදන්නන්වාලෙ හදන්නෙ නැතුව දැනගෙන හදන්න ඕන.

  • අළුතින් වගාවක් පටන්ගන්න හිතාගෙන ඉන්න කෙනෙකුට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මොනවද දෙන්න පුළුවන්?

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වගාකරුට අවශ්‍ය තාක්ෂණික සහාය නොමිලේම දෙනවා. ඉඩමට ඇවිල්ලා අවශ්‍ය උපදෙස් ටික දෙනවා. අවශ්‍ය පැළ නොමිලේම දෙනවා. තවත් සේවාවන් ගොඩක් තියෙනවා.

  • අවසාන වශයෙන් ඔබට තව මොනවා හරි කියන්න තියෙනවාද?

ලංකාවේ ගොඩාක් අය ඉල්ලමක් ලග තියාගෙන දුක් විදිනවා.මේක පාදාගන්න අපේ ලගට එන්න.අළුත් විදිහට හිතලා සාධාරණ දෙයක් කරලා රටටත් විදේශ විනිමය ගෙනෙල්ලා සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන් කාටවත් කරදරයක් නොකර. ඉඩම්වල හරියට වගාකලොත් අපේ ජනතාවගේ ජීවිත මීට වඩා අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා.

  • හොදයි, කාටහරි මේ පිළිබද ඔබෙන් වැඩි විස්තරයක් දැනගන්න ඕන නම් ඔබව සම්බන්ධ කර ගන්නේ කොහොමද?

ආර්. කේ. ඩබ්. රන්කෙත් කුඹුර, අධ්‍යක්ෂ (සංවර්ධන) iii, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, 1095, නුවර පාර, පේරාදෙණිය. 0812 388362/ 071448991, ranketh@gmail.com

ආර්.කේ.ඩබ්. රන්කෙත්කුඹුර, අධ්‍යක්ෂ සංවර්ධන (III) – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *