ගම්මිරිස් වැලකින් අස්වනු නෙලාගැනීමට සුදුසුම අවධිය වනුයේ මල් පිපී මාස 8 – 8 1/2 පමණ ගතවූ පසුවයි. නමුත්, මල් පිපී මාස 4 – 4 1/2 වැනි කාල සීමාවකදී නොමේරූ, නැතහොත් බුබුළු ගම්මිරිස් අස්වනු නෙලීමට ඇතැමුන් පෙළඹී සිටිනවා.
ඒ අනුව, වියළි ගම්මිරිස් කිලෝ ග්‍රෑම් එකක් සකස් කර ගැනීම සදහා අවශ්‍ය වනුයේ නිවැරදි කාල සීමාව උදාවූ පසු නෙලාගනු ලබන හොදින් පැසුණු ගම්මිරිස් කිලෝ ග්‍රෑම් 3 – 3 1/2 පමණය. (ඇට ලෙසට සැලකූ විට එය 18,000 – 21,000 පමණ වේ.)
නමුත් බුබුළු ගම්මිරිස් නෙළාගනු ලැබුවහොත් ඉන් අමු කිලෝ ග්‍රෑම් 5 – 6 අතර ප්‍රමාණයක් වියළි ගම්මිරිස් කිලෝ එකක් ලබා ගැනීමට අවශ්‍යවේ. (ඇට ලෙසට සැලකූ විට එය 50,000 – 70,000 පමණ වේ) බුබුළු ලෙස ගම්මිරිස් නෙලීමෙදී ගම්මිරිස් ඇටය පිරී පවතින්නේ 30 % පමණ ප්‍රමාණයක් පමණි.
මෙලෙස බලන විට බුබුළු ගම්මිරිස් අස්වනු නෙළීම මගින් නිරපරාදේ වැඩි අස්වනු ප්‍රමාණයක් අහිමි කරගැනීමට ගොවීන්ට සිදුවනවා.

බුබුළු ගම්මිරිස් ලෙස අස්වනු නෙළනු ලබන්නේ, ගම්මිරිස් වල අන්තර්ගත තෙල් සහ ඔලියොරෙසින නිස්සාරණය කර ගැනීමේ අරමුණින් වන අතර, මෙලෙස බුබුළු ගම්මිරිස් භාවිතා කරමින් තෙල් සහ ඔලියොරෙසින නිස්සාරණය විදේශ රටවලට ඉතා වාසිදායක තත්වයක් බවට පත්වී තිබෙනවා.
තමන්ට අවශ්‍ය නොමේරූ ගම්මිරිස් තොග ලබා ගැනීම සදහා යොදනු ලබන උපක්‍රමය වන්නේ දේශීය තොග වෙළදුන් හරහා බුබුළු ගම්මිරිස්වල මිල මදක් වැඩිකර ගොවීන් බුබුළු ගම්මිරිස් නෙළීම සදහා පෙළඹවීමයි. මෙම උගුලට හසුවන ගොවීන් වැඩි අදායමක් ලබාගත හැකි යැයි සිතා නොමේරූ ගම්මිරිස් නෙළීමට පෙළඹෙයි. මෙලෙස පැසීමට පෙර අස්වනු නෙලීම පෙර සදහන් කළ පරිදි වගාකරුවන්ට විශාල ලෙස අස්වනු අහිමිවීමක් හා අදායම අහිමි වීමක් සිදුවෙයි.

ජාතික වශයෙන් සැලකූවිට වාර්ෂිකව ඉතා විශාල විනිමය ප්‍රමාණයක්ද රටට අහිමිවී යයි.
සමස්තයක් වශයෙන් ගත්කල බුබුළු ගම්මිරිස් නෙළීම නිසා ගොවියාට ලබාගත හැකි අස්වනු ප්‍රමාණයෙන් 65% සිට 70% දක්වා ප්‍රමාණයක් අහිමිවන අතර ගොවියා සත්‍ය වශයෙන්ම ලබා ගන්නේ තමාට ලබාගත හැකිව තිබූ අස්වැන්නෙන් 25% සිට 35% දක්වා ප්‍රමාණයක් පමණි. මේ නිසා ගොවීන්, තමාට ලබාගත හැකි ආදායම විශාල වශයෙන් අඩු කර ගනී.
මෙම කරුණු අනුව පෙනී යන්නේ හොදින් මේරූ ගම්මිරිස් පමණක් නෙලා ගතහොත් තමන්ට බුබුළු ගම්මිරිස් නෙළීමෙන් ලබන ආදායම මෙන් දෙතුන් ගුණයක ආදායමක් ලබා ගත හැකි බවයි.
මේ නිසා ගොවි මහතුන් හොදින් මතකයේ තබා ගත යුතු කරුණ වන්නේ විවිධ උපක්‍රම වලට හසු නොවී පැසුණු ගම්මිරිස් නෙලා තමාගේද මාතෘ භූමියේද ආදායම දෙගුණ තෙගුණ කර ගැනීමට ක්‍රියා කිරීමයි.

එච්. ඒ. එල්. සමිත්‍රී
ව්‍යාප්ති නිලධාරිනී (1920 කෘෂිකර්ම උපදේශන සේවාව), අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව