සේද මාවත රසින් රස කළ ශ්‍රී ලාංකේය රස සුවඳක තතු – ‘DEA යුග යුග මෙහෙවර‘

ඔබේ වත්කමට හිතවත් කර ගත යුතු ලෝකයේ දේශීය උරුමයක මහිමය  – අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යුග යුග මෙහෙවර

ශ්‍රී ලංකාව හා එතෙර ලෝකය යා වන මුහුදු මාවත් මුලින්ම අනාවරණය කරගන්නේ 1498 දීය. ඒ පෘතුගීසි ජාතික නාවිකයෙකු වූ වස්කෝ ද ගාමාගේ දේශාටනයේ ප්‍රතිඵලයක් ලෙසයි. ඒ අනුව එකල කුළුබඩු සපිරි ඉසුරු කොදෙව් ලෙස ලෝකයා විශ්වාස කළ ඉන්දුනීසියාවට හා ශ්‍රී ලංකාවට සේන්දු වන මුහුදු මාර්ග ද එම නිසා කලඑළි විය.

එදා මෙදාතුර පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් යන ජාතීන් තුනකටම අප රට යටත්වන්නේ ද මෙම කුළුබඩු කර්මාන්තය නිසාමය.

පෘතුගීසීන් හා ලන්දේසීන් ප්‍රධාන වශයෙන්ම කුරුඳු ප්‍රමුඛ කරගත් කුළුබඩු ආශ්‍රිතවම ජාත්‍යන්තර වානිජ කටයුතු සිදු කළත් ඉංග්‍රීසින් වැඩි අවධානයක් යොමු කරන ලද්දේ තේ, රබර් හා පොල් යන වැවිලි බෝග කෙරේය. ඒ අනුව ඔවුන්ගේ පාලන සමය තුළ කුළුබඩු කර්මාන්තය බිඳ වැටුණි. ඒ අනුව වසර 1948 දී නිදහස ලැබෙන විට මෙරටට අවශ්‍ය බොහෝ කුළුබඩු නිෂ්පාදන පැවතියේ ආනයනික මට්ටමේය.

  • නිදහසේ මදහසින් යලි පිබිදුන අපේ මහිමය

මෙම පසුබිම තුළ වසර 1968 බලගැන්වුන අංක XVIII දරණ පාර්ලිමේන්තු පනත මඟින් විශේෂ තේ කොමිසමක් ස්ථාපිත කරන ලදී. මෙම කොමිසමේ  එක් සුවිශේෂී නිර්දේශයක් වූයේ අඩු ආර්ථික ඵලදායිතාවයක් සහිත තේ ඉඩම් වල විකල්ප ආදායම් මාර්ග ලෙස කොකෝවා, කෝපි, කුරුඳු, ගම්මිරිස් හා සාදික්කා වැවීමයි. තව ද කොමිසම ගැඹුරින් සිදුකල අධ්‍යයනයකින් පසු අනාවරනය කර ගන්නා ලද්දේ මැදරට කළාපයේ ඵලදායිතාවය ඉතා අඩු විශාල තේ ඉඩම් ප්‍රමාණයක් පවතින බවත් එම තේ ඉඩම් බෝග විවිධාංගීකරණයට ලක් කළ යුතු බවත් ය.

මෙම වාර්තාව සැළකිල්ලටගත් එවකට බලයේ පැවති රජය ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) උපකාර සහිතව 1970 දී මැද රට කලාපය කේන්ද්‍ර කර ගනිමින් බෝග විවිධාංගීකරණ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

මෙම ව්‍යාපෘතියට සමගාමීව වසර 1972 දී වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව  ස්ථාපිත කරන ලදී. ඒ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මඟිනි. එකල මෙම දෙපාර්තමේන්තුවේ මුලික අරමුණ වූයේ බෝග විවිධාංගීකරණ වැඩසටහනේ නිෂ්පාදනවල අපනයන කටයුතු ප්‍රවර්ධනය, සාම්ප්‍රදායික තේ, පොල් හා රබර් ඉඩම්වල අතුරු වගාවන් ඇති කිරීම හා සුදුසු ඉඩම්වල බෝග විවිධාංගීකරණ වැඩසටහන් දියත් කිරීමත්ය.

 මෙලෙස එතෙර කහවනු මෙතෙරට ගෙන එන මෙරට අපනයන කෘෂිකර්මාන්තයේ එක් ඓතිහාසික සංධිස්ථානයක් වූයේ මෙම අපනයන කෘෂි බෝග ප්‍රවර්ධනය 1992 අංක 46 දරණ පනතින් නැවත සවිබල ගැන්වීමයි. ඒ අනුව එවකට සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලෙස නැවත නම්වර ලබන ලදී. මෙම අණ- පනත් හේතුවෙන් පැහැදිලි නීතිමය තත්වයක් හා වැඩි ස්ථාවර බවක් මෙම දෙපාර්තමේන්තුවට ලැබිණ. ඒ අනුව වානිජ වශයෙන් වඩා යෝග්‍ය නමක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් තත්වයක් ද නව ආරක අනාගත ක්‍රියාකාරකම් සඳහා ඉඩකඩ ද එයට හිමිවිය. එදා මෙම දෙපාර්තමේන්තුව පිහිටුවන අවස්ථාවේ එහි මූලික අභිප්‍රාය වූයේ කුළුබඩු වගාබිම් වපසරිය ඉහළ නංවා නිෂ්පාදන ප්‍රමාණය වැඩි කර විදේශ වෙළෙදපොලේ ශ්‍රී ලාංකේය නම තහවුරු කර ගැනීමයි.

  • කුළුබඩු කර්මාන්තය ඔබට ධන නිධානයක් – රටට අභිමානයක්

නමුත් නිරන්තර වෙනස්වන ගෝලීය සංධර්භය තුළ වත්මන් පාරිභෝගික රුචිය නිෂ්පාදන වල ගුණාත්මය, සුරක්ෂිත,හා සෞඛ්‍යාරක්ෂිතබව කෙරේ විතැන්වී ඇත. එමෙන්ම කාබනික කුළුබඩු නිෂ්පාදන, සාධාරණ වෙළෙදාම, පරිසර සංරක්ෂණය ආදිය අද පාරිභෝගිකයා සළකන අනෙකුත් වැදගත් සංකල්ප වේ.  මේවා පිළිබඳව සැළකිලිමත්වීම, අන්තර් ජාතික වෙළෙඳපොළ රෙගුලාසිවලට එකඟවීම, මෙන්ම ජාත්‍යන්තර කුළුබඩු වෙළෙඳපොලේ තරඟකාරිත්වයට  වගාකරුවන් හා නිෂ්පාදකයන් මුහුණ දිය යුතු වේ. මෙම නව අභියෝගයන් අවබෝධ කරගත් වත්මන් දෙපාර්තමේන්තුව එහි පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන්වල දිශානතිය විවිධ මානයන් ඔස්සේ සීරුමාරු කරමින් සිටියි.

ඒ අනුව “ජාතික සමෘද්ධිය සඳහා කුළුබඩු”, “ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත කුළුබඩු  නිෂ්පාදන”,  “හරිත ලොවක් සඳහා කුළුබඩු” හා “සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා කුළුබඩු” වැනි නව ධාරාවන් ඔස්සේ වෙඳෙපොළ නිකේතන දිනාදීමේ වැඩපිළිවෙලක නිරන්තරයෙන් යෙදී සිටියි. මේ අනුව දෙපාර්මේන්තුව පිහිටවූ අවධියේ කුළුබඩු අපනයනයෙන් මුළු කෘෂිකාර්මික අංශයට 03%ක්ව දැක්වූ දායකත්වය වර්තමානයේ 10% ක් පමණ දක්වා ප්‍රවර්ධනයවී ඇත. එය දළ ජාතික නිෂ්පාදනයෙන් 01%කකට සමීප වෙමින් පවතී.

 මෙම සන්ධර්භය තුළ වර්තමානයේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ප්‍රධාන කුළුබඩුබෝග වර්ග 15ක පමණ සංවර්ධන කටයුතු සිදුකරයි. එම නිෂ්පාදනවල භාවිතයේ ස්වරූපය අනුව කාණ්ඩ 05ක් යටතේ ඒවා වර්ගීකරනය කරනු ලැබේ. ඒවා නම් රසකාරක ලෙස කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, එනසාල්, කරාබු හා ඉඟුරුත් පානීය බෝග ලෙස කෝපි, කොකෝවා හා වැනිලාත් උත්තේජක ලෙස බුලත්, පුවක් හා කිතුල් ද තෙල් වර්ග ලෙස පැඟිරි සහ සේරත් වර්ණකාරක ලෙස කහ බෝගයත් සැළකේ.

 මේ අනුව වත්මන් රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමිව අපනයන කෘෂි කර්මාන්තයේ ප්‍රතිලාභ සියළු ජාතීන්ට අත්කරදීමේ උදාරතර අරමුණින් මෙතෙක් ශ්‍රී ලංකාවේ තෙත් හා අතරමැදි කළාපවලට අයත් දිස්ත්‍රික්ක 14කට සීමාවී තිබූ දෙපාර්තමේන්තු සේවාව දීපව්‍යාප්ත සේවාවක් ලෙස ව්‍යාප්ත කර ඇත. සාමාන්‍යයෙන් මෙම කර්මාන්තයේ නිෂ්පාදන ලෙස වාර්ෂිකව කුළුබඩු මෙ.ටො. 60, 000ක් පමණ අපනයනය කර රු.මි. 70,000 ඉක්මවූ විදේශ විනිමයක් උපයයි. ඒ අනුව මෙම ඓතිහාසික ජාතික ව්‍යාපාරයෙන් යැපෙන සෘජු හා වක්‍ර පවුල් සංඛ්‍යාව දශ ලක්ෂයක් පමණ වේ. ඒ ලෙසම මෙම සැඟවුන ධන උල්පතෙන් කොටසකට හිමිකම් කීමට ඔබටත් දැන් හැකියි.

 සාම්ප්‍රදායික වගාකරුවා කෘෂි ව්‍යවසායකයෙකු කර එම ආදායම තවත් වැඩි කිරීමේ ජාතික මෙහෙවර යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විවිධ වූ සංවර්ධන වැඩසටහන් ගණනාවක් දිවයිනේ සියළුම ආර්ථික කණ්ඩායම් ආවරනය වන අයුරින් ක්‍රියාත්මක කරයි.

 ඒ සඳහා මඟ පෙන්වීමක් ලෙස  සාම්ප්‍රදායික වගාකරුවා කෘෂි ව්‍යවසායකයෙකු කර එම ආදායම තවත් වැඩි කිරීමේ ජාතික මෙහෙවර යටතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විවිධ වූ සංවර්ධන වැඩසටහන් ගණනාවක් දිවයිනේ සියළුම ආර්ථික කණ්ඩායම් ආවරනය වන අයුරින් ක්‍රියාත්මක කරයි. අපනයන කෘෂි බෝග නව වගා සංවර්ධනය, පවතින වගාවන්හි ඵලදායිතා ප්‍රවර්ධනය, ගෙවතු ආශ්‍රිත ව්‍යවසායකයන් බිහි කිරීම. කාබනික අපනයන කෘෂිබෝග ගම්මාන ඇති කිරීම, ස්වයං රැකියා ලෙස පැළ තවාන්කරුවන් බිහි කිරීම, කර්මාන්ත ලෙස අපනයන කෘෂි බෝග සැකසුම් මධ්‍යස්ථාන ස්ථාපනය ආදිය දියත්කර ඇති ප්‍රධාන ව්‍යාපෘති වේ.

මීට අමතරව උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබු,නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික අංශ නවීකරණ හා අගයදාම සංවර්ධන ව්‍යාපෘතියක් සියළු කෘෂිකාර්මික අංශ ආවරනව වන අයුරින් දැන් ක්‍රියාත්මකයි. මේ සියළුම වැඩසටහන් සමඟ සම්බන්ධවී  වගා ආයෝජනයක්, ස්වයං රැකියාවක්, කර්මාන්තයක් හෝ අපනයනය ආශ්‍රිත ව්‍යාපාරිකයෙකු වීමටත් ඔබට පහසුකම් සැලසෙනු ඇත.

 ඒ අනුව ඔබේ නිවස්නය ගැමි හෝ නාගරික ස්වභාවයක් ගත්තත් පවතින වටපිටාවට ගැලපිල මුදල් මවන්න මෙම බෝග වලට ඇත්තේ පුදුම හැකියාවක්.  අවුව වැඩි නම් කුරුඳු, හෙවනට එනසාල් හා වැනිලා, ගල් සහිත බිමට කෝපි, බොරැල්ලට හා හුණුගල් පසට ගම්මිරිස්, වැටට හා දෙණියට පුවක්……..මේ උදාහරණ කිහිපයක්. මෙම බෝග වලින් ඔබගේ දෛනක ආර්ථික අපහසුතා වලට සෘජු උපකාරක ආදායමක් ද ඉඩමෙන් වැඩි ඵලදාවක් ද භූමියට වැඩි වටිනාකමක් ද ලැබේ.

ඇතැම් විට නිදැල්ලේ වැවෙන එක් සාදික්කා ගසක අස්වැන්න වුවත් පවුලක මූලික වියදමට සෑහේ. මෙම රන් රුවන් නිෂ්පාදන කල් තබාගන්නත් පහසුයි. ඒවාට තෑගිබෝග ලෙස ඇත්තේ ද අමුතු වටිනාකමක්.  කහවනු වස්සන අස්වැන්නට අමතරව, ස්වයං රැකියාකරුවෙක්, කුළුබඩු උද්‍යානකරුවෙක්, ව්‍යාපාරිකයෙක් සහ කර්මාන්තකරුවෙක් හෝ සුළු අපනයනකරුවෙක් වෙන්නත් මේ අඩවිය තුළ ඔබට දැන් හැකියි. සංචාරක කර්මාන්තයත් මේකට හොඳ තෝතැන්නක්. පරම්පරාවක් ආදායම් දෙන මෙම අපනයන කෘෂි බෝග වගා කලහම ස්ථිර තැන්පතුවක් දැම්ම වගේ තමයි. එහෙයින් ගෙවත්ත සමඟ කුළුබඩු මුසු කර ඔබගේ සිහිනය ඵලදරන්න ඉඩදෙන්න සුදුසුම කාලයයි මේ. මීට අමතරව සුළු වගාකරුවාගේ සිට ජාත්‍යන්තර පාරිභෝගිකයා දක්වා වූ වෙළඳ ජාලය තුළ වූ සියළු පාර්ශවකරුවන්හට අවැසි පහසුකම් සැපයීම හා මඟ පෙන්වීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්යභාරයවේ.

තව ද කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත වෘත්තීකයෙකු (තාක්ෂණ ශිල්පියෙක් / විද්‍යාඥයෙක් / දෙස් විදෙස් අළෙවි ප්‍රවර්ධකයෙක්, තොරතුරු තාක්ෂණ ශිල්පියෙක් රූපලාවන්‍ය විශේෂඥයෙක්) ලෙස නව රැකියා අවස්ථා ජනිත කිරීමට ද විශාල ඉඩකඩක් පවතී.

කෘෂිකර්මාන්තය සැබවින්ම සොභා දහමට අයිති විද්‍යාවක් හා කලාවක් වේ. මෙම සොඳුරු හරිත අඩවිය ඔබට විවේකය සතුටින් හා සුවදායකව ගතකිරීමට පහසුකම් සලසයි. එමගින් සනසාලන්නේ ඔබගේ ගත හා සිත පමණක්ම නොවේ. එය අධ්‍යාත්මික විඩාව ද සංසිදුවා ඔබගේ ආත්මයම සුවපත් කිරීමට ද මං  සලසාලයි.

  • පරිසරයෙන් සොඳුරු මනා – නිබඳ රැකෙයි සියළු දෙනා

කෘෂිකර්මාන්තය සැබවින්ම සොභා දහමට අයිති විද්‍යාවක් හා කලාවක් වේ. මෙම සොඳුරු හරිත අඩවිය ඔබට විවේකය සතුටින් හා සුවදායකව ගතකිරීමට පහසුකම් සලසයි. එමගින් සනසාලන්නේ ඔබගේ ගත හා සිත පමණක්ම නොවේ. එය අධ්‍යාත්මික විඩාව ද සංසිදුවා ඔබගේ ආත්මයම සුවපත් කිරීමට ද මං  සලසාලයි.

මෙලෙස වූ සුවිශේෂී වාසිදායක තත්වයන් සමඟ ඵලදායී ඉඩම් පරිහරන රටාව නිසා පරිසර සංරක්ෂණය මෙන්ම නායයාම් වැනි සොබාවික ව්‍යවසන ආදිය ද පාලනය වේ. වගා පරිසරයේ ඇති බෝග විවිධත්වය වැඩි නිසා අනෙක් වගා වලට ඇති වන වසංගත ද තත්වයන් ද පාලනයවේ. කුළුබඩු කර්මාන්තය තුළ ඔබගේ අත හිත හා හදවත සුවපත් වූ පසු ඔබගේ සමාජ වගකීම් ඉටුකිරීමට ද මේ සමග ඉඩහසර ලැබේ. ඒ අනුව මෙමගින් අපේ සැබෑ උරුමයක සජීවී තතු මතු පරපුරට කියා දීමට කදිම මගක් පෑදේ. එසේම එහි තවත් දිගුවක් ලෙස ලෝකයේ හරිතාගාර වායුවක් වන කාබන්ඩයොක්සයිඩ් කාලයක් තිස්සේ උරාගන්නා බෝග වීම නිසා ලෝකවාසීන්ගේ සුවදිවියට හා පරිසරයේ යහපැවැත්ම තහවුරු කිරීමේ ඔබගේ පරම යුතුකම ද නිරායාසයෙන්ම ඉටුවනු ඇත.

රුවන් බස්නායක, පර්යේෂණ හා සංවර්ධන සහකාර, මාධ්‍ය හා සන්නිවේදන අංශය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *