බුලත් වගාවේ පොහොර මාරයා

අධික මාත්‍රාවෙන් රසායනික පොහොර යෙදීමෙන් සිදුවන්නේ මුදල් නාස්තිය හා වගාව විනාශයට පත්වීමේ අනතුරක් ඇති කර ගැනීම පමණයි. පොහොර වැඩියෙන් යෙදූ නිසාම ඒවා බුලත් වැලට උරා ගැනීමක් සිදුවන්නේ නැහැ. 

බුලත් වගාවට පොහොර යෙදීම ගැන බොහෝ ගොවීන්ට ඇත්තේ අනවබෝධයක්. ඒ බව නිරීක්ෂණය වන්නේ ඔවුන් කියන කරන දේ වලින්. බොහෝ අය වෙළදපොලෙන් මිලට ගත හැකි විවිධ සන්නාම නාම යටතේ ඇති පොහොර වර්ග ගෙනවිත් තොග පිටින් වගාවට යොදන බවක් දකින්නට පුළුවන්. එසේම සත්ව පොහොර, කොළ පොහොර හා කොම්පෝස්ට් යොදා හොඳින් බුලත් වැවිය හැකි බව අමතක කරන්නේ ඕනෑකමින්මයි.

බුලත් වගාවට පොහොර යෙදීමේ දී මතකයේ තබා ගත යුතු වැදගත්ම කාරණාව වන්නේ නයිට්‍රජන් අඩංගු පොහොර වර්ග වැඩිවුවහොත් වගාවට එමගින් හානියක් වන බවයි. බුලත් වගාවට බහුල වශයෙන් වැළදෙන, මෙතෙක් මර්දනය කරන බෙහෙතක් සොයාගෙන නැති බැක්ටීරියා කොළ පුල්ලි රෝගය තදින් පැතිර යෑමට උත්ප්‍රේරකයක් ලෙස නයිට්‍රජන් ක්‍රියා කරන බව සොයාගෙන තිබෙනවා. එනිසා නයිට්‍රජන් අඩංගු යූරියා පොහොර වර්ගය බුලත් වගාවට යෙදීමේ දී බෙහෙවින් පරිස්සම් වීම වැදගත්.

නමුත් බොහෝ ගොවීන් ආවට ගියාට යොදන වෙළෙදපලෙහි ඇති රසායනික පොහොර වල නයිට්‍රජන් අඩංගුව ගැන සතුටුවෙන්න බැහැ. වගාව ඇත්තටම හොඳින් වර්ධනය වන නිසා බොහෝ සමාගම් නයිට්‍රජන් අඩංගුව මඳක් ඉහළ දමා එම පොහොර නිෂ්පාදනය කිරීම උපක්‍රමයක්. එවිට වගාව හොදින් වර්ධනය වන අතර පොහොර වර්ගය ගොවීන් අතර ලබා ගන්නේ ඉහළ ජනප්‍රියතාවක්. නමුත් ඒ සමගම වගාවේ මාරයා ඒ පොහොර තුළ සැගවී සිටින්නට පුළුවන්. ඊට හේතුව නයිට්‍රජන් වලින් බැක්ටීරීයා කොළ පුල්ලි රෝගය පැතිර යෑම උත්ප්‍රේරණය වන නිසයි.  මේ හේතුව නිසා වෙළෙදපලෙන් පහසුවෙන් මිලට ගත හැකි විවිධ සන්නාම යටතේ ඇති රසායනික පොහොර යෙදීමෙන් වැළකීම විශේෂයෙන් වැදගත්.

ඒ වෙනුවට කළ යුත්තේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත මූලික පොහොර මාත්‍රාව යෙදීමයි.  ඒ අනුව බුලත් ඉනි 100කට යූරියා ග්‍රෑම්ස් 195, ත්‍රිත්ව සුපර් පොස්පේට් ග්‍රෑම්ස් 65, මියුරේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑම්ස් 100 හා කීසරයිට් ග්‍රෑම්ස් 60 ගෙන හොඳින් කලවම් කර යෙදීම සඳහා සකස් කර ගැනීම සුදුසුයි. බුලත් ඉන්නකට පැළ දෙකක් සිටුවන බැවින් බුලත් ඉනි සියයක පැළ 200ක් පවතින නිසා ඉහත සඳහන් කළ පොහොර මිශ්‍රණය එනම් ග්‍රෑම්ස් 420 යොදන්නේ පැළ දෙසීයකට. ඒ අනුව එක බුලත් ඉන්නකට යොදන්නේ පොහොර මිශ්‍රණයෙන් ග්‍රෑම්ස් 4.20 වැනි අල්පයක්.

අපනයනය සඳහා සකස් කර ගන්නා කළු බුලත් සඳහා රසායනික පොහොර යෙදීම අනිවාර්යක්. නමුත් දේශීය පාරිභෝජනයට සකස් කර ගන්නා සුදු බුලත් සඳහා රසායනික පොහොර අනිවාර්ය නැහැ.  කළු බුලත් හෝ සුදු බුලත් හෝ කවරක් නිෂ්පාදනය කළත් සත්ව පොහොර හා කොම්පෝස්ට් වැනි කාබනික පොහොර මාස දෙකකට වරක් යෙදීම වඩාත්ම සුදුසුයි.

තනිකර රසායනික පොහොර යොදනවාට වඩා කාබනික පොහොර සමග රසායනික පොහොර යෙදීම වඩා ඵලදායි බවයි සොයාගෙන ඇත්තේ. ඒ අනුව කාබනික පොහොර සමග මිශ්‍ර කර අදාළ රසායනික පොහොර නිර්දේශිතය වගාවට යොදන්නට පුළුවන්.  ඒ නිසා රසායනික පොහොර ශාඛයට උරා ගැනීමේ හැකියාව වැඩි කරන අතර පසෙහි වයනය ද හිතකර ලෙස සකස් කෙරෙන බව සොයාගෙන ඇති වැදගත් කරුණක්.

හැකි සෑම විටම කාබනික පොහොර වලින් බුලත් වගා කළ යුතු අතර කළු බුලත් නිෂ්පාදනයට පමණක් නිර්දේශිත මාත්‍රයෙන් රසායනික පොහොර යෙදීම දකින්නට පුළුවන්. එහිදී කළු බුලත් අස්වැන්න නෙලන සති තුනේ වාරයේ දී බුලත් අස්වැන්න නෙලූ වහා රසායනික පොහොර දමා හොදින් ජලය යෙදීම සාර්ථක අස්වැන්නක් සඳහා අත්‍යවශ්‍යයෙන් ම කළ යුත්තක්.

කාබනික පොහොර වශයෙන් හොඳින් සකසා ගත් කොම්පෝස්ට් මෙන්ම ගොම, එළු පොහොර වැනි සත්ව පොහොර ද යොදන්නට පුළුවන්. එහෙත් කුකුල් පොහොර යෙදීම සුදුසු නොවන්නේ එහි අඩංගු අධික නයිට්‍රජන් නිසා එය බැක්ටීරියා කොළ පුල්ලි රෝගයට හේතුවක් වන නිසයි.  සත්ව පොහොර යෙදීමේදීත් ඒවා තෙත ස්වභාවයෙන් නොයෙදිය යුතු අතර වියළි තත්ත්වයට පත්වූ පසුව වගාවට යෙදීම සුදුසු බවයි නිර්දේශ කරන්නේ.

අධික මාත්‍රාවෙන් රසායනික පොහොර යෙදීමෙන් සිදුවන්නේ මුදල් නාස්තිය හා වගාව විනාශයට පත්වීමේ අනතුරක් ඇති කර ගැනීම පමණයි. පොහොර වැඩියෙන් යෙදූ නිසාම ඒවා බුලත් වැලට උරා ගැනීමක් සිදුවන්නේ නැහැ.  ශාඛය පොහොර ලෙස උරා ගන්නේ යම් නිශ්චිත ප්‍රමාණයක් බව හොඳින් තේරුම් ගත යුත්තක්.  ඒ නිසා අතේ මුදල් නාස්ති කර ගනිමින් හා පරිසරයට තර්ජනයක් ඇති කර ගනිමින් රසායනික පොහොර අධි මාත්‍රාවකින් යෙදීම නිෂ්ඵල බව  නොකිව යුත්තක්.

කේ.ජී.පි. ශාන්ත                                                                                                                                                                   පර්යේෂණ හා සංවර්ධන සහකාර                                                                                                                                                    සහකාර අධ්‍යක්ෂ කාර්යාලය - කුරුණෑගල                                                                                                                                                අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *