වත්මන් සමාජ සංකීර්ණත්වයේ අහිතකර ප්‍රතිවිපාකය වී ඇත්‍තේ බාල මහලු භේදයකින් තොරව මිනිසා විවිධ රෝගාබාධයන්ට ගොඳුරුව සිටීමයි. අවිවේකී ජීවන රටාව මිනිසාගේ කායික මානසික සමබරතාවය බිඳ හෙළමින් පවතී.
නොසන්සුන් වූ මනස තදබල ආතතීන්ගෙන් පීඩනයට පත්වන අතර එහි ඛේදනීය තත්වය වන්නේ නිරන්තරව ඖෂධ මඟින් පාලනය වන තත්වයකට මිනිසාගේ ජීවිතය ඇද වැටීමයි. ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව වර්තමාන මිනිසා කුමන හෝ ඖෂධයක් මඟින් තම සිරුර පවත්වාගෙන යනු ලබන බව පෙනෙන්ට ඇත.
වර්තමානයේ දී ලෝකය වඩාත් දියුණු තත්වයකට පා තබා තිබුණ ද එම දියුණුවේ අහිතකර ප්‍රතිඵල ද මිනිසුන් විසින් අත්විඳිමින් සිටී. විශේෂයෙන් බෝ නොවන රෝගාබාධයන්ගෙන් පෙළෙන මිනිසුන් වත්මන් සමාජය තුළ බහුලව දැකිය හැකිය. මෙවැනි රෝග වැළදීමට හේතුවන කරුණු ගණනාවක් වන අතර මිනිසාගේ දෛනික ආහාර පරිබෝජන රටාව ඊට බලපාන එක් හේතුවකි. ඊට අමතරව යට කී පරිදි මිනිසුන්ගේ අහිතකර වූ ආතතීන්ගෙන් පිරි ජීවන රටාව ද ඊට බලපානු ලබයි. අතීතයේ දී මිනිසුන් මෙවැනි සංකීර්ණ ජීවන රටාවක් තුළ ජීවත් නොවූහ. එසේම ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් වීමටත් කායික මානසික සමබරතාවයෙන් යුක්තව ජීවත් වීමටත් ඔවුන් අනුගමනය කළ ආහාර පුරුදු ප්‍රබල ලෙස බලපාන ලදී.
විශේෂයෙන් පැරණි සමාජයේ මිනිසුන් ආහාර වර්ග සකස් කිරීමේ දී පලා වර්ග, එළවළු, ඇට වර්ග සඳහා මූලිකත්වයක් ලබා දුන් අතර “බත” සකස් කිරීමේ දී පෝෂණීය ගුණය අනුව එය සුවිශේෂී ආකාරයෙන් සකස් කිරීමේ කුසලතාවයකින් යුක්ත විය.
විවිධ රෝග වැළදී ඇති පුද්ගලයින්, වයස්ගත පුද්ගලයින්, භික්ෂූන්, ගර්භනී මාතාවන්, ළදරුවන් ආදී සුවිශේෂී පුද්ගලයින්ට අදාළව පෝෂණීය ගුණයෙන් හෙබි පාරම්පරික සහල් වර්ග රාශීයක් සාම්ප්‍රදායික දැනුම් ක්ෂේත්‍රය පිරික්සීමේ දී හමු වේ. ලංකාවේ පාරම්පරික වී වර්ග බොහෝමයක් ඉන්ඩිකා ගණයට අයත් වන අතර එම වී වර්ග වලින් ලබා ගන්නා සහල් රතු කුරුට්ටෙන් යුක්ත වේ. මෙම වී වර්ගයන් වඩාත් පෝෂණීය හා ඖෂධීය ගුණයෙන් යුතු අතර ආයුර්වේද ග්‍රන්ථයන්හි එක් එක් වී ප්‍රභේදයන්හි පෝෂණීය තත්වය පෙන්වා දී ඇත. දේශීය වෛද්‍යවරු නොයෙකුත් ප්‍රතිකාර සඳහා පාරම්පරික වී වර්ග වලින් ලබාගන්නා හාල් වර්ග භාවිතා කරනු ලබයි.
ඖෂධ සඳහා බහුලව යොදාගනු ලබන්නේ “හීනටි” හාලයි. හීනටි වී, ප්‍රභේද කිහිපයක් පවතින අතර ඉන් කලු හීනටි උසස්ම වර්ගය විය. වයස මාස තුනක ප්‍රභේදයක් වන කලු හීනටි සර්පයන් දෂ්ඨ කළ පුද්ගලයන්ගේ ශරීරයට ඇතුළුවන විස නැසීමට අවශ්‍ය වන කැඳක් සකස් කිරිමට බහුලව යොදා ගැනේ. විවිධ කොළ වර්ගයන්හි ඉස්ම මිරිකා හීනටි හාල සමඟ මිශ්‍ර කර මෙම කැඳ වර්ගය සාදා ගනු ලබයි. මීට අමතරව අතීත සමාජයේ බහුලව දැකිය නොහැකි වුවත් වර්තමාන සමාජයේ බහුලව වැළදෙන රෝගයක් වූ මධුමේහය හෙවත් දියවැඩියා රෝගයට ප්‍රතිකාර පිණිස හීනටි හාල් කැඳ දිනපතා බීම සිදු කෙරිණි.
හීනටි ප්‍රභේදයන් වූ සුදු හීනටි, රතු හීනටි, ගම්බද හීනටි, බෙහෙත් හීනටි සහ තාවුළු හීනටි ද වඩාත් ඖෂධිය ගුණයෙන් අනූන වූ පාරම්පරික සහල් වර්ග වේ. මින් රතු හීනටි සහලින් සකසා ගත් කැඳ සෙංගමාල ලෙඩුන්ට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. තාවුළු හීනටි වැව් ආශ්‍රිතව වගා කෙරෙන අතර දිරවීම දුබල රෝගීන්ට විශේෂිතව කෑමට දෙනු ලබයි. බෙහෙත් හීනටි වර්ගය මාස 3 ½ වී වර්ගයක් වන අතර සර්පයින් දෂ්ඨ කළ රෝගීන්ගේ විෂ නැසීමට බත් සහ කැඳ ලෙස සකස් කර දෙනු ලබයි. සුදු හීනටි ප්‍රභේදය ද මාස 3 ½ වී වර්ගයක් වන අතර හීනටි වර්ගයන් අතර වැඩි අස්වැන්නක් ලැබෙන්නේ මෙම වි වර්ගයෙනි. මෙම වර්ගය ද වඩාත් පෝෂණීය හා ගුණදායකත්වයෙන් ඉහළය. හීනටි සහල් වර්ගයන්ට ආදේශකයන් ලෙස පාරම්පරික වී වර්ග අතර තිබෙන “දහනල” සහ “පොලැල්” වී වර්ග යොදා ගැනේ. හදිසි අවශ්‍යතාවක දී හීනටි හාල වෙනුවට යට කී සහල් වර්ග යොදා ගන්නා බව ආයුර්වේද ග්‍රන්ථයන්හි සඳහන් වේ.
ගැබිණි මාතාවන්ගේ ආහාරය වඩාත් පෝෂණීය මට්ටමින් ලබා දීමට අතීත සමාජය හුරු වී සිටි අතර “මුරුංගාකායන්” නම් පැරණි වී වර්ගයෙන් ලබාගත් සහලින් පිසූ බත් හා කැඳ ලබාදීමෙන් දරු ප්‍රසූතිය පහසු කරවීමත් දරුවා ගැබ තුළ මනා ලෙස සෞඛ්‍ය සම්පන්නව වර්ධනය වීමත් අපේක්ෂා කළහ.
එසේම “පච්චපෙරුමාල්” නම් වී වර්ගය මාස තුනක් වයසැති වී වර්ගයක් වන අතර උතුරු මැද පළාතට විශේෂිතව වගා කෙරේ. දියවැඩියා රෝගය පාලනය කිරීමට වඩාත් යෝග්‍ය වී වර්ගයක් ලෙස මෙය සැලකේ. මූකල වී, රත්කාර, කොට තාවළු, ගං තුඹ ඇල් යන වී වර්ග ද දියවැඩියා රෝග පාලනයට සුදුසු බව සඳහන් වේ.
මා වී බොහෝ පෝෂණිය ගුණාංග සහිත වී වර්ගයකි. එහි මේද සංයුතිය ඉතා ඉහළය. කුරු මා වී, බාල මා වී, මහ මා වී ආදී වශයෙන් මෙහි ප්‍රභේද ගණනාවකි. මෙම වර්ගයන් මිනිස් ශරීරයේ අස්ථි කැඩුම් බිඳුම් වෙදකම සඳහා යොදා ගැනේ. ඊට අමතරව පාණ්ඩු රෝගයට බාල මා වී යොදා ගැනේ. සවස් කාලයේ ආහාර වැළදීම නොකළ භික්ෂූන්ට අධි පෝෂිත මා වී වලින් ආහාරය සකස් කර දීමට ද පැරණි ජනයා පුරුදුව සිටියහ.
පාරම්පරික වී ප්‍රභේද අතර ඇල් වී වර්ග ද විශේෂිතය. ඇල්හේන්වල වැවෙන ඇල් හාල් අතර සුවඳැල් බෙහෙවින්ම ජනප්‍රිය වර්ගයකි. සුවඳැල්, සුවඳ හමන සම්බා සහ රත් සුවඳැල් යනුවෙන් වර්ග කිහිපයකි. මේවා ඉතා සුවිශේෂී සුවඳකින් යුක්ත වන අතර ඉති මිහිරි රසයකින් ද යුතු වේ. සියලුම ඇල් සහල් වර්ග දිරවීම පහසු කරවන අතර වඩාත් ජීව ගුණයෙන් යුක්ත වේ. ගර්භනී මාතාවන්ටත් කුඩා දරුවන්ටත් ඇල් සහල් ගුණදායක වේ. කිරිබත් සඳහා විශේෂ වන අතර කුඩා දරුවන්ගේ ඉඳුල්කට ගෑමට පැරණි අය අනිවාර්යෙන්ම මෙම සහල් යොදා ගත්හ.
අතීතයේ දී ආහාර පුරුදු මත පදනම් වූ පොදු සංස්කෘතියක් තුළ නිරෝගී දිවි පෙවතකට උරුමකම් කී මිනිසාගේ යම් යම් රෝග පාලනයට පැරණි වී වර්ගවලින් තම්බා සකස් කරගත් සහල් බෙහෙවින්ම ගුණදායක වී ඇති අතර ශරීරයේ ප්‍රතිශක්තීකරණ ගුණය රැක ගැනීමට ද මෙම පැරණි සහලින් පිසූ බත, කැඳ, පිට්ටු වැනි ආහාර සහාය වී ඇත.
සාම්ප්‍රදායික වී වගා සංස්කෘතියක් විකාශනය වීම මඟින් පැරණි මිනිසා තමන්ට වැළදෙන රෝගාබාධයන් සමනය කර ගැනීම මෙන්ම පෝෂණීය ගුණයෙන් ඉහළ ආහාර අනුභව කිරීම මඟින් තම ශරීරයේ කායික මානසික සමබරතාවය ද පවත්වා ගත්හ.
පැරණී වී ගොවිගැන ආර්ථිකමය, පාරිසරික හා සමාජීය වශයෙන් තිරසාර බව අධ්‍යයනයන්ගෙන් වර්තමානය වන විට තහවුරු කොටගෙන පවතින අතර වී වගා අංශය තුළ පවතින අර්බුදකාරී වාතාවරණයට විසඳුම් සෙවීම සඳහා පැරණි වී වගා ක්‍ෂේත්‍රය වර්ධනය කිරීම අවශ්‍ය වේ. එසේම දිනෙන් දින විවිධ රෝගාබාධයන්ට ගොඳුරු වන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය නඟා සිටුවීමටත් එය ප්‍රබල පිටුබලයක් සපයනු බව පෙනී යයි.
