ගම්මිරිස් වගාවෙන් ‘ඉහළම ඵලදායිතාවයක්‘ ලබා ගැනීම සඳහා ගත යුතු නිවැරදි පියවර

අපනයන කෘෂි බෝග අතර පසුගිය කාලය තුළ ඉහළම ස්ථානයක පවතින ගම්මිරිස්වලට ලෝකයේ කුළුබඩු අතර හිමිවන්නේ ප‍්‍රධානම ස්ථානයයි. ලෝක වෙළඳපොළ තුළ පවත්නා අධික ඉල්ලූමත් සමඟ ගම්මිරිස් වගාකරන සෑම රටකම වගා බිම් ප‍්‍රමාණය සහ නිෂ්පාදනය පමණක් නොව අපනයන පරිමාව පවා පසුගිය වසර කීපය තුල ඉතා වේගයෙන් වැඩි වීමකට ලක්විය.

ගම්මිරිස් වගාකරන ප‍්‍රධාන රටවල් වන වියට්නාමය, බ‍්‍රසීලය, ඉන්දුනීසියාව, ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, මැලේසියාව සහ චීනය යන රටවල් හැරුන විට ඉක්වදෝර්, මෙක්සිකෝ, කොස්ටරිකා සහ පේරු වැනි ඇතැම් උතුරු, මධ්‍යම හා දකුණු ඇමෙරිකානු රටවලද ගම්මිරිස් වගාව ආරම්භ විය.

බ‍්‍රසීලය හැරුන විට එම ඇමෙරිකානු රටවල වාර්ෂික නිෂ්පාදනය පමණක් මෙට්‍රික් ටොන් 10,000 කට අධික විය. එසේම මේ වන විට මැඩගස්කර්, ඉතියෝපියා, ඝානා, උගන්ඩා, නයිගර්, ටැන්සානියා සහ අයිවරි කෝස්ට් වැනි අප‍්‍රිකානු රටවලද ව්‍යාප්ත වෙමින් පවතින ගම්මිරිස් වගාවේ වාර්ෂික නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 20,000 ඉක්මවමින් පවතී. මෙයින් ගම්මිරිස් වගාව පිළිබඳ ලෝකය තුළ පවතින උනන්දුව හොඳින් පැහැදිලි වෙයි.

වියට්නාමයේ ගම්මිරිස් වගාවක අස්වැන්න නෙළන අයුරු

එසේම මේ වන විට වගාවේ නිෂ්පාදනය සහ අපනයනය පිළිබඳව පමණක් නොව ඵලදායිතාවය පිළිබඳවද සෑම රටකම මෙන් විශේෂයෙන් සලකා බලමින් සිටී. ලොව මුළු ගම්මිරිස් නිෂ්පාදනයෙන් 60% ටත් වඩා වැඩි අයිතියක් ඇති වියට්නාමය ඵලදායිතාවය අතින්ද ඉහළම ස්ථානයක සිටී. එහි ඵලදායිතාවය හෙක්ටයාරයකට කිලෝ 2500 kg/ha වඩා වැඩි වන අතර ශ‍්‍රී ලංකාව තවමත් සිටින්නේ 1000 kg/ha ටත් වඩා අඩු මට්ටමක වේ. එහෙත් මීට වසර කිහිපයකට පෙර අපගේ වගාවන්වල ඵලදායිතාව 450 kg/ha ක් පමණ වූ අතර මේ වන විට එය 900 kg/ha දක්වා මට්ටමකට ඉහළ නංවා ඇත.

මෙහිදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දායකත්වය ඉතාමත් වැදගත් වන අතර පර්යේෂණ අංශයේ තාක්ෂණික දැනුම ලබාදීම මෙන්ම සංවර්ධන අංශයේ ඵලදායිතා සංවර්ධන වැඩසටහන් විශාල මෙහෙයක් ඉටුකරන ලදී. මෙම ඵලදායිතා මට්ටම වියට්නාමයේ මට්ටමටම ගෙනයාම අසීරු කාර්යයක් නොවන අතර අවශ්‍ය වන්නේ දැනට පවත්නා තාක්ෂණික දැනුම නිවැරදි ආකාරයට භාවිතා කරමින් වගාවේ අවශ්‍යතාවයන් හොඳින් හඳුනාගෙන නිසි කලට අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමත් වගාව පිළිබඳව උනන්දුව සහ කැපවීම තව දුරටත් වැඩි කිරීමයි.

වර්තමානයේ බොහොමයක් ගම්මිරිස් වගාවල පවතින ස්වභාවයන් අනුව එම වගාවන්වල ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා ගත හැකි ක‍්‍රියාමාර්ග ගණනාවකි. මේ සෑම ක්ෂේත‍්‍ර කාර්යකදීම උත්සාහ ගනු ලබන්නේ ගම්මිරිස් ශාකයට ඊට අවශ්‍ය අලෝකය, ජලය, පෝෂණ ද්‍රව්‍ය සහ අවශ්‍ය වායුන් (කාබන්ඩයොක්සයිඩ්) ප‍්‍රමාණවත් පරිදි ලැබෙන ලෙස නඩත්තු කටයුතු සිදුකර, ශාකයේ ප‍්‍රභාසංස්ලේෂණය, උත්ස්වේදනය, ආහාර පරිසංක‍්‍රමණය සහ මූල පද්ධතියේ අවශෝෂණය වැනි සෑම කායික විද්‍යාත්මක ක‍්‍රියාවලියක්ම හොඳින් සිදුවීමට අවස්ථාවක් ලබාදීමත්, එසේම ශාකයේ නිපදවෙන ආහාර වැඩි ප‍්‍රමාණයක් කරල් වලට ගමන් කිරීමට අවස්ථාව ලබාදී, සියලූ අස්වනු පරාමිතීන් වැඩි කිරීමට ඇති හැකියාව වැඩි කිරීමයි.

මේ සඳහා ක‍්‍රම කිහිපයක් අනුගමනය කළ හැකිය.

  1. ආධාරක ශාක නිසි පරිදි කප්පාදු කිරීම සහ නඩත්තුව
  2. පාංශු තෙතමන සංරක්ෂණ කටයුතු නිවැරදිව සිදුකිරීම
  3. ඉහළ ගුණාත්මයෙන් යුක්ත රෝපණ ද්‍රව්‍ය භාවිත කිරීම
  4. පැල පුහුණු කිරීම හා වියන සකස්කර ගැනීම
  5. ගම්මිරිස් වියනේ ඇති අනවශ්‍ය වැල් කපා ඉවත්කිරීම

ආධාරක ශාක නිසි පරිදි කප්පාදු කිරීම සහ නඩත්තුව

ශ‍්‍රී ලංකාවේ ගම්මිරිස් වගාවේ ආධාරක ශාකය ලෙස බහුලවම භාවිත කරනු ලබන්නේ ග්ලිරිසීඩියා ශාකයයි. මෙම ජීවී ආධාරකය බහු විධ ප‍්‍රයෝජන සහිත ශාකයක් වුවද ගම්මිරිස් වගාවේදී මෙය නිසි අයුරින් නඩත්තු නොකළහොත් එය විවිධ අයුරින් ගම්මිරිස් වගාවේ අස්වනු අඩු කිරීමට හේතුවෙයි. එසේම නිසි අයුරින් නඩත්තු කළහැකි නම් එය විවිධ අයුරින් වගාවේ අස්වනු වැඩි කිරීමටද හේතුවෙයි.

ප‍්‍රමාණවත් අයුරින් වසර පුරා ආලෝකය ලබාදීම

ගම්මිරිස් සෙවන ප‍්‍රියකරන ශාකයක් ලෙස හැඳින්වුවද කෘෂිකාර්මික බෝගයක් ලෙස වගාකරන විට වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා වියනේ සෑම කොටසකටම හොඳින් ආලෝකය ලැබිය යුතුය. මෙම ශාකය ආධාරකයක් මත වැඩෙන වැලක් බැවින් වියන සිලින්ඩරාකාර හැඩයක් ගනී. එම හැඩය සෑම අත්තකටම හොඳින් ආලෝකය ලබාගැනීමට ඇති හැකියාව අඩුකරයි.

ඉහළින් ඇති අතු වලට ලැබෙන ආලෝකයට සාපේක්ෂව පහල අතු වලට ලැබෙන්නේ අඩු ආලෝකය ප‍්‍රමාණයකි. මේ නිසා ගම්මිරිස් වියනේ ක‍්‍රමයෙන් පහළට යනවිට ඇතිවන කරල් සංඛ්‍යාව, කරල් වල දිග, කරල් පිරීම, ඇට සංඛ්‍යාව සහ ඇටවල බර යන සෑම අස්වනු ලක්ෂණයක්ම ක‍්‍රමයෙන් අඩුවේ. මේ නිසා වසර පුරා හොඳින් ආලෝකය ලබාදීමට ආධාරක ශාකයේ වියන නිසි පරිදි නඩත්තු කළ යුතුය.

ආධාරක ශාකයේ වියන කප්පාදු කිරීම සඳහා නිර්දේශය වන්නේ මාස 3 කට වරක් බැගින් වුවත්, ඒ අතර කාලයේදී වැඩෙන අතු වලින් 2-3ක් පමණක් ඉතිරිකර අනෙක් සියලූ අතු ඉවත්කිරීමෙන් වසර පුර හොඳින් ආලෝකය ලබාදීමට අවස්ථාව ලබාදිය හැක. එය සෑම අත්තකම හොඳින් කරල් ඇතිවීමටත් එම කරල් හොඳින් පිරීමටත් ඇති හැකියාව වැඩි කරයි.

මූල අවශෝෂණ හැකියාව වැඩිදියුණු කිරීම

ආධාරක ශාකයේ වියන ඉවත්කළ විට ශාකයේ ක‍්‍රියාකාරිත්වය සහ අවශෝෂණය අඩුවන නිසා එහි මූල පද්ධතියේ කුඩා අවශෝෂක මුල් 60-70% ක් පමණ ඉවත්කරයි. ඒත් සමඟ ගම්මිරිස් ශාකයට ආලෝකය වැඩිපුර ලැබීමත් සමඟ එහි ක‍්‍රියාකාරිත්වය වැඩිවන නිසා ගම්මිරිස් මූල පද්ධතියේ කුඩා අවශෝෂක මුල් ප‍්‍රමාණය 60-70% කින් පමණ වැඩිවී එහි අවශෝෂණ හැකියාව වැඩි කරයි. මේ මඟින් ජලය හා පෝෂණ ද්‍රව්‍ය අවශෝෂණය වැඩි වන අතරම ශාකයේ අනෙකුත් කායික විද්‍යාත්මක ක‍්‍රියාවලීන්ද වැඩිකිරීමට අවස්ථාව ලැබෙයි.

විශේෂයෙන්ම ආලෝකය හොඳින් ලැබීමත් ගම්මිරිස් වැල් අතර වායු සංසරණය හොඳින් සිදුවන නිසා එහි උත්ස්වේදනය නැතහොත් ශාකයෙන් ජලය වාෂ්ප ලෙස පිටවීමේ ක‍්‍රියාවලිය වැඩිකරයි. එය ශාකය සිසිලනයකට ලක්කරන නිසා ගම්මිරිස් වැලේ ආතතිය අඩුවන අතරම මූල පද්ධතියේ අවශෝෂණ හැකියාව වැඩිකිරීම සහ අවශෝෂණය වන ද්‍රව්‍ය ශාකය පුරා පහසුවෙන් ගමන් කිරීමට ඉඩ සලස්වයි. එය ගම්මිරිස් වැල්වල අස්වැන්න වැඩිවීමට හේතුවෙයි.

වැල් අතර වායු සංසරණය වැඩිවීම

ශ‍්‍රී ලංකාව වැනි නිවර්තන කලාපිය රටවල උදය කාලයේ ශාකවල ප‍්‍රභාසංශ්ලේෂණයේ සීමාකාරී සාධකය වන්නේ ආලෝක තීව‍්‍රතාවයයි. එහෙත් ක‍්‍රමයෙන් දහවල් වනවිට සීමාකාරී සාධකය වන්නේ කාබන්ඩයොක්සයිඞ් වායුවේ සාන්ද්‍රණයයි. ආධාරක ශාකය වන ග්ලිරිසීඩියා ශාකයේ අතු හොඳින් වර්ධනය වී ඇති විට වැඩි කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණයක් ග්ලිරිසීඩියා මඟින් උරාගනියි.

ගම්මිරිස් ශාකයට අවශ්‍ය ආලෝකය නොලැබෙන නිසා එහි ප‍්‍රභාසංශ්ලේෂණය අඩු බැවින් ද ඉහලින් ඇති ග්ලිරිසීඩියා අතු හේතුවෙන් හොඳින් වායු සංසරණයට බාධා ඇතිවන බැවින්ද ගම්මිරිස් වලට කාබන්ඩයොක්සයිඞ් උරාගැනීමේ හැකියාව ඉතාමත් අඩුවේ. මේ නිසා නිසි පරිදි ආධාරක ශාකය කප්පාදු කිරීමෙන් ගම්මිරිස් වැලට ආලෝකය අවශෝෂණය කිරීමේ හැකියාව පමණක් නොව කාබන්ඩයොක්සයිඞ් උරාගැනීමේ හැකියාවද වැඩිකරයි. මෙම තත්වය ප‍්‍රභාසංශ්ලේෂණ හැකියාව වැඩිකරන නිසා අස්වනු ලක්ෂණ වැඩිකරයි.

පාංශු තෙතමන සංරක්ෂණ කටයුතු නිවැරදිව සිදුකිරීම

පවත්නා කාලගුණික වෙනස්වීම් හේතුවෙන් වර්ෂාපතනයේ අක‍්‍රමවත් බව නිසා නිසි කලට වැසි ලැබීමක් සිදුනොවේ. මේ නිසා මූල පද්ධතිය ආශ‍්‍රීතව පාංශු තෙතමනය අවශ්‍ය පරිදි පවත්වා ගැනීමට නිසි ලෙස වසුන් යෙදීම ඉතා වැදගත් ක්ෂේත‍්‍ර කටයුත්තකි. මේ සඳහා වියළි කොළ රොඩු, ග්ලිරිසීඩියා අතු හෝ පොල් ලෙලි වැනි දේ භාවිත කල හැක. එසේම ගම්මිරිස් වැලේ පාමුල සිට අඩි 2ක් පමණ දුරින් අඩි 1 ක් පමණ පළල හා ගැඹුර සහිත කානු කපා ඒවා කොළ රොඩු හෝ පොල් ලෙලි වලින් පිරවීම මඟින් වර්ෂාව නොමැති විට සති 3-4 ක පමණ කාලයක් පාංශු තෙතමනය රඳවාගත හැක. මෙසේ පාංශු තෙතමනය ආරක්ෂා කිරීම වගාවේ පහත සඳහන් අවස්ථා වලදී ඉතාමත් වැදගත් වේ.

පැල සිටුවීමත් සමඟ ක්ෂේත‍්‍ර ස්ථාපන හැකියාව වැඩි කිරීම

වර්ෂාපතනයේ අක‍්‍රමවත් බව නිසා පැල සිටුවීමත් සමග වැසි නොලැබුණහොත් ක්ෂේත‍්‍ර ස්ථාපන ප‍්‍රතිශතය 50%ත් වඩා අඩුවෙයි. මෙය ඒකාකාරව වැඩුණු වියනක් සහිත වගාවක් පවත්වාගැනීමට බාධාවක් බැවින් වගාවේ ඵලදායිතාවය අඩුවීමට හේතුවෙයි. සුදුසු පාංශු තෙතමන සංරක්ෂණ ක‍්‍රම භාවිතාකිරීමෙන් ක්ෂේත‍්‍ර ස්ථාපන හැකියාව පහසුවෙන් වැඩිකර ගැනීම පමණක් නොව වගාවේ මුල් අවස්ථාවේ වැල්වල අඛණ්ඩ වර්ධනයට අවස්ථාව ලබාදීමෙන් කෙටි කාලයක් තුල හොඳින් වැඩුණු වියනක් නිර්මාණය කරගැනීමටත් ඉහළ අස්වැන්නක් ලබාගැනීමටත් අවස්ථාව ලැබෙයි.

මල්වල පරාගන හැකියාව වැඩිදියුණු කිරීම

මල් පිපීමත් සමඟ ගම්මිරිස් වගාවේ පරාගනය සම්පූර්ණ වීමට ප‍්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ පාංශු තෙතමන ප‍්‍රතිශතය සහ ශාකයට කොතරම් ජලය ප‍්‍රමාණයක් පසෙන් ලබාගත හැකිද යන කරුණ සමඟයි. ප‍්‍රමාණවත් ලෙස ජලය ඇත්නම් පිපුන මල්වල පරාග සහ කලංකය තෙත්ව දින කිහිපයක් පවත්වා ගත හැකිවෙයි. එවිට පරාග පහසුවෙන් කලංකය සමඟ සම්බන්ධ වීමටත් ඒ මත පහසුවෙන් ප‍්‍රරෝහණය වීමටත් අවකාශයක් ලැබේ. මෙය ගම්මිරිස් වල පරාගන හැකියාව දියුණු කරයි. ඒ නිසා හොඳින් පිරුන කරල් ඇතිවන අතර වැලකින් ලබාගත හැකි අස්වැන්න වැඩිවීමටත් වගාවේ ඵලදායිතාවය වැඩි වීමටත් හේතු වෙයි.

ඇට/ගෙඩි පිරීම හා සවිවර ඝනත්වය වැඩිවීම

පාංශු තෙතමනය ප‍්‍රමාණවත් පරිදි ඇති විට ශාකය තුලද අවශ්‍ය තරම් ජලය පවතියි. ඒ මඟින් ශාකයේ සෑම කායික විද්‍යාත්මක ක‍්‍රියාවලියක්ම හොඳින් හා පහසුවෙන් සිදුවන අතරම ශාකය තුල ආහාර ගමන් කිරීමේ ක‍්‍රියාවලිය කාර්යක්ෂම වෙයි. මේ නිසා ගම්මිරිස් වල ඇට පිරීම සඳහා අවශ්‍ය ආහාර පහසුවෙන් පරිසංක‍්‍රමණය වන අතර ඒ මඟින් ඇට පිරීමත් ඇටවල සවිවර ඝනත්වය වැඩිවීමටත් හේතු වෙයි.

පාරිසරික උණුසුම හා ජල හිඟතාව නිසා ඇතිවන ආතතිය අඩුවීම

වර්තමානයේ පවත්නා කාලගුණික වෙනස්වීම් සමඟ බෝග ශාක වලට ඇතිවන අහිතකර බලපෑමක් වන්නේ වැඩිවන පාරිසරික උණුසුමත් සමඟ ශාක වලට ඇතිවන ආතතියයි. මෙය ශාක වල බොහෝ කායික විද්‍යාත්මක ක‍්‍රියාවලීන් අඩපන කරන අතර අවසානයේ අස්වනු අඩුවීමට හේතුවෙයි. එහෙත් පසේ ප‍්‍රමාණවත් ලෙස ජලය ඇත්නම් ශාකයේ සිදුවන උත්ස්වේදන ක‍්‍රියාවලියත් සමඟ මෙම ආතතිය අඩු කිරීමට හේතුවෙයි. මේ නිසා පාංශු තෙතමන සංරක්ෂණ ක‍්‍රම හොඳින් භාවිත කරන්නේ නම් පාරිසරික උණුසුම නිසා මෙන්ම ජල හිඟතාව නිසා ඇතිවන ආතතියෙන්ද බෝග ශාක ආරක්ෂා කරගත හැකිවෙයි. විශේෂයෙන්ම මල්වල පරාගනයෙන් පසු ඇටවල වර්ධනය සහ පිරීම සිදුවන කාලයේදී මේ පිළිබඳව අවධානය යොමුකිරීම ඉතාමත් වැදගත් වේ.

  • ඉහළ ගුණාත්මයෙන් යුක්ත රෝපණ ද්‍රව්‍ය භාවිත කිරීම
  • සහතික කරන ලද රෝපණ ද්‍රව්‍ය භාවිත කිරීම

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් සහතික කරන ලද රෝපණ ද්‍රව්‍ය භාවිතාකිරීමෙන් වාසි කිහිපයක් සැලසෙයි. එම රෝපණ ද්‍රව්‍ය රෝග හා පළිබෝධ වලින් තොර වීම, හොඳින් වැඩුන මූල පද්ධතියකින් යුක්ත වීම, ඉහළ අස්වනු ලබාදෙන ප‍්‍රභේද වීම සහ පැල හොඳින් දැඩිකර තිබීම යනාදී ලක්ෂණ වලින් යුක්ත වෙයි. මේ නිසා එවැනි රෝපණ ද්‍රව්‍ය භාවිතයෙන් ඒකාකාර වගාවක් පවත්වාගත හැකිවන අතරම ඉහල අස්වැන්නක් ද ලබාගැනීමට හේතුවන නිසා වගාවේ ඵලදායිතාව වැඩිවීමට හේතුවෙයි.

උසස් අස්වනු සහිත නව ප‍්‍රභේද භාවිතය

මෑතකදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් උසස් අස්වනු ලබාදෙන නව ගම්මිරිස් ප‍්‍රභේද 3 ක් හඳුන්වාදෙන ලදී. ඒවා කොහුකුඹුරේරාළ, බූටෑවේරාළ සහ ඩින්ගිරාළ යන නම් වලින් හඳුන්වයි. එම ප‍්‍රභේද ඉහල අස්වනු ලබාදෙන අතරම ඒවායේ අඩංගු වන තෙල් ප‍්‍රතිශතය, පයිපරීන් ප‍්‍රතිශතය, ඔලියොරෙසින් ප‍්‍රතිශතය සහ ඇටවල සවිවර ඝනත්වය යන සෑම ලක්ෂණයකම ඉහල අගයන්ගෙන් සමන්විත වෙයි. මේ නිසා නව ප‍්‍රභේද භාවිතාකිරීම බෝගයේ ඵලදායිතාව වැඩිකර ගැනීමට පමණක් නොව අස්වනු වල ඉහළ ගුණාත්මයක් පවත්වා ගැනීමටද හේතුවෙයි.

මුදුන් රිකිලි රෝපණ ද්‍රව්‍ය භාවිතය

පාවැල් මඟින් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයට අමතරව මෑතකදී පර්යේෂණ අංශය මඟින් මුදුන් රිකිලි මඟින් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සහ ඒ සඳහා අවශ්‍ය මව් ශාක උද්‍යාන පවත්වා ගැනීමේ තාක්ෂණය හඳුන්වා දෙන ලදී. මෙම රෝපණ ද්‍රව්‍ය භාවිතයෙන් ක්ෂේත‍්‍ර ස්ථාපන ප‍්‍රතිශතය වැඩිකරගැනීම, වසරකටත් අඩු කාලයකදී අස්වනු ලබාගැනීම ආරම්භ වීම සහ කෙටි කලකින් වැඩි හරස් අතු සංඛ්‍යාවක් සහිත හොඳින් පිරුන වියනක් සහිත ගම්මිරිස් වැල් සකස්කර ගත හැකි වීම යනාදී වාසිදායක තත්ත්ව ගණනාවක් ලබාගත හැකිවෙයි. මෙම ලක්ෂණ බෝගයේ අස්වනු වැඩිවීමට නැතහොත් ඵලදායිතාවය වැඩි කරගැනීමට හේතුවෙයි.

පැල පුහුණු කිරීම හා වියන සකස්කර ගැනීම

හොඳින් පැල පුහුණු කිරීම හා සෑම වැලකම ඒකාකාර වියනක් පවත්වා ගැනීම පසු කාලයේදී වගාවෙන් ඉහල අස්වැන්නක් ලබාගැනීමට හේතුවෙයි. මේ සඳහා ක‍්‍රම කීපයක් අනුගමනය කල හැකි වෙයි.

ක්ෂේත‍්‍රයේ පැල සිටුවීමත් සමඟ ආධාරකයට පුහුණුකිරීම

ඒවා මුල් අවස්ථාවේ සිටම හොඳින් ආධාරක ශාකය මත වර්ධනයට පුහුණුකිරීම එම වැල් වලට ආධාරකය මත වර්ධනය වීමට පහසුවක් සපයයි. ආරම්භයේ සිටම සෑම වැලක්ම හොඳින් ආධාරකය මත පුහුණු කිරීම ඒකාකාර වගාවක් සකස්කර ගැනීමට හේතුවෙයි.

ආධාරක ශාකය කප්පාදු කිරීම

එසේම ආධාරක ශාකය කප්පාදු කිරීමේදී සෑම විටම ඉහල කෙලවරේ මැදින් ඉහළට යොමුවන අතු 2-3 ක් ඉතිරිකර අනෙක් සියලූ අතු ඉවත් කිරීමත් පසුව මැදින් ඉතිරිකළ අතු ඔස්සේ වැලට ඉහළට වර්ධනය වීමට ඉඩ සැලැස්වීමත් මඟින් සෑම වැලක්ම ඍජුව ඉහලට වර්ධනය කරගැනීමට හැකිවෙයි. මෙයින් සෑම වැලකම වියන ඍජුව හා ඒකාකාරව පවත්වාගැනීමටත් ඒ මඟින් සෑම වැලකටම අවශ්‍ය ආලෝකය හොඳින් ලබාගැනීමටත් අවකාශ ලැබෙයි.

සිටුවාගත් පාවැල් පැල මුදුන් රිකිලි පැල වල තත්වයට හරවාගැනීම

ක්ෂේත‍්‍රයේ සිටුවාගත් පාවැල් පැලවල හරස් අතු ඇතිවීම ආරම්භ වීමෙන් පසු මෙන්ම පැල සිටුවා වසර 2ක කාලයක් ඇතුලත මෙසේ වෙනස් කරගත හැක. මේ සඳහා වර්ෂා සමයක් ඇතිවිට වැලෙහි පාමුල අඩි 2ක් පමණ අරයක් සහිත ප‍්‍රදේශයක පස අඟල් 2ක් පමණ ගැඹුරට බුරුල් කරගන්න. ඉන්පසු වැලෙහි හරස් අතු වලට පහළින් ප‍්‍රධාන කදෙහි ඇති පත‍්‍ර සියල්ල ඉවත්කරන්න. බුරුල් කරගත් පසෙහි අඟල් 2ක් පමණ ගැඹුරට ආධාරකය වටා අඩි 1 ක පමණ විශ්කම්භයක් සහිතව ඇලියක් සාදාගන්න. වැල පසට සවිවී තිබියදී ප‍්‍රවේශමෙන් ආධාරකයෙන් ගලවා ඉවත් කරගන්න. ඉන්පසු පත‍්‍ර රහිත පහල කඳ කොටස සාදාගත් ඇලිය දිගේ තබා හරස් අතු සහිත ඉහල කොටස සිරස්ව ආධාරකයෙහි පහල කෙලවරට තබා බඳින්න. ඇලිය දිගේ තැබූ කඳ කොටස පස් වලින් වසාදමන්න. ඒ මත සුදුසු වසුනක් යොදන්න. හරස් අතු සහිත වැල ආධාරකය දිගේ තවත් අඩි 1 ඃ ක් පමණ ඉහලට වර්ධනය වූ පසු ඉහල කෙලවරින් අඩි ඃ ක පමණ කොටසක් ඉවත්කරන්න. එවිට රිකිලි කිහිපයක් සහිතව වැල ඉහලට වර්ධනය වීමත් සමඟ වැඩි හරස් අතු සංඛ්‍යාවක් සහිතව හොඳින් වැඩුන වියනක් ඇතිකරයි. එවැනි වැල් ඉහල අස්වැන්නක් ලබාදීමට හේතුවෙයි.

ගම්මිරිස් වියනේ ඇති අනවශ්‍ය වැල් කපා ඉවත්කිරීම

ගම්මිරිස් වැල වර්ධනයත් සමඟ වැඩි උත්සාහයක් ගනු ලබන්නේ වර්ධක ලක්ෂණ වැඩිකර ගනිමින් පාවැල් හා ගැරඬි වැල් වැඩි සංඛ්‍යාවක් සාදාගෙන ඒ මඟින් නව ශාක වැඩි වැඩියෙන් ඇතිකර ගැනීමටයි. පාරිසරික ලක්ෂණ හිතකර විට මෙම තත්වය ඉතාමත් වැඩිවේ. එවිට වැලෙහි ගබඩා වී ඇති සහ එදිනෙදා නිෂ්පාදනය වන ආහාර වලින් වැඩි කොටසක් වැයවන්නේ මෙම වර්ධක වැල් වැඩිපුර සාදා ගැනීමටයි. ගම්මිරිස් වැලෙහි මල් පිපෙන කාලයේ සහ ගෙඩි පිරෙන කාලයේදී මෙවැනි වැල් වර්ධනය වුවහොත් ආහාර එම වැල් වලට වැඩිපුර ගමන් කරන නිසා ගෙඩි සංඛ්‍යාව මෙන්ම ගෙඩි පිරෙන ප‍්‍රමාණයද බොහෝ සෙයින් අඩුවී යයි. මෙය වැලේ අස්වැන්න අඩුවීමට හේතුවේ. මේ නිසා මල් පිපෙන සමයේ සිට අස්වනු නෙලාගන්නා තෙක් මෙම වර්ධක වැල් සියල්ල නිරන්තරයෙන් පරීක්ෂා කර බලා ඉවත්කිරීම ඉතාමත් වැදගත් වේ.

ඉහත විස්තර කල කරුණු සියල්ල පිළිබඳව අවධානයෙන් සහ පැහැදිලි අවබෝධයෙන් අවශ්‍ය ක්ෂේත‍්‍ර කටයුතු නිසි කලට නිසි අයුරින් කරන්නේ නම් ඔබගේ ගම්මිරිස් වගාවේ ඵලදායිතාවය පහසුවෙන් දැන් පවත්නා ප‍්‍රමාණය මෙන් දෙගුණයකින් වැඩිකර ගැනීමට හැකිවෙයි.

ආචාර්ය එච්.එම්.පී. ආනන්ද සුබසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) මධ්‍යම පර්යේෂණ ආයතනය, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *